Sunday, May 15, 2022

අපිත් හරියට වෙසක් කූඩු වගේ.


ලස්සනට වෙසක් කූඩුවක් හදන්න ගොඩක් මහන්සි වෙන්න ඕන, ඒ වගේම අපේ ජීවිතය ලස්සනට ගොඩනඟා ගන්න ගොඩක් මහන්සි වෙන්න ඕනී. 

වෙසක් කූඩු විවිධාකාරයි, අපේ ජීවිතත් විවිධාකාරයි. 

කූඩු හදන්න භාවිතා කරන ටිෂු කොළවල තුනී ස්භාවය නිසා ඒවා කපද්දීත් හසුරුවද්දීත් අපිට ඉතාම ප්‍රවේශම්කාරී වෙන්න වෙනවා. කැටයමක් කපද්දී ටිෂූ කොළේ වැරදිලා කැපිල යන පුළුවන්, කොහේ හරි පැටලිලා ඒවා ඉතා ඉක්මනින් ඉරෙන්න පුළුවන්. අපේ ජීවිතත් ඒ වගේමයි, ක්ෂණයකින් බොහොම පුංචි දේකින් අපේ ජීවිතේට කරදරයක් හෝ ජීවිතේ නැතිවෙන්න හෝ පුළුවන්. ඉතා කුඩා උණ්ඩයකින් තියුණු පිහියකින් පොලු පහරකින් වාහනේක ගැටීම වැනි සුළු දේකින් වුණත් ජීවිතය හානි වෙන්න පුළුවන්. 

කූඩුවක් ලස්සන වෙන්නෙ එයාගෙ කැටයම් දාලා කදිමට අලවලා තියෙන කොළ හින්දා. අපව ලසන්නට ලෝකයට පෙනෙන්නේ අපේ ශරීරය වහගෙන තිබෙන සම නිසා.  

අපි කූඩුවක කොළ අලවන කොට කිසිම සිදුරක් නැතුව තමයි කොළ අලවන්නෙ. එහි සිදුරක් තිබුනත් ඒ මගින් කුඩු ඇතුලට සුළං ඇවිත් ඉටි පහන නිවෙන්න පුළුවන්. ඒ වගේම අපේ ජීවිතයටත් බාහිරින් යම් යම් විසබීජ හෝ ලෙඩ රෝග හෝ ඇතුල් වෙලා ශරීරයට හානියක් වෙන්න පුළුවන්. 

වෙසක් කූඩුවක් අලවලා ඉවර වෙච්ච ගමන් හරි ලස්සනයි. නමුත් ටික කාලයක් යනකොට ඒක ටික ටික ජරාජීර්ණ වෙනවා. කොළවල පාට අඩුවෙනවා, වැස්සට තෙමිලා කොළ ඉරෙනවා, තද සුළඟ නිසා කොළ ඉරිලා යනවා, කූඩුවේ කොටස් කැඩිලා යනවා, වැස්සට තෙමිලා රැලි එකිනෙක රැලි එකිනෙකට ඇලවෙනවා. නොයෙකුත් අකරතැබ්බ වලට මුහුණ දෙමින් එයා කාලයත් එක්ක වෙනස් වෙනවා. අපේ ජීවිතත් ඒ වගේ තරුණ කාලේ හරිම ලස්සනයි සිත්ගන්නා සුළුයි ශක්තිමත්, නමුත් වයස යන්න යන්න ලෙඩ එනවා, වැහැරෙනවා, කොන්ඩ සුදු වෙනවා, නොහැකි වෙනවා, ආකර්ෂණය නැති වෙලා යනවා.

ඉපදීමෙන් පටන් අරගෙන වසර ගණනාවක් ජීවත් වෙලා මරණයෙන් අවසන් වන ජීවිතයක සංක්ෂිප්ත අනුවාදයක් වගේ වෙසක් කූඩුවක්.  


