Thursday, April 14, 2016
Thursday, April 7, 2016
දහතුන: අපේ අයියා
ආයුබෝවන්!
කලින් වතාවෙදි අම්මිව ඇන්ඳනෙ. ඔන්නෙ ඒ පාර, අයියාගෙන් බේරිල්ලක් නෑ, එයාවත් අඳින්න කියල. ඒ නිසා එයාගෙ ලස්සන රූපයක් එහෙම හොයාගෙන අඳින්න පටන් ගත්තා. තාත්තිත් නැති වෙච්චි නිසා මට ඉන්නෙ අම්මියි අය්යයි විතරනේ. මේ තියෙන්නෙ මම පාවිව්වි කරපු මුල් පින්තූරය.
අම්මිගෙ පින්තූරෙට වගේම මම අයියගෙ පින්තූරෙටත් ගොඩාක් ආසයි. එයාගෙ කොණ්ඩෙත් ලස්සනටම ආව. කොහොමත් මම වැඩිපුර කැමති කොණ්ඩ වලටනේ. ඔන්න කොණ්ඩ ගැන කියද්දි මතක් උනේ ඒ කාලෙ වෙච්ච්චි දෙයක්.
මම උසස් පෙළ භෞතික විද්‍යාවට, පතිරණ සර්ගෙ පන්තියට තමයි ගියෙ. අපේ පැත්තෙ කට්ටියනම් දන්නව ඉතින් පතිරණ සර්ගෙ නීති කොච්චර තදද කියල. නිතරම සර් කියනදේ අහගෙනම ඉන්න ඕනී. වටපිට බලන්න, සපුරා තහනම්. ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්නම ඕනි. දෙනෙ උත්තරෙත් හොඳ වැදගත් උත්තරයක් වෙන්න ඕනි. බාල උත්තරයක් දුන්නොත් කියනව "මොන්ටිසෝරි ටෝක් දාන්න එපා" කියල. ඉතින් කවුරුත් සර්ට හරි බයෙන් තමයි ඉන්නෙ. මම නම් ඉතින් ඕව එච්චර ගණන් ගන්නෑ. කොහොම හරි අන්තිමේදි උසස් පෙළ ප්‍රතිපල ඇවිත්, විශ්ව විද්‍යාලෙට යන්න පුළුවන් කියල දැන ගත්තට පස්ස, මම ගියා සර්ව හම්බ වෙන්න. මම ප්‍රතිපල කීවට පසෙ සර් මොකද්ද දන්නවද කීවෙ;
"මෙත්ම ඔයා පාස් උනාද? මම නම් හිතුවෙනෑ ඔයා පාස් වෙයි කියල, ඔයා ඉතින් කාගෙ හරි කොණ්ඩයක් දිහා බලාගෙන හිටපු එකනි කරේ. ඔන්න ඔයාල අක්ක පාස් වෙව්වි එකනම් පිළිගන්න පුළුවන්"
එන්න එදා තමයි මම දැන ගත්තෙ මම කොණ්ඩ වලට කොච්චර කැමතිද කියල. ඔය අක්ක කීවෙ මගේ ඥති සොහොයුරියක්, අපි දෙන්නම එකම වයසෙ. ඒත් එයා අක්ක, මම නංගි. අතුරු කථාව ඉවරයි, නැවත පින්තූරෙට.
මේ සැරේ නම් ඇස් දෙක සිරාවටම ඇඳ ගත්තා. ඇස් දෙක මුලින් ඇඳල ඉවර කරල තිබ්බෙ. අනිත් ටික අඳිද්දි, වතාවක් අයියගෙ ඇඳපු ඇස් දෙක මගේ නෙත ගැටුන. එක පාරටම ඇත්තම ඇස් දෙකක් දැක්ක වගේ හැගීමක් ආව. ඇස් දෙක තීවුර වැඩියි වගේ කියලත් හිතෙනව.
නළල, කම්මුල්, නහය, සහ නිකට රූපයේ ත්‍රිමාන බව මතු කරන්ව කියෙන මට හැගෙනව. කට ගැනත් පොඩි සටහනක් කරන්නම ඕනි. ඉස්සර, අපේ අය්යගෙ කට ඔය රූපෙ තියෙන විදියට ඇද වෙලා තිබුනෙ නැහැ. මීට වසර ගණනාවකට කලින් වෙච්චි රිය අන්තුරක් නිසා තමයි එයාට ඔහොම උනේ. මට ඕනි උනා එයාගෙ ඉස්සර තිබුන විදියටම කට අඳින්න. මම අමාරුවෙන් මතක් කරල ඇඳල පෙන්නුවාම, එයා කියපි; "මේ නං ඉන්නෙ මම නෙවෙයි" කියල. ඉතින් ආයෙ ඒක මකල, දැන් පේන්න තියෙන විදියට ඇඳල දැම්ම.
එයාගෙ කමීසෙ පාට කරන්න ගත්තෙ සෝරොවු දුන්න චාකෝල් පැන්සල. මුලින් පාට තවරලා, ඊලඟට, ඉරි ටික මතු කර ගත්තෙ උල් හැඩයට කපා ගත් මකනයක් ආදාරයෙන්. කමීසෙත් සිරාවටම ආව කියල හිතෙනව.
අයියගෙ පින්තූරය දිහා බලාන ඉන්නෙද්දි මට හිතෙන්නෙ, අස් දෙකයි කටයි, මම ඇඳල තියෙන ප්‍රරමාණය ලොකු වැඩියි කියල. ඇස් සහ කට ලඟ හමේ වර්ණයත් ලා වැඩියි කියල මට තේරුණේ දිරාජ් කීවට පස්සෙ තමයි.
ඔන්න ඔය විදියට තමයි අද කථාව අවසන් වෙන්න. ඔබටත් මටත් ජය!
Saturday, March 26, 2016
මම ආ මඟ
ආයුබෝවන්!
මම පාසල් යන අවදියේ චිත්‍ර ඇඳීමට කොතරම් උත්සාහ කර තිබුනත්, කිසි කලෙකත් මගේ සිත සතුටුවන විදියේ එකක් ඇඳගන්න පුළුවන් වෙලා නැහැ. ඒ නිසා, මට චිත්‍ර අඳින්න හැකියාවක් නෑ කියල, මම චිත්‍ර අඳින එක අතහැරල දාලයි හිටියෙ. ඒ කොහොම උනත්, ගිය අවුරුද්දෙ මැයි මාසෙ බලපු 'ද පේන්ටර් ඔෆ් වින්ඩ්', 바람의 화원
කොරියන් ටෙලි නාට්‍ය, මගේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න සමත් උනා. මේ කථාව බලල ඉවර උනාට පස්සෙ, 'අනේ මටත් ඒ විදියට අඳින්න පුළුවන්නම්' කියල හිතුන. ඒ විදියට පටන් ගත්ත චිත්‍ර ඇඳිල්ලෙන් මම ඉගන්න ගත්තෙ හොඳ නිමාවක් සහිත සිතුවමක් නිර්මාණය කිරීම පමණක්ම නෙවෙයි. ඔන්න ඉතින්, අද කියන්න යන්නෙ ඒ මොනවද කියල.
මම උගත් දේ සරලව කෙටියෙන් මෙහෙම කියන්නම්:
- යම් දෙයක් කෙරෙහි දැඩි ආශාවත්, උනන්දුවත්, කැපවීමත් තියෙනවනම් කරන්න බැරි දෙයක් නැහැ.
- දෙයක් කරන්න පටන් ගන්නකොට සරලම තැනින් පටන් ගන්න. තමා සතුව දැනට තියෙන සම්පත් වලින් සහ දැණුමින් පටන් ගන්න (මේ උපදෙස මට දුන්නෙ මහාචාර්‍ය බිජෝයි ගෝශ්).
- තමා නිරත වන කාර්ර්‍යයේ ඉදිරි ගමන්ට, අන් අයගේ අගය කිරීම් නිතරම වැදගත්.
- සෑම විටම පියවරක් ඉදිරියෙන් තියන්න උත්සහ කරන්න (මගේ චිත්‍ර එකක් අනිකට වෙනස්. හැම චිත්‍රයකින්ම, මම දෙයක් ඉගනගෙන තියෙනව. හැම එකේදිම මම අළුත් දෙයක් අත්හදා බලල තියෙනව.).
- දෙයක් කරන විට එහි ප්‍රවීනයෙක් වෙන්න බලන්න.
- වරකට එකබැගින් කරයෙන යන්න. මම හැම විටම පටන් ගත් සිතුවමක් ඉවර නොකර තවකක් පටන් ගෙන නැහැ.
- තමාගේ අඩුපාඩු හොයාගන්න, ඉන්පසු, ඒවාට පිළියම් යොදන්න (මුහුණේ අවයව ස්තානගත කරන එක මට මාර අමාරු වැඩක් උනා. ඒ නිසා, මම එයට පිළියමක් වශයෙන්, නිවරදිව අවයව ස්ථාන ගත කර ගැනීමේ මගේම ක්‍රමවේදයක් සොයා ගත්තා.).
- ක්‍රමානුකූල වෙන්න. එයින් ඔබට වරදින අවස්ථා අවම කර ගත හැකියි.
- අන්න්‍යන්ගේ උපදෙස් වලට ගරු කරන්න.
- ඉවසිලිවන්ත වෙන්න (සමහර අවස්ථාවලදී, මට ඕනි විදියට චිත්‍රය ඇඳගන්න කීප සෑරයක් උත්සහ කරන්න සිද්ද උනා. කොයි තරම් කාලය ගතඋනත් මට ඕනි විදියට එනකල් උත්සාහ කරන්න තරම් මම ඉවසිලිවන්ත උනා.).
- මුල් පින්තූරෙ විස්තර දකින්න දකින්න, මම අඳින පින්තූරය තත්වෙන් උසස් බව තේරුණා.
සුං යොනාගෙ චිත්‍රය වෙනකල් අඳපු චිත්‍ර ටික දැකපු මගේ යාළුවෙක් වන සව්රොව් සෙන්ගුප්තා මට හරි වටින උපදෙසක් දුන්නා. එයා කීවා;
"ඔයාගෙ චිත්‍රර ලස්සනයි. ඔයා ගොඩක් දුර ඇවිත් තියෙනව. ඔයාට දැන් කරන්න තියෙන්නෙ, එක් එක් අවයව විස්තරාත්මකව අඳින්න. බලන්න මේ ඇස් දිහා, ඇහේ බෝලෙ ඔයා තනිකරම කළු පාටට ඇඳල. ඒත්, ස්හාවික ඇස්වල එහෙම නැහැ. ඇහේ කළු ඉංගිරියාව තද කළුයි, අනිත් කොටස එතරම්ම කළු නැහැ. ඔයා යූ ටියුබ් එකේ වීඩියෝ බලන්නකො. ඔයාට ගොඩක් දේ ඉගනගන්න ලේසිම ක්‍රමය තමයි ඒක. ඔයා 6B පැන්සල පාවිච්චි කරන්න. එතකොට ඔයාට ලොකු වර්ණ පරාසයක් තුල අඳින්න පුළුවන්"
මේ ආදී වශයෙන් ලොකු විස්තරයක් කරගෙන ගියා. පස්සෙ දවසක පැන්සල් ගැනත් හොඳ විස්තරයක් කලා. චාකෝල් පැන්සල් සහ සුදු චාකෝල් පැන්සල් ගැනත් කියල, චාකෝල් පැන්සලකුත් දුන්න.
යූ ටියුබ් වීඩියෝ බලල, ඉගන ගන්න එක හරිම සරල සහ අනිත් කටයුතු වලදි නිතර මම කරන දෙයක් උනත්, මට ඒක සව්රොව් කියන කල් හිතුනෙ නැහැ චිත්‍ර අඳින වැඩේටත් එහෙම කරන්න පුළුවන් කියල. මේ පහළින් තියෙන්නෙ, මම යූ ට්යුබ් වීඩියෝ කීපයක් බලන ගමන් ඇඳපු ඇස් කීපයක්.
මේ ඇස් වලින් කොයිකටද ඔයාල වැඩිපුරම කැමති?
ඊලඟ පින්තූරෙන් හමුවන තුරු ඔබට ජය! මටත් ජය!
Monday, March 21, 2016
දොළොස් වැන්න: සුං යොනා
ආයුබෝවන්!
ගොඩාක් කාලෙකින් ඔන්න ආයෙත් තවත් චිත්‍රයක් අරන් ආව. පහුගිය ටිකේම ගොඩාක් වැඩ වැඩි උන නිසයි මොකුත් ලියා ගන්න බැරි උනේ. තාමත් වැඩ වලනම් අඩුවක් නෑ. ඒත් කොහොම හරි ලියනව කියල හිතල ලියන්න පටන් ගත්තෙ.
අද චිත්‍රය (මුල් පින්තූරය මෙතනින්) 2008 වසරේ විකාශය වූ 'යි සන්' (이산 ) ටෙලි කථා මාලාවේ 'සොං(ගා) සුං යොන්' (성(가) 송연) නොහොත් 'සොං යොනා' චරිතයයි. කොටස් 77 කින් යුත් මේ සොඳුරු නාට්‍ය, 1776 ජොං ජො (정조) නමින් කිරුළු පැලඳූ 'යි සොන්' රාජ කුමාරයාගේ ජීවන කථාව අලලා ගෙතුන එකකි. 'යහපත් මහරජ' නමින් මේ කථාව රූපවාහිනියේද 2014 වසරේ විකාශය කර තිබුනා. එදවස පහත් යැයි සැලකුන කුලයක උපන් සුං යොනා, ඊ සොන් ගේ කුඩා කල සිටම හොඳ මිතුරියක් වූවා. නිහතමානී චිත්‍ර ශිල්පිනියක වූ ඇය පසු කලෙක ඔහුගේ මෙහෙසියක් බවට පත්වීමට තරම් වාසනාවන්ත වූවා.

මුල් කාලෙ වෙච්ච අකරතැබ්බියක් නිසා කාන්තාවන්ගෙ රූප අඳින එක අතෑරලදාලනි හිටියෙ. ඒත් 'ගොවං හේ' ගෙ චිත්‍රයෙන් පස්සෙ මට ආස හිතුනා කාන්තාවකගේ චිත්‍රයක් ඇඳල බලන්නට. මේ දවස්වල තමයි මට සොං යොනාව හම්බ උනේ. සුං යොනා කියන්නෙ මම ගොඩාක් ආස කරන චරිතයක්.