මෙත්මා
2022 මැයි 15

Friday, April 22, 2022

හාට් ඇටෑක්, පෙණහලු සවුතු වීම, සහ රට හරහට


මීට වසර ගාණනාවකට කලින් මම යනවා එක්තරා දොස්තර වරයෙක් මුණ ගැසෙන්න. මම ආ කාරණාව පැත්තකට දාලා, එයා මට ලෙක්චර් එකක් දෙනවා සමාජයේ බහුල දක්නට තියෙන මාරාන්තික ලෙඩ, ඒවා ඇති වීමට හේතු, රෝග ලක්ෂන මතුවන අවස්ථව,  ඒවා වලක්වා ගත හැකි ක්‍රම ආදී දේවල් සම්බන්ධයෙන්.


"ආනේ බලන්නකෝ, මේ හොඳට හිටිය කෙනා නේ, එක පාරටම හාට් ඇටෑක් එකක් ඇවිත්නේ නැති වෙලා තියෙන්නේ"

" පෙණහලු දෙක ගන්නම දෙයක් නැහැලු, හොඳටම සවුත්තු වෙලා කියන්නේ"

මෙවන් වදන් අපිට ටිකක් හුරුපුරුදුයි නේද? හාට් ඇටෑක් ඒමත් පෙණහලු නරක් වීමත් එක පාරට වෙන දෙයක් බව සමාජය හිතන්න පුරුදු වෙලා ඉන්නේ, මේ දේවල් මතුවට එන බවට කිසිම ලක්ෂණයක් කලින් නොපෙන්වන නිසා බව මේ දොස්තර මට දැන් දිගින් දිගටම පැහැදිලි කරනවා.  

උදාහරණයක් විදියට කියනවා නම්, හර්දයේ රුදිර නාල එක පාරටම අවහිර වෙන්නේ නැහැ, කාලයක් තිස්සේ අපි ගන්න ආහාර පාන වල බලපෑම නිසා, ටිකෙන් ටික බොහොම හිමින් තමයි අවහිර වේගෙන එන්නේ. ඒත් රුදිර නාලය සම්පූර්ණයෙන්ම වාගේ අවහිර උනාම තමයි හාට් ඇටෑක් එක එන්නේ. එතෙක් කල් මෙවන් දෙයක් අපේ ශරීරය තුල සිදුවෙමින් පවතින බවට අපිට කිසිම රෝග ලක්ෂණයක් පෙනෙන්නේ නැහැ.

පෙණ්හල්ලත් එහෙම්ම මයි. එයින් 95% ක් විතර අකර්මණ්‍ය වෙනකල් අපිට කිසිම රෝග ලක්ෂණයක් පෙන්නන්නේ නැහැ. ඉතින් අපි අවුලක් නෑනි කියලා හිතලා තවත් දුම් බිබී කැහැ කැහැ විනෝද වෙනවා. නමුත් ලෙඩේ අඳුර ගන්නකොට වෙන්න ඕනි ඔක්කොම වෙලා ඉවරයි. එය සුවපත් කරන්න බැරි තැනට පත් වෙලා. එතකොට අපි පරක්කු වැඩියි.

"අනේ අපේ රටට මොකද්ද මේ එක පාරටම උනේ, හොඳට තිබ්බ රටනේ?"

"අපේ අම්ම මුත්ත කාලෙවත් මෙහෙම පෝලිම් තිබ්බද?"

"කොයි ආණ්ඩුවකදි වත් මේ තරම් බඩු මිල වැඩි වෙලා නෑ"

මට පේන්නේ රටක් වුනත් හැසිරෙන්නේ හරියට පෙණහල්ලක් වගේ රුධිර නාල වගේ. අපි කවුරුත් හිතුවේ අපේ රට සංවර්ධනය වෙමින් පවතින, කිසීම ප්‍රශ්නයක් නැති රටක් කියලා. ඔන්න දැන් එයා අපිට පෙන්නවා රට කඩාගෙන වැටෙන ලක්ෂන. පේන හැටියට ජන ජීවිතේ එන්න එන්නම අඩාල වෙන්නයි යන්නේ. මේ ප්‍රශ්නයට විසදුමක් පේනතෙක් මානෙක නෑ.