එයාගෙ තියෙන ලස්සන මට ඒ විදියටම ඇඳගන්න බැරි උනත්, මට පුළුවන් උපරිමයෙන්ම මම මේ චිත්‍රය නිම කලා. එයාගෙ මුහුණ හරිම පැහැපත් ඒ නිසා මට එයාගෙ මුහුණේ ඉරියව් ස්මතු කර ගන්න ටිකක් අමරු උනා. එයාගෙ ඇස් දෙකෙයි, කටෙයි තියෙන කාන්තිමත් බව මම සිතුවම් කරද්දි අතුරුදහන් වෙලා ගිහින්. ඇස් දෙකත් කටත් හරියට සිතුවම් ව්ලා නෑ කියන එකනම් හරිම පැහැදිලියි. ඇස් ස්භාවික නෑ වගෙයි. ඇහි පිහාටු අඳින්න ගියාම, කොහොමද අඳින්න ඕනි කියල මට හිතා ගන බැරි උනා. ඒ නිසා හි පිහාටුඇ ඔහේ ඇඳල දැම්ම. ඇහේ බෝලෙ තනිකරම කළු පාටින් ඇඳපු එකත් චිත්‍රෙ කැත වෙන්න තවත් හේතුවක් උනා. කටේ තියෙන මූලිකම අඩුපාඩ්ව තමයි, යටි ඇන්දෙ දත් ටික අදින්න අමතක වෙච්ච එක. දත්වල දිලිසෙන ස්භාවය පේන්නෙත් නැහැ. කොණ්ඩෙ ඉහළ කොටස අඳිද්දිත් කලබලෙන් වගේ තමයි ඇන්ඳෙ.
ඒ කොහොම නමුත් එයාගෙ කොණ්ඩෙ පහළ කොටසටයි, ඇහි බැමි වලටයි, ඇඳුමටයි නම් මම මාරම කැමතියි. කොච්චර අඩුපාඩු තිබුනත් සමස්තයක් වශයෙන් මම සුං යොනාගෙ චිත්‍රයට ගොඩාක් කැමතියි. මම ගොඩාක් දේවල් අඳින්න ඉගන ගත්ත මේ චිත්‍රරයෙන්.
මේ පහළින් තියෙන්නෙ අතරමැදි පියවරවල් කීපයක්. කලින් වතාවක මම චිත්‍රයක් අඳින පියවරවල් ටික පැහැදිලි කරල තියෙනව. ආයිත් මතක් කරගන්නව නම්, මම චිත්‍රයක් අඳින්නෙ මුද්‍රණය කල රූපයක් බලාගෙන. මුලින්ම, මම රූපය ස්ථාන ගත කරන තැන ගැන තීරණය කරනව (මුහුණ රූපයේ මැදට වෙන්නට, හෝ පැත්තක් බලාන ඉන්න රූපයක් නම් බලාගෙන ඉන්න පැත්තෙන් ඉඩ වැඩිපුර වෙන්නට, හෝ එක් ඇසක් කොළයේ හරි මැදට එන විටියට, හෝ වෙනත් කරුනක් පාදක කොටගෙන). දෙවනුව, ඊට අනුරූපව මූලික රේඛා පහක් (1. නළලේ මැද සිට නහයේ අග කොටසේ හරි මැද හරහා යන ඇල රේඛාව, 2. නහයේ අග කොටසේ හරි මැද සිට කටේ හරි මැද හරහා යන ඇල රේඛාව, 3. හිස ඇලවී ඇති ආකාරයට සමාන්තරව සිරස් රේඛාව 4. නළල හරි මැදින් යන රේඛා අංක තුනට ලම්ඹක වූ තිරස් රේඛාව, 5. නහයේ අග කොටසේ හරි මැදින් යන රේඛා අංක තුනට ලම්ඹක වූ තිරස් රේඛාව වශයන්) ලකුණු කරනව. තෙවනුව, මුහුණේ පිටත මායිමේ ස්ථාන හයක් ලකුණු කර ගන්නවා. මෙම ස්ථාන වනුයේ, මුහුණේ පිටත මායිමත් ඉහත සඳහන් කළ රේඛා අංක 3, 4, සහ 5 ජේදනය වන ස්ථාන හයයි. සිව්වනුව, මේ ලක්ෂ හරහා මුහුණේ පිටත මායිම සලකුණු කරනව (මොන හේතුවක් නිසාද කියල නම් දන්නෙ නෑ, ඒත් හැමදාම වම් කණේ ඉහළ කොටසින් තමයි මම් අඳින්න පටන් ගන්නෙ). පස්වනුව, මුහුණේ ඇතුලත අවයව (ඇස්, ඇහි බැමි, නහය, කට, කන් ආදිය) ලකුණු කරනව. හයවෙනුව, අවයව එකිනෙක සසඳමින් නිවරදිව ස්ථාන ගනගත කරමින් ඒවායේ ප්‍රමාණය සහ හැඩය හරි ගස්සනව. හත්වනුව, බෙල්ල සහ ඇඳුම ලකුණු කරනව. අන්තිමේදි, සිතුවම වර්ණවත් කර ගන්නව (වර්ණ ගන්වන්න කලින් අර රේඛා ටික මකා ගන්නවා).
![]() |
| පස්වෙනි පියවරෙන් අනතුරුව |
![]() |
| හයවෙනි පියවරෙන් අනතුරුව |
ඔන්න ඔහොම තමයි ඉතින් චිත්‍රරේ විස්තරේ. පින්තූරෙ වර්ණවත් කරන විදිය ඉදිරියේදි දවසක විස්තරාත්මකව ඉදිරිපත් කරන්නම්. එතෙක් ඔබටත් මටත් ජය!
Friday, February 19, 2016
ගොයම් කවි
හේමමාලී භාග්‍යා නඟා ලියු අපේ පැත්තෙ ගොයම් වගාව I, II, හා III කොටස් සියල්ල කැටිකර මගේ මතකයන්ද අවදි කරමින් ලියවුනු කවි...
මුල් ඇදලා ගොනුවීලා පැලවී එන්නේ
ගොණු ලිහලා වෙන් කරලා වෙලට ගේන්නේ
බිම සකසා වතුර බැඳල තවන් කරන්නේ
උස බලලා හැඩ කරලා ලියදි හදන්නේ
මඩ තියලා වැඩ දාලා වේලි බඳින්නේ
දිය බැඳලා මඩ කරලා පෝරු ගාන්නේ
වතුර දමා දිය කරලා මඩ සෝදන්නේ
ගොණු කරලා මිටි බැඳලා ගොයම් දිලෙන්නේ
බුදුන් වැඳල දෙවි සිහිකර වැඩ අරඹන්නේ
පැල අරගෙන දෙකට නැමිල හදන්න ගන්නේ
වමතෙ තියා දකුණු අතින් ගොයන් හදන්නේ
වමතෙ තියා දකුණු අතින් ගොයන් හදන්නේ
උදේ ඉඳල අව්වෙ ඉඳල අපි කරවෙන්නේ
මඩේ එරිලා එපා වෙලා එතන වැටෙන්නේ
තේ හදලා රොටී හදල අම්මා ගේන්නේ
ඇය දැකලා සතුටු හිතිලා ගොඩට ඇදෙන්නේ
වෙහෙස වෙලා වැඩ කරලා විවේක ගන්නේ
තේ බීලා හිනා වෙලා ආයි හදන්නේ
උදේ ඉඳල මඩේ එරිලා කකුල් රිදෙන්නේ
කුඹුරු දිහා දිගට බලා ඉන්න හිතෙන්නේ
වල් හැදිලා ගොයම් ගහට උඩින් පේන්නේ
කිරි වැදිලා කරල් දිලී හිත් සැනසෙනේ
කරල් පැහිල රන්වන් වී බිමට නැමෙන්නේ
හතර වටින් කුරුළු කොබෙයි රෑන් ඇදෙන්නේ
ප.ලි. : නඟාගෙ ලිපිවලට අදහස් දක්වන්න ගිහින් ලියවුනු කවි.
Tuesday, February 16, 2016
එකොළොස් වැන්න: ග්වංහේ
ආයුබෝවන්!
චරිත දෙකක් සිතුවම් කල 'හොවජොං' ටෙලි නාටකයේ
තුන්වැනුවට සිතුවම් කල ඒ චරිතෙයි අද ගෙනෙන්නේ
රජෙක් වෙලා කිරුළු පැලන් උන්නු 'ග්වංහෙ' ගැන කියන්නේ
'චා සොන් වොන්' තමයි ඔන්න මේ චරිතෙට පණ පොවන්නේ
'චා සොං වොන්' හරි දක්ෂයි ඒවගේම හැඩකාරයි
පෞරුෂත්වයෙන් ඉහළයි ග්වංහේ චරිතෙට ගැලපෙයි
ග්වංහෙ කුමරුවන් නිපුණයි උපායඥානෙන් සපිරියි
රට පාලනයට සූරයි රටවැසියට හරි අදරෙයි
තරුණ වයසෙ ඈයො හින්ද මම ඇන්ඳේ දිගින් දිගට
මැදි වයසේ ග්වංහෙ ඇන්ඳා ඉදිරි පියවරක් හැටියට
ගාම්බීර පෙනුම එක්ක ග්වංහෙ ඉන්න උජාරුවට
මේං මේක තමයි ඕං තෝරගත්තෙ මං අඳින්ට
පරිමාණය ඉහළ දැම්මෙ තොප්පිය මුදුනෙන් කැපුනත්
පුංචි පුංචි විස්තර පොඩි ඔපමට්ටම් දමන නිසාත්...
දකුණට ගත්තේ රූපය සමබරතාවය බිදුනත්
වම් පැත්තට හැරුණු මුවට ඉඩ පොඩ්ඩක් ඕනි නිසත්...
කැමරාකරණයේ රහස් කියනවනම් තවත් ටිකක්
පින්තූරේ හරි මැද ඇති දකුණැස හරි හැඩයි නේද...
කඩදාසියෙ තුනෙන් එකක් ඉහළ සිටත් දකුණෙ සිටත්
තියෙනා තැන ඇති සැරසිල්ලේ ලස්සන පේනවාද...
රවුම් නහය ඒ විදියට ඇවිත් තියේවියි හිතෙනව
ඇස් වල, ඇහි බැමි වල හැඩයත් හරියැයි මට හැගෙනව
මුවෙහි රැඳුනු සිනහ රැල්ල, කම්මුල් හැඩවී පෙනෙනව
ලස්සන හැඩ රටා සපිරි ඇදුම අගේමැයි දැනෙනව
තොප්පියෙ ලස්සන ස්මතු කරනා ඒ සැරසිල්ලේ
ඉගනගමින්, හැඩ දමමින්, ඇන්ඳෙ නිවී හැනහිල්ලේ
තොප්පියෙ වර්ණ දමනා විට අයියෝ එය බොඳව ගියේ
ආයි අඳින්නට ගත්තේ බනිමින් මටම මෝඩියේ
ඇස්වල හැඩය ආවත් විස්තර මදිය
මුනුණේ රැවුල් ඇන්ඳත් පිළිවෙලක් නැත
මුව ලස්සනයි හිතුනත් එහි වැරදි ඇත
කොච්චර මොනා කෙරුවත් අඩුපාඩුමය
අපේ.. නංගියෙක් කීවේ සිනහ සලා
සිතුවම්වල ඇස් අගනේමැයි කියලා
චීන ඇසුත් මම ඇඳලලු නියම විනා
ඔබටත් සිතෙන්නෙයි එය ඇත්තක්ය කියා?
Tuesday, February 9, 2016
සුරංගගෙ ඇඩ් කයියට කොමෙන්ට් කයියක් ඇඩ්එකක් විදියට
බ්ලොග්
ලියන්නට ගත්තේ මේ දෙසැම්බරේ
චිත්‍ර
ටිකක් ගෙන ආවා සැරින් සැරේ
යාං
හෑලි ලියන සුරං රත්නපුරේ
රසම
රසට කයි ලියලා මෙදා සැරේ
කයි
කීවම මොනවා කන්නද බැලුවා
ශ්‍රංගා
කාපූ කෑමක් වත් දෝ බැලුවා
එකක්
දෙකක් කියවනකොට පද ඇදලා
තියේ
බොලේ කවියෙන් ඇඩ් හැඩ දමලා
පුංචි
කාලෙ උනු විත්තර ලියන එකා
කයියක්
ගොතා ගෙයි විස්තර කියනු සිතා
ටීවී
එකේ ඇඩ් ගැන ඇඩ් එකක් දමා
මැව්වා
සිනා සාගරයක් අපෙ ශ්‍රංගා
ශ්‍රංගා
කියයි හැඩ දා ලස්සන කරලා
ඇඩ්
හොඳයිලු නාටකයට වඩා මෙදා
ගිහිංබලන් ඇඩ් කියන්නෙ මොනා කියා
හිනා
වේවි බඩ අල්ලං අනේ ඔයා
කයිත්
ඇහුව මේ වගෙ කයි අහල නැතා
කවිත්
ලීව මේ වගෙ කවි ලියල නැතා
ඇඩුත්
බැලුව මේ වගෙ රස දැනිල නැතා
හෑලි
හොඳා කවි ඊටත් වැඩිය හොඳා
කීවේ
නෑ කියල ආයේ කියනු එපා
ඇඩ්
විස්තරේ තව කොටසක් දානු හොඳා
චූටි
මැණිකෙ හා සමගින් පවුල් කකා
ඉනුමැන
සුරං ඇඩ් බල බල හිනා වෙලා
Thursday, February 4, 2016
අපේ නිදහස් උත්සවය
ආයුබෝවන්!