මතුපිටින් බලලා හිතන්න එපා, අපේ රට එක පාරටම කඩා වටුනා කියලා. ආර්ථිකය කඩා වැටුනේ ටිකින් ටික. රුපියලේ අගය අඩු වුනේ ටිකින් ටික. කර්මාන්තය ශාලා එකින් එක වැහීගෙන යනකොට, ආනයන වැඩි වෙනවා. කාලයක් තිස්සේ ණය අර ගෙන කාලා බීලා ජොලි කරපුවගේ රඟ දැන් කාට කාටත් දැනෙන්න අරන්. 

රටක් සංවර්ධනය කරන එක පහසු වැඩක් නෙවෙයි. ඒකට උනන්දුව, කැපවීම්, දේශීය නිෂ්පාදන, කර්මාන්ත සහ ව්‍යාපාර නගා සිටුවීම, නාස්තිය අවම කිරීම, උපාය ශීලී බව වගේ ගොඩක් කරුණු අත්‍යාවශ‍යයි. බොහොම සතුටින් හිතේ සැනසීමේ ජීවත්වන මිනිසුන් ඉන්න රටක් වේනම්, ඒ රටේ මිනිස්සු එතරම් හොඳින් ඉන්නේ කාලයක් තිස්සේ බොහො මිනිසුන් කල කැපවීම් මහන්සි වීම් වල ප්‍රතිඵලයක් වශයෙන්. රටක් වැටෙන එකත් එහෙම්මම්යි.

අපේ රටේ දක්ෂයෝ ගොඩක් ඉන්නවා. ඒත් ඒ අයගේ දක්ෂතා වලට එලියට එන්න ඉඩ දෙන්නේ නෑ, ඔවුන්ට අත දෙනවා වෙනුවට බිමට ඇදලා දනවා. නාස්තිය උපරිමයි, දේශීය දේට අගයක් නෑ. ඉතිං අපේ අය එයාලට අගයක් දෙන පිට රටකට එයාගේ දැනුම විකුණනවා. 

මෙත්මා
2022 අප්‍රේල් 22









Saturday, November 20, 2021

සුභ පැතුම් කවියෙන්

අපේ අම්මා මේ ලඟකදී ඉඳන් පටන් අරන් තියෙනවා උපන්දිනේට සුබ පතන්න කවියෙන්. මම තමයි එයාගෙ අදහස දැම්මේ. එයාගෙ මිණිබිරීගේ උපන්දිනේට  "අනේ ඉතින් මට දෙන්න දෙයක් නෑනේ" කියද්දි මම කිව්වා, 

"ඉතින් ඔයා ඉතින් ලස්සනට කවි ලියනවා නේ, කවියක් ලියලා දෙන්නකෝ" කියලා.

ඒ ලියපු කවිය අපි පස්සේ බලන්න තියාගෙන, අද බලමු එයා මට දුන්න කවිය මොනවගේද කියලා. 


තිළිණයක්  දෙන්න හිතුනත් උපන් දි⁣⁣          න දෙන්නට දෙයක් නැත ඔබ හට ඉතින් වෙන පැතුමන් සමගින්ම ඔවදන් හරි වටි ම      න 
කවි මල් මිට මගේ සතුටින් පිළිගන්          න 

ජීවන ගමන කරගෙන රෝදයක් ව       ගේ 
සැප දුක දෙකම ඇත අප යන අතර ම ගේ 
පියකරු  සුවඳ ඇති ලස්සන මලක් ව  ගේ
ජීවත් වෙන්න සැමදා එය තමයි අ         ගේ

ඉහළ බලාගෙන වැඩුනත් දිනෙන් දි      න 
පලබර වෙන විට දී ඇත බිම බලා ගෙ න
නිරහංකාර බව ලෝකෙට කියා දෙ       න 
පාඩම එයයි ලොව ගරු බුහුමන් ලබ   න 

පලබර ගසටමයි ගල් මුල් වදින්         නේ
ගස නම් අනේ නැත කලබල කරන්   නේ
අතු ඉති දමා යළි යළි පල දරන්           නේ 
යහපත තමයි ලෝකයටම  බෙදන්    නේ 

අපගේ සියලු කුණු කන්දල් දරාගෙ      න
රස මුසු බොජුන් ඒ වෙනුවට ලබා දෙ  න
සාමය සතුට නිතරම තුරුලට රැගෙ    න
මිහිකත වගේ ඉවසීමෙන් කල් ගෙව   න