අද (2016 02 04) අපේ නිදහස් දිනයයි. ලංකාවේ සෑම තැනකම වාගේ නිදහස් උත්සව ඉතා උද්‍යෝගයෙන් යුතුව පැවැත්වෙයි. අපේ සුන්දර ලංකාවෙන් පිට, පිට රටක දැනට ජීවත්වන මා, නිදහස් උත්සවයකට කිසියම්ම හෝ සම්බඳවීමක් නොවූ එකම වසරද මෙයයි. අද මම මුහුණු පොතේ පිටුපෙරළන අතර මට නිදහස ගැන අපූරු සිතුවිලි පහළ වෙන්නට පටන් ගත්තා. ඒ සිතුවිලි අපූරු මල් ඔස්සේ ඔබ වෙත දිගහරින්නත් සිත් උනා. මේ දින කීපය ඉතාමත් කාර්‍යබහුල උනත්, මගේ ආචාර්‍ය උපාදියේ 'යෝග්‍ය වීමේ වාර්ථාව' ලියාගන්න ප්‍රමාණවත් කාලයක් නැතිව ආතතියෙන් පෙළුනත්, ඒ ඔක්කොම අමතක කරල දාල, මේ ලිපිය අද කොහොමහරි ලියන්ඩ ඕනි කියල ලියන්න පටන් ගත්තා.
![]() |
| මේ පින්තූරය ලබා ගත්තේ රන්ජන් රාමනායක ඇමතිතුමාගේ පුහුණු පොතෙන් |
"මොකද්ද මේ 'නිදහස' කියන්න?"
"හරිම සරල ප්‍රශ්නයක් නේ, නිදහස් කියන්නේ අපිට ඕ...නි විදියට ජීවත් වෙන එකනේ. "
"හරි එතකොට මොකටද නිදහස 'සමරන්නේ'?"
"හ්ම්ම්.... ඒකනම් ටිකක් වැදගත් ප්‍රශ්නයක් වගෙයි. ආ ඒ සමරන්නේ අපි හරියටම මීට වසර 68කට කලින් යටත් විජිතයක්ව තිබුන අපේ රට ඉංගීසි ජාතිකයන්ගෙන් බේරගෙන අපේ නිදහස නැවත ලබා ගත්ත නිසානේ."
"ඒක හරියට පැහැදිලි උනේ නෑ. හරි, නිදහස ලබාගත්තා කියල අපි මොකටද ඒක 'සමරන්න'?"
"අයියෝ හරි සරලයිනේ. අපිට නිදහස ලබා ගත්ත එකට සතුටු නිසානේ සමරන්නේ."
"එකකොට ඇත්තටම අපිට නිදහස ලැබුනද?"
"ඒක ටිකක් කල්පනා කරන්න ඕනි ප්‍රශ්නයක්...."
නිදහස සමරනව කියල අපි මොකද්ද කරන්නෙ? නිදහස් උත්සවේ දෙකට කඩාගෙන හරි ඒ ස්මරණය කරන එකේ තියෙන ප්‍රයෝජනය මොකක්ද? එය හුදෙක් අපේ නිදහස අපිට අගෙයි කියා ලෝකයට පෙන්වීමක්ද? නැතහොත් තවත් එක් පාටියක් පමනක්ද? මීට වඩා කරන්න කියල අර්ථ සම්පන්න දෙයක් ඇත්තෙම නැද්ද?
මේ ආදී නොයේක් සිතිවිලි ගණනාවකින් මගේ හිත පිරිල ගියා.
අද අපි පිරිස් වශයන් එකතු වෙනව, නිදහස ලබාගත්ත එක සිගිකැඳව ගන්නව, ඒ ගැන යම් යම් කථා ටිකක් කරනව, ඊට පස්ස බෝජන සංග්‍රහයක් තිබ්බොත් ඒකත් බුක්තිවිදල ගෙදර එනව. ආයෙ හෙට වෙනකොට ඒ ඔක්කොම අමතකයි, ආයි මතක් වෙන්නෙ ඊලග අවුරුද්දෙදි.
1815 ඉංගීසි ජාතිකයන්ගේ යටත් විජිතයක් උන, ස්යංපෝෂිතව තිබූ අපේ රට, අද තුන්වෙනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින (නොදියුණු) රටක් වෙලා. ඇයි අපිට එහෙම උනේ? මීට වසර ගණනාවකට ඉහතදී අපිට වඩා දිලිඳු රටවල් අද අපිව පහුකරන් ගිහින් (උදාහරණයක් විදියට කොරියාව). එදා අපි නොදියුණු ගම්මාන වලට කොරියාව කියල කීව, දැන් අපේ රටේ මිනිස්සු පෝලින්ගැහිල කොරියාවෙ යනව රස්සවල් හොයන්. කාලයක් තිස්සෙ මම මේ ගැන කල්පනා කලා.
කොරියාවෙ නිශ්පාදනය කරන ටෙලි නාට්‍ය බෙහෙවින්ම සිත් ඇදගන්නා සුළුයි. මම කාලයක් තිස්සෙ ඒව බලන්න ඇබ්බැහි වෙලා හිටිය. ඒ කථා මම ගොඩා...ක් රස වින්ද. ඒත් එක්කම මම ගොඩා...ක් දේවල් ඉගන ගත්තා. එයින් එකක් තමයි මම මේ කියන්න යන්නෙ.
මම දැඩිවම විශ්වාස කරනවා අපේ රටට අද මෙවන් විපතක් සිදුවූයේ, අපි 'වසර 133ක් යටත් විජිතයක්ම' සිටි නිසාමයි කියල. ඔවුන් අපේ රට යටත් කරගෙන අපේ උරුමයන් විනාශ කලා, අපේ ජීවන රටාව වෙනස් කලා, අපේ පැරණි තාක්ෂනික දැනුම නැතිකරල දැම්මා. මෙවන් දීර්ඝ කාලයක් ඔවුන් යටතේ හිටි අපි නිදහස ලබාගන්නකොට, අපේ රජ පරපුර නැත්තටම නැතිවෙලා, කලින් අපි රට පාලනය කරපු විදිය හොයා ගන්නවත් නැහැ. ඒ නිසා අළුතින් බිහි උන නායකයින්ට සිද්ද උනා, අපිට අපේ ක්‍රමයට රට පාලනය කරන එක පැත්තකට දාල, අපේ පැරණි ජීවන රටාවෙන් වෙනස් වෙලා, ඉංගීසි ජාතිකයින් ස්ථාපනය කළ ක්‍රමයට රට පාලනය කරන්න, ජීවත් වෙන්න. අද අපිට මේ පාලන ක්‍රමය තිත්ත වෙලා නේද? අනේ අපිටත් රජ්ජුරුවො කොනෙක් හිටියනම් මෙහෙම කලකිරීමක් ඇතිවෙන එකක් නෑ කියල මට හිතෙනව.
ඉතින් අපිට සැබවින්ම නිදහස ලැබිලද?
අපේ දැණුම අපෙන් ඔවුන් ඈත් කලා. අපේ තිබුන දියුණු තාක්ෂනික ක්‍රමවේද, නොයෙක් කලාවන් යනාදිය අපිට නැති උනා. මීට වසර 201කට කලින් හිටිය මිනිස්සු ජීවත් උනේ කොහොමද කියල අද ඉන්න කාටවත් හිතාගන්නවත් බැහැ. සමහර විට අපෙන් ගිලිහුනේ මොනාද කියලවත් අපි දන්නෙ නෑ. ඉතින් අපේ දෙයක් කියල දෙයක් අපිට නැති නිසා, අපිට සිද්ද උනා ඔවුන්ගේ ක්‍රමයට ජීවත් වෙන්න. ඔවුන්ගේ අධ්‍යාපනය ලබා ගන්නට. ඔවුන්ගේ පාලන ක්‍රමවේද අනුගමනය කරන්නට. කොටින්ම කියතහොත් ඔවුන් මත යැපෙන්නට.