උදේට පිපෙන මල් ලස්සන හැඩයි ව   ගේ
හවසට පිපෙන මල් සුවඳයි සුදුයි ව     ගේ
මේකෙන් අහගන්න දුව රත්තරන් ම   ගේ 
ජීවත් වෙන්න සුවඳැති හැඩ මලක් ව  ගේ 

සිතන පතන දේ එලෙසම ඉටු වෙන්න      යි
තෙරුවන් සරණ නිති සැමදා ලැබ ගන්න  යි
තිස්තුන් කෝටියක් දෙවියෝ රැක ගන්න  යි 
මගේ  පැතුම ඒ ලෙසටම ඉටුවෙන්න        යි 

මම නොදුටුව නව ලෝකයෙ කිරුලු පලන් රැජින වෙලා
ඔබ අද මට වෙන්නට හැකි ඉහළම තිළිණයක් වෙලා 
මගෙන් වුනා නම් වරදක් අසරණ මට සමාවෙලා
ඉපදේවා සසර වසන තුරුම මගේ දුවම වෙලා

කරුණාවතී


ඉතින් මට ගොඩක්ම වටින්නේ එයා මට දුන්න ඔවදන් ටික. තනතුරින් ඉහළට යන්න යන්න නිරහංකාර වෙන්න කියන එකත්, නින්දා අපහාස වලට සැලෙන්න එපා කියන එකත්, මිහිකත වගේ ඉවසන්නත් එයා මට කියනවා. ඉතින් ඒ දේවල් හැමදාම මගේ හිතේ තියෙයි. 

මම ඔයාලවත් ධෛර්යමත් කරනවා ඔයාගේ ආදරණීය වෙනුවෙන් පැතුම් යවන විට කවියෙන් සුබ පතන්න කියලා.




Sunday, October 24, 2021

ගෙවල් හෙවිල්ල | ටීකා සී පද

ඉන්නා ගේ ...

හීටර දෙකතුනකුත්, විදුලි ලිප් කීපයකුත් දාලා ඒත් බැරිතැන මේසුත් ජේසිත් දාලා රෙද්දකුත් පොරවගෙන හා පැටව් වාගේ හීතලේ ගුලිවෙලා, ගෙදට්ටම වෙලා බතක් මාළුවක් උයාගෙන, පීස් ටිකක් වවාගෙන, වැඩක් පලකුත් කරගෙන, ඇපල් මලක් පිපෙනකල් බලා ඉන්න කොට...

ඉන්නා ගෙදර දෙන්නැයි ඉල්ලුවා ගෙය අරගත් අළුත් කෙනා...

රටත් වහලා, ගමත් වහලා, කඩ අනං මනං ඔක්කොමත් වහලා, ගෙයින් පිටට අඩියක් වත් තියන්න බැරිව, දන්න, නොදන්න, දැක්ක, නොදැක්ක, හැමෝම හැකි නොහැකි හැම වැඩක්ම ගෙයි ඇතුලේ ඉදං, රෙදි සෝදන ගමං, රෙදි වේලන ගමං, ළමයි නලවන ගමං, රංඩු බේරන ගමං, බත් උයන ගමං මතක් උනොත් වැඩත් කරන කාලේක ...

යන්නත් බෑ බලන්නත් නෑ, නමුත් ගෙයක් අපි හෙව්වා ...

පරිගණකයෙන්, දුරකතනයෙන් අතට අහුවෙන හැම මගුලකින්ම උදේ හිට දවල් වෙනකල්, හවස වැඩ ඉවරවෙලා රෑ වෙනක ගෙවල් හොයනවා, කාමර කීයද, නාන කාමර කීයද, වාහන පාකින් කීයද, ගාන කීයද, උඩට පහළට යනවා, තරු දානවා, ඒ පැත්ත දුරයි එහෙන් එපා කියනවා, මලක් පැළයක් හිටව ගන්න හැකිද බලනවා, අන්තිමේදී රෑ හීනෙනුත් ගෙවල් පේන්න විට ...

එකම එක ගෙයක් බලන්න අපිට යන්නට ලැබුනා ...

රැකියාව, පඩිය, උපත, විවාහය, කලින් හිටි තැන් එකී නොකී මෙකී හැම ලියවිල්ලක්ම පෙට්ටගං අස්සෙං හොයාගෙන පත්තරක් වගේ දිය කොලේකුත් පුරවලා අරයට මෙයාට දෙන්න එපා මේ ගේ අපිටම දෙන්න කියලා දාහක් දේ කියලත් ගෙයක් හොයාගන්න බැරිව ලට්ට ලොට්ට ටිකත් අරගෙන පාරට බහින්න වේද හිත හිතා ඉන්නා කලක ...

රූප වලින් විතරක් දුටු ගේකට අපි හෙට යනවා ...

ඈත ගම්දනව්වකින්, කවදාවත් ඇහැටවත් නොදැක්ක, කාගෙන්වත් අහල දැන කියාගන්න බැරි වුන, පින්තූර කෑල්ලකින් විතරක් දුටු අයෙන් ආවාහ විවාහ කරගන්න, ගෙවල් දොරවලුත් අස් කරලා, උත්සව ශාලාවකුත් වෙන් කරගෙන, නෑදෑයිටත් එන්නත් කියලා, තෑගි බෝගත්, රෙදි පෙරෙදිත්, රත්තරං බඩුත් අරගෙන යන්නා වාගේ...

අපි යනවා... 


මෙත්මා
ඔක්තෝබර් 24, 2021








Sunday, September 19, 2021

දුර්වලතා දක්ෂතා බවට

 ඔව් අදත් කතාව පටන් ගන්නේ යොහානිගෙන්. පේනවනේ ඇයව කොච්චර හිතට කාවැදිලද කියලා. ඇයට තියෙන්නේ ඇයටම ආවේනික ගායනා විලාශයක්. මම මුල්ම වතාවට රසවිදි ඇගේ 'මට ආලෝකේ ගෙනදේවි' මෑශ් අප් කවර් එකෙන්ම ඒක මට පැහැදිලි උනා. මුල් ගායනයට වඩා විශාල වෙනස්කම් ඇගේ ගායනයේ ඇති බව මම සංගීත හදාරපු නැති කෙනෙක් වුනත්, මට අවබෝධ වුණා. එදා මට හිතුන දෙයක් තමයි මෙයා ඇගේම සිංදුවක් කරොත් එය බෙහෙවින් සාර්ථක වේවි, අන් අයගේ සින්දු කියන එකට වඩා ‍යන බව.

දින කීපයට කලින් මට ඉඟියක් ලැබුණා ඇගේ ගායන ශෛලියේ වෙනස්කම සම්බන්ධයෙන්. ඒ ඇය හා නුවන් කළ 'සයුරේ' යන මෑශ් අප් එක අහද්දි. මෙතැනදී ඇය සයුරේ, අඹ යාළුවෝ, උන්මාද වූ යන ගීත තුනෙන් කොටස් ගායනා කරනවා. ඒ ගීත තුනම මම බෙහෙවින්ම ප්‍රිය කරන ගීත. සමහර ගීත අපේ මතකයේ රැඳිලා තියෙන්නේ ඒ ගීතය මුලින්ම ගායනා කළ ගායිකාවගේ හෝ ගායකයාගේ හෝ කට හඬත් එක්ක. ඇගේ අඹ යාලුවෝ ගීතයේ කොටසට මම කැමැති වුණත්, අනිත් ගීත දෙකේ මුල් ගායන ශිල්පිනියන්ගේ ගායනය වඩාත් හොඳ බව මට හිතුනා. නමුත් නුවන්ගේ ගායනයට මම කැමති වුණා. ඔන්න එතකොට ප්‍රශ්නයක් මතුවෙනවා,  'ඇයි යොහානිගේ ගායනයන් මම ප්‍රිය කරන නමුත් මේ ගායනය මගේ හිතට ඇල්ලුවෙ නැත්තේ?'. නුවන්ගේ ගායනය හරිම සුමටයි. ඔහු ගායනා කරගෙන යද්දී වචන අතර එයාගේ හඬ වෙනස් වීම සුමටයි, අඛණ්ඩයි,  මට සිලිටුයි. නමුත්, යොහානිගේ ගායන අලංකාර ගනිද්දී හඬෙහි අසන්තත බවක්, රළු බවක්, වෙන් වූ බවක් තියෙනවා. ඇයගේ ගායනයේ එකපාරම හඬ උස් පහත් වන අවස්ථා එමට තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් ගායකයෙක් හෝ ගායිකාවක් හෝ එවන් ගායන ශෛලියක් අනුගමනය කරන්නේ නැහැ. උදාහරණයක් විදියට අපි භාෂාවක උච්චාරණ විලාසය පැත්තෙන් හිතුවොත්; සුමට ඇමරිකන් ඉංග්‍රීසි කතා විලාශයයි, ටිටක් රළු ඔස්ට්‍රේලියානු ඉංග්‍රීසි කතා විලාශයයි වගේ. ගණිතයෙන් හිතුවොත්; සාමාන්‍යයෙන් ගායක ගායිකාවන්ගේ ගීත ගායනයේදී හඬ උස් පහත් වීම හරියට නිකන් ගලාගෙන යන්නේ සයිනාකාර තරංගයක් වගේ, නමුත් යොහානිගේ ගායනයේදී හඬ උස් පහත් වන්නේ හරියට නිකං හෘද ස්පන්දනය ප්‍රස්තාර ගත කළා වගේ.