හ්ම්ම් බරපතල වැඩිද මන්ද....?
මම හිතනව ඒ නිසයි, අද අපේ රටේ බහුතරයක් ජනතාව අපේ රටට ආදරේ නැත්තෙ කියල. රටට අදරේ නැති නිසාමයි රට විනාශ කරන්නෙ, පරිසර වාර්ථා වලට අනුව ක්‍රියාත්මක නොකලයුතු ව්‍යාපෘති (උමා ඔය ව්‍යාපෘතිය, හම්බන්තොට ගුවන්තොටුපල, විල්පත්තු වන් විනාශය, ආදී) නොනවත්වාම කරගෙන ගියෙ/කරගෙන යන්නෙ. රටට ආදරේ නැති නිසාමයි රටට අවනම්බුබන දේ කරන්නෙ. රටට ආදරේ නැති නිසාමයි මෙච්චර ලස්සන, ජීව්ත් වෙන්න ඉතාමත් සුදුසු ස්වාවික පරිසරයකින් හෙබි අපේ සුන්දර ලංකාව හැරදාල පිටරට පදිංචිවෙන එක අගය කරන්නෙ. දැන් ඉතින් කෙනෙක් අහන්න පුළුවන්, 'අපේ රටේ ජීවත් වෙනවට වඩා සුපෝඛබෝගී ජීවිතයක් වෙන රටකදි ගෙවන්න පුළුවන් නිසානෙ අපි රට පදිංචියට යන එක අගය කරන්න, ඒකෙන් කොහොමද කියන්න අපි රටට ආදරේනෑ කියල?' කියල. එහෙමනම් මට කියන්න, ස්වාමියෙක් මොනතරම් තමුන්ගෙ බිරිදගෙ අඩුපාඩු තිබුනත් ඇයටවඩා ගුණවත්, නැණවත්, ලස්සන කාන්තාවන්, ඇය ඉදිරියේ වර්ණනා නොකරන්නෙ ඇයට තියෙන ආදරේ නිසාම නොවේද?
අතුරු කථා නිසා කියන්න ආ කාරනේ අමතක වේගෙනත් යනව. මට මෙතනම නින්ද යන්න කලින් කියන්න ඕනි කියන්න ආ කාරණය.
රට විනාශ වෙන්නෙ රටට ආදරේ නැති නිසා. රටට ආදරේ නැත්තෙ අපේ දේ අගයක් නැති නිසා. අපේ දේ අගයක් නැත්තෙ අපි අපේ දේ නොදත් නිසා (උදාහරණ විදියට: පැරණි තාක්ෂනික ක්‍රම (වාරි මාර්ග, ඉන්ගිනේරු,), අපේ හෙළ වෙදකම, සටන් කලාව, පැරැන්නගේ දැනුම, ආදී). කරන්න ඕනි මොකද්ද කියන එක දැන් හරිම පැහැදිලියි නේද?
මම හිතන විදියට අපි මුලින්ම කරන්න ඕනි අපේ දේ අපි දැනගන්න එක. අපේ පැරැන්නගේ ශිල්ප කොහොන් හෝ අප සොයා ගන්න ඕනී. අපි අපේ තාක්ෂනය දියුණු කරන්න ඕනි. අපි අපේ දේට ආදරේ කරන්න ඕනි, හැමදේම පිට රටින් එනකං බලන් ඉන්නෙ නැතිව. අපි අපේ දේ අගය කරන්න ඕනි, පිටරට වල සංකෘතීන් වැළඳ ගන්නෙ නැතිව. කොටින්ම කියත හොත් අපි අපේ විදියට ජීවත් වෙන්න ඕනි.
මට හැගෙන පරිදි මෙවන් දේ නොවේද අපි මෙවන් දිනයකදී කථා කලයුත්තේ, සොයා යා යුත්තේ, කරන්නට ඉටා ගත් යුත්තේ, නිදසස් උත්සව වලදී මෙවන්දේ කරන්නෙ කෙසේද කියා නොවේද සාකච්චා කල යුත්තේ?
මේ ගැන හිතන්න යමක් කරන්න ඔබට බාරයි.
තෙරුවන් සරණයි!
Thursday, January 28, 2016
දහය: ඉනුයා
ආයුබෝවන්!
ඔන්න ඉතින් මම අපේ අම්මිගෙ පින්තූරයනේ අන්තිමට ඇන්ඳේ. ඒත් අනේ මගේ හිත තාමත් කනස්සල්ලෙන්, මොකද කියනවනං ඊට කලින් ඇඳපු ඉනුයගෙ (කං ඉන් උ ගෙ) පින්තූරෙ අවුල් ගියානේ. පිපෙන්න බලාගෙන මගේ ලැයිස්තුවේ තව බර ගානක් මට බැන බැන හිටියත්, ඉනුයට වෙච්ච අසාධාරනේ මට ඉවසන්න බැරිව ගියා. ඒත් එක්කම මට මෙහෙම හිතුනා:
"වැඩක් කරනවනම් හරියට කරන්න ඕනි, වැරදීම් වෙනවා, එතකොට ඒවා හරිගස්සගන්න ඕනි ඊලඟ පියවරට යන්න කලින්"
ඒ නිසා මම තීරණය කලා ඉනුයව අඳල තමයි මොනවා කෙරුවත් කොරන්නෙ කියල. කලින් සැරේ මට වැරදුනේ මම තෝරගත්ත මුල් පින්තූරෙ ඉනුය ලාවට හිනාවෙලා හිටපු නිසානේ. ඕං ඒ නිසා හොඳට හිනාවෙලා ඉන්න එකක් තේරුවා. මේ මුල් පින්තූරය හොයාගත්තෙ, 'ගන්මෑන් ඉන් ජොසන්' (gunman in Joseon, 조선 총잡이 ) නම් කොරියානු ටෙලි නාටක මාලාවේ එන 'කිම් හො-කිඔං', 김호경, කියන චරිතයෙන්. මේ චරිතයට පණ පොවන්නෙත් 'කං ඉන් උ' චරිතයට පණදුන් 'හන් ජු වොන්',
한주완 නැමති ආදරණීය රංගන ශිල්පියා.
කං ඉන් උ ඉන්න 'හ්වාජුං' කථාවත් මේ කථාවත් හාත්පස එකිනෙකට වෙනස් උනත්, හන් ජූ-වොන් චරිතයේත් කං ඉනු චරිතයේත් පුදුමාකාර සමානකම් තමයි තියෙන්නෙ. දෙන්නම ආදරේ කරන ගෑණු ළමයා ආදරේ වෙන කෙනෙකුට, දෙන්නම තමන්ගෙ හිතේ තියෙන ආදරේ නිසාම ඒ ආදරේ හිතේම තියාගෙන ගෑණු ළමය කැමති කෙනා එක්ක එකතු වෙන්න උදවු කරනවා. දෙන්නගෙම පියතුමන්ලා සටකපට ආත්මාර්ථ්කාමීන් (තම රට වුනත් පාවා දෙන සයිස්) දෙදෙනක් වන අතර, මේ චරිත දෙකම පියතුමාලාගේ ක්‍රියාකලාපයට දැඩිසේ විරුද්දයි, ඔවුන් නීතියේ රැහැනට අල්ලාදිමට කටයුතුකරන,.....ආදී සිද්දීන් ගණනාවක්ම තියෙනවා. කොහොම නමුත් ඉතාමත් දුඛිත ජිවිතයක් ගතකරන මේ චරිත දෙකම හරිම අවාසනාවන්ත ඉරණමකට මූණ දෙනව. ඒ නිසා කිම් හො-කිඔංටත් මම කියන්නෙ 'ඉනුය' කියල.