ඉතින් එයාගෙ මේ වෙනස නිසා සමහර විට එයා වෙන කෙනෙක්ගෙ ගීතයක් ගායනා කරද්දී, එය මුල් ගායනයට වඩා හොඳ හෝ නරක හෝ වෙන්න පුළුවන්, ඒ ගීතයේ ස්වභාවය අනුව. උදාහරණයක් විදිහට සතීශන්ගේ 'මැණිකේ මගේ හිතේ' ගීතය, ඔහු ඉතා සුමට විදියට ගායනා කරනවා. නමුත් එම ගීතයම යොහානි ගායනා කරන විදිය වෙනස්. ඇය ක්ෂණික හඬ උස්පාත් කිරීම් වලින් ගන්න තානාලංකාර නිසා ඒ ගීතයේ රසවින්දනය  සෑහෙන්න ඉහළ නැංවෙනවා. ඒ ගීතය මෙච්චර ප්‍රසිද්ධ වුණේ  ඒ හින්දයි. ඉතිං මම තීරණය කරා ඇයගේ ගායන ශෛලියට ගැලපෙන ගීත ගායනා කල විට ඉතා සාර්ථක මුළු ලෝකයක් ආදරේ කරන නිර්මාණ වන වග.

අපි අපේ දක්ෂතා/දුර්වලතා අඳුරගෙන ඉන්න එක හරි වැදගත්. මගේ ඇති ගති ලක්ෂණයක් සාමාන්‍යයෙන් දුර්වලතාවයක් ලෙස සැලකුණත් එයම මගේ දක්ෂතාවයක් කරගන්න එක මගේ වැඩක්. උදාහරණයක් විදියට මේ කතා ලියන එක හරි කම්මලි වැඩක්. ඒ නිසා මං පුරුදු වෙනවා එහි රසය පවත්වා ගන්න ගමන්ම සංක්ෂිප්තව ලියන්න. එතකොට මගේ කාලයත් ඉතුරුයි, බලන කෙනාගේ කාලයත් ඉතුරුයි. 