කොහොමින් කොහොම හරි චිත්‍රය ඇන්ඳා, මේං මේ විදියට තමයි අන්තිමට ඒක නිම උනේ.
මේසැරේනම් ලස්සනට ඇඳගන්ඩ පුළුවන් උනා. යෙ...ඒ... මට හරි සතුටුයි. චිත්‍රය ගැන යමක් කීවොත්, එයා ගොඩාක් හිනාවෙලා ඉන්න නිසා ගොඩාක් ලස්සනට ආවා. එයාගෙ කට, නැහැය, ඇස් දෙක, කම්මුල්, තොප්පිය, වගේම එයාගෙ ඇඳුමත් ටිකක් පිළිවෙලට තියෙනව කියල හිතෙනව.
මූණෙ පොඩි ඇදයක් තියෙනව වගේ පේනව, හ්ම්ම් නිකට තියෙන තැන වැරදියිනේ. නිකට ඔහෝ..ඕ..ම්ම ටිකක වමට කරල, පොඩ්ඩක් විතර දක්ෂිනාවර්තව කැරකැවීමකට බාජනය කරානං හරි. අයියෝ...ඕ... මේවගේ නස්පැත්තියක් වෙලා නෑ වෙන එහෙකටවත්. ඊලඟට බැලූ බැල්මටම පේන අවුල තමයි 'ඇහිබැම'. අනේ අම්මපා ඇත්තට ඉස්සර කාලෙ කාන්තාවො ගෙවල්වල ගොමගානව ඔයිට ලස්සනයි. ඇහිබැම ඇඳල තියෙන කැත විතරක් හ්ම්ම්ම්ම්ම්. ඇස් දෙකෙන් බලන් ඉන්න පැත්ත පො...ඩ්ඩක් විතර වෙනසක් වෙන්න ඕනි කියලත් හිතෙනව.
ඕං ඔය එහෙන් මෙහෙන් පේන කෙස් රොදවල් ටිකනම් ලස්සනට පේනව ඈ. මේවතාවෙ තමයි මට මුලින්ම ඇදුමෙ ඔය එහෙට මෙහෙට නැවිල තියෙන තැන් ටිකක් පිළිවෙලකට නවල කාරිය අඳින්න ඇහැක් උනේ. ඒ ගැනනම් හෙනටම සටුතුයි. තොප්පියේ වර්ණ ගැන්වීම පොඩ්ඩක් උසස් විදියට කලානම් තාත්විකබව පෙනේවි. ඔය තොප්පියේ අර දෙපැත්තට පිහාටු දෙකක් වගේ පෙඳි දෙකක් තියෙන්නෙ, ආං ඒකෙ තියෙන මෝස්තරේ ගන්න මට ගොඩාක් කල්පනා කරන්න උනා. මා සතුවූ සීමිත සම්පත් වලින්, තුන් හතර වතාවක් එක මත එක යම් යම් දේ කිරීමෙන් තමයි ඔය තත්වෙට එන්න පුළුවන් උනේ. ඒක හරිම වින්දනීය අද්දැකීමක් උනා. මම මේ පින්තූරෙ වැඩියෙන්ම කැමති කම්මුල් දෙකට ඊ ලඟට ඔය කීව පෙඳි දෙකට. ඔයි කම්මුල් දෙකේ මස්පිඩුවලින් එයාගෙ හිනාව ඉස්මතු කරල පෙන්වන්න මම මේ සැරේ භාවිතා කළේ 2B/3B පැන්සල්. මතක ඇතිනේ කලින් සැරේ ඉනුයගෙ පින්තූගෙ අවුල් යන්න එක හේතුවක් උනේ මම B පැන්සල්වලින් වර්ණ ගන්වන්න දන් නැති නිසානේ. ඇත්තට අම්මිගෙ පින්තූරෙටත් ඔය වැඩේම උනා. ඉතින් ඒව ඔක්කොම මකල දාල, ආයෙ HB පැන්සලෙන් තමයි අම්මිගෙ මූණෙ ඉරියව් මතුකරල ගත්තෙ. මේ සරේ මගෙ ලඟ තිබුන පින්සලක් පාවිච්චි කලා වර්ණ ගැන්වීම් කරද්දි. පින්සලේ මිනිරන්කුඩු තවරලා, කම්මුලේ මස්පිඬුවල පහළ දාරයෙන් පින්සල, කොළේට අංශක තිහක විතර ආනතියකින් පිම්බිලා තියෙන මස්පිඬු ඇතුල් පැත්තට වෙන්න පහළින් ඉහලට තෙරපපීමකට ලක් කලා කම්මුල් අඳිද්දි. මගේ උත්සාහය සාර්ථකයි නේද?
නැවතත් අපූරු මලක් අරං එන්නං. එතෙක් ඔබට ජය!
Saturday, January 23, 2016
නව වෙනි පරිච්චේදය: අපේ ආදර අම්මා
ආයුබෝවන්!
මිණිරන් පැන්සල නටවන්න අරන් මාස හතරක් පහක් වෙනව, නැටුමත් අපූරුවට කෙරීගෙන යනව, ඕං ඉතින් ඊලඟ පියවර තියන්න කාලෙ ඇවිත් දොරට තට්ට්ටු කරන්න පටන් ගත්තා. මාත් ඉතින් ආය දෙපාරක් හිත හිතා හිටියෙ නෑ කෙලින්ම වැඩේට බැස්ස. හැමදාම කරනව වගේ මම ආ...ස කරන, හොඳ ලස්...සනට හිනාවෙලා ඉන්න, හරි පැහැ...දිලි පින්තූරයක් හොයන්න ගත්ත, අනේ මේ වෙන කාවෙවත් නෙවෙයි, අපේ අම්මිගෙ. අම්මි කිව්වම කට්ටියට හිතෙයි ඇයි මේ කෙල්ල මේ වගේ තැනකදිවත් අම්ම කියන්නෙ නැත්තෙ කියල. ඒකටත් හේතුවක් තියනව. අපි අපේ අම්මට කියන්නෙ අම්මි කියල. ඔය කට්ටිය කියනවනෙ දෙමලෙන් අම්මි කියන්නෙ මිරිස් ගලටය, අම්මි කියන්න හොඳ නැතිය අනං මනං.ඉතින් හරි වැඩක් නෙවැ දවසක් මට සිද්ද උනේ. ඔය ඉන්න ගමන් මටත් හිතුනා, අම්මිට අම්ම කියල ආමන්ත්‍රණය කරන්න ඕනිය කියල. අනේ තුන් හතර වතාවකට වඩා අම්ම කියල කථා කරන්න උනෙ නෑ. බොහොම අක...මැති ස්භාවයක් ආරූඪ කර ගෙන, දුක... හිතුන ස්වරයකින් අපේ අම්මි කිව්වෙ නැතෑ
" අනේ මටනං අම්ම කියන්න එපා" කියල.
අම්මිට ඒකට එච්චරටම හිත රිදෙයි කියල මට හීනෙංවත් හිතුන්නෑ. අපි, අම්මි කියල කථා කරද්දි, අම්මිට දැනෙන ආදරේ දැනිල නෑ අම්ම කියද්දි. ඕං දැන් තේරෙනව නේද තියෙන බරපතළකම. කථාවෙන් කථාවෙන් කියන්ඩ ගිය එකත් අමතක වේගෙන එනව. මමමේ කිය කියා හිටියෙ කොච්චර අමාරු උනාද කියන වගනේ, පින්තූරයක් තෝරගන්න. අන්තිමේදි මේං මේ පින්තූරෙ තමයි සුදුසුකම්ලත් පින්තූරය හැටියට ඉදිරිපත් උනේ පැන්සල් වල දඟ බලන්ඩ.
දැන් ඉතින් කෙනෙක් දෝශරෝපණය කරන්ඩත් ඉඩ තියෙනව, 'බොලා මුල් පින්තූරෙ මීට ගොඩක් වෙනස්නේ' කියල. ඔව් ඒක එහෙම තමයි, මම ඇන්ඳෙ මට මනාප හැටියට. අපිට කැමරාවකින් පින්තූරයක් ගනිද්දි කරන්න බැරි දේවල් චිත්‍රයක් අඳිද්දි කරන්න පුළුවන් නොවැ, මේ එයින් එකක් විතරයි ආයුබොවන්ඩ.
මම තෝරගත්ත පින්තූරය මීට වසර තුනකට විතර උඩදි ගත්තු එකක්. නමුත් මට අම්මිගෙ මහළු වයසෙ පින්තූරයක් අඳින්න නම් මනාපයක් නෑ. තරුණ කාලෙ පින්තූරයක් අරන් බැලුවම, ඇයගෙ ස්භාවය ටිකක් වෙනස්. ඒනිසා මම උත්සාහ කලා, අම්මිගෙ දැනට තියෙන ස්වරූපයත් වෙනස් නොකර, ඇයගේ තරුණ කාලේ ලක්ෂණත් ස්මතු වෙන විදියට අඳින්නට. මම වෙනස් කරපු දේවල් තුනක් තියෙනව; ඇයගෙ කෙස් කළඹ, ඇදුම, සහ සෙවනැලි.
මේ චිත්‍රය ගැන මට ගොඩක් සතුටුයි. මම සාර්ථක උනා කියල තමයි හිතෙන්නෙ. මේක අම්මිට පෙන්නුවාම එයා ගොඩාක්ම සතුටු උනේ කොණ්ඩෙ ගැන.
"මගේ තරුණකාලේ කොණ්ඩෙ ඒ විදියටම ඇඳලා, ඔයා කොහොමද ඒක කළේ ?"
අනේ අම්මපා අපේ අම්මි හිතන් ඉන්නෙ මට එයාව අමතකයි කියල.
අපේ අම්මිගෙ ඇස් සාමාන්‍යයෙන් කුඩයි, හරියට මගෙයි අයියගෙයි වගේ. අම්මිගෙ ඇස්, නාසය, කණ, මුහුණ හොඳට ආව. ඒත් ඉතින් කට තමා හරියට ගන්ඩ බැරි උනේ.
"ම්ම්ම්.... කටනම් ටිකක් වෙනස් නේද?"
ඔන්න ඔහොමයි අම්මි කට ගැන කීවෙ. ඇයගෙ ඇඳුම වෙනස් කරන්න හිතුනා, ඔසරියක් වෙනුවට. අනේ මම එයාගෙ මාලෙ අඳින්න අමතක කළා. මට හිතුනා, මට ඒක ඇඳගන්න බැරිවෙයි කියල.
කලින් වතාවකදී වගේ මේ සැරෙත් මම සරල රාමුවකින් පින්තූරය හැඩ ගැන්වූවා. මට ගොඩක් අයට කීව, රාමුවක් පින්තූරෙට හොඳ පෙනුමක් එකතු කරනව කියල. ඉඩ තියෙන විදියට පොඩි වදන් පෙළකුත් එකතුකළා. පළවෙනිම වචනයෙන් කියවෙන්නෙ අම්මිගෙ නම. අපේ අම්මී හරී....ම ආදරණීයයි, හරි කරුණාවන්තයි, එයාගෙ ඒ ගතිගුණ පිළිඹිබු වෙන විදියට, පුංචි ආශිර්වාදයකුත් එකතු කරල තමයි මේ වදන් පෙළ ලීවෙ. කොහොම නමුත් මේ නිසදැස දැක්කම ඈ කියනව,
"ඔයා නිසදැස් විතරද ලියන්නෙ, කවි ලියන්න බැයිද ඔයාට?"
මම වැඩිහරියක් ලියන්නෙ නිසදැස්, කවිලියන්න නම් එච්චර හැකියාවක් නෑ. අමාරුවෙන් ගැටගහල කවියක් ලීව මේං මෙහෙම
කරුණාවෙන් හද පුරවන් අපෙ ආදර අම්මා
නිති අප සුවපත් වේවා පැතුම් පැතූ නිම්මා
ආදර බර වදන් වලින් අප සැනසූ අම්මා
පරම ආයු ලැබ සැනසෙන් සතුටු සිතින් අම්මා
අම්මිගෙ තියෙන අහිංසක බව ඒ විදියටම පෙන්නුම් කරන්නට නම් නොහැකි උනා මට. ඔව් මට දැන් හිතිනෙව, කෙනෙකුට කෙනෙක්ව චිත්‍රයට නගන්න අමාරු නෑ, ඒත් ඒ කෙනාගෙ තියෙන අහිංසක බව හෝ තේජාන්විත බව හෝ දරුනු බව හෝ කරුණාවන්ත බව හෝ ඒ විදියටම පෙන්නුම් කරන්නම් ටිකක් අමාරුයි කියල.
මේ චිත්‍රයත් ඊට පෙර නිර්මාණත් ඒ දවස් වල මම පෙන්නලා තිබ්බෙ මගෙ ස්වාමියාට, එයාගෙ මවුතුමීට, පියතුමාට, මගේ මෑණියන්ට සහ අය්යගෙ දූවරුන්ට සහ බිරිඳට විතරයි. ඒ අයගෙන් ලැබුන දිරිගැන්වීම්, සන්තෝෂවීම් නිසා තමයි මේතරම් දුරකට මට එන්න වාසනාව ලැබුනේ. ඉතින් මම කැමතියි ඒ අයට මගේ හඳපිරි ස්තුතිය.
ඔන්න ඔය විදියට තමයි අම්මිගෙ චිත්‍රයේ විස්තරය නිමා වෙන්නෙ. නැවතත් සිතුවමකින් හමුවනතුරු ජයෙන් ජය!
Subscribe to:
Posts (Atom)





