මෙත්මා

2020 සැප්තැම්බර් 19









Sunday, September 12, 2021

සිංහල ජාත්‍යන්තරයට ගිය වගයි

 පොඩි වචනයක් කියන්නේ හිතුනා යොහානි සහ එයාගේ කණ්ඩායමේ කට්ටිය ගැන. මෑතකාලීන ප්‍රසිද්ධියට පත්වූ මේ ගායිකාව ගැන නොදන්න කෙනෙක් නැති තරම්. මට ඇගේ ගායනයක් මුලින්ම අහන්න ලැබුණේ මීට වසර කීපෙකට කලින්. ඒ, 'මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ'යන මෑශ් අප් එක. ඒක මගේ හිතට ගොඩක් වැදුනා. මම එක ක්ෂණයකින් ඇගේ රසිකාවියක් වුණා. එයාගෙ ගායනය මුල් ගායනයත් එක්ක බලද්දි යම් යම් වෙනස්කම් තිබුනත් මම ඒකට ගොඩක් කැමති වුනා. ඇගේ කටහඬට වශී වුණා කිව්වොත් නිවැරදියි.  එයාගේ ගායනය, රංගනය, මුහුණේ ඉරියව්, ඇදුම් ආයිත්තම්, සහ ඒ දෘශ්‍යමානයට එකතු කරගත් දේ, ඒ ගීතයට ලොකු සාධාරණයක් ඉෂ්ට කළා. නිර්මාණශීලීත්වය උපරිමයි. මේ කෙල්ලට සීමා මායිම් නෑ, සීමා දාලා නවත්තන්නත් බෑ. දවසක ඇය ලෝකය ජයගන්නා බව මගේ හිතේ තදින්ම ලියවිලා තිබුනා.

ඇගේ මධුර ගායනය, විශිෂ්ට නිර්මාණශීලී බව, හා කැපවීම, අපේ මේ මව් භාෂාව වන සිංහල භාෂාව ලෝකයට අරන් ගියා. අපි කාටවත් කරගන්න බැරි වෙච්ච මේ වැඩේ එයා කරා. ඒ ගැන බොහොම ආඩම්බරයි . ලංකාව කිව්වාම ලෝකෙ මිනිස්සු දන්නෙ නෑ මොන භාෂාව ද  අපි කතා කරන්නේ කියලා. මුලින්ම හිතන්නේ ශ්‍රී ලාංකික භාෂාව කියලා. පස්සේ මතයක් ඉදිරිපත් වෙනවා ආ දෙමළ නේද එහේ තියෙන භාෂාව කියලා. මේක මම පෞද්ගලිකවත් අත්දැකලා තියෙනවා. ඔයාලා ටිකක් අවධානයෙන්  බැලුවොත් පෙනෙයි, යොහානිගේ 'මැණිකේ මගේ හිතේ' යන නිලමය cover වීඩියෝවට ප්‍රතිචාර වශයෙන් පිටරැටියන් විසින් කළ වීඩියෝ වල දී, ඒ අය මුලින්ම භාෂාවක් විදිය ලාංකිකයන් කතා කරයි කියලා අඳුර ගන්නේ දෙමළ භාෂාව. එක අතකට ඒක ඛේදජනකයි. රටේ වැඩිපුර ප්‍රමාණයක් කතා කරන්නේ සිංහල භාෂාව වුණත් එහෙම භාෂාවක් තියෙනවද කියලවත් ලෝකෙ මිනිස්සු දන්නේ නැහැ. ඒක අපේම වැරැද්ද. නමුත් දෙමළ කියන භාෂාව සාමාන්‍යයෙන් මිනිස්සු දන්නවා. දකුණු ඉන්දියානුවන් කතාකරන්න දෙමළ කියන එක දන්නවා. ඉතින් අපි කතා කරන්නේ දෙමළෙන් වෙන්න ඇති කියලා එයාලා උපකල්පනය කරනවා. ලංකාව කියලා රටක් තියෙනවා කියන එක ලෝකේ බොහෝ දුරට දන්නවා. නමුත් සිංහල භාෂාව තාම ලෝකෙට ගිහින් නෑ. ඉතින් අපේ මේ සුන්දර භාෂාවෙන් නොයෙක් පිටරැටියන් ගීත රසවිඳිනවා දකින එකම කොච්චර සතුටක් ද. මම බලාපොරොත්තු වෙනවා යොහානි සහ කණ්ඩායම තව තවත් සිංහලෙන් ගීත ගායනා කරාවි, ලංකාවේ මේ සිංහල භාෂාව ජාත්‍යන්තරයට ගෙන යාවි කියලා. එතකොට මිනිස්සු අපි ගැන අපේ මේ භාෂාව ගැන හොයන්න පටන් ගනීවි, කතා කරාවී, ඉගන ගනීවී. 

තවත් සුවිශේෂි දෙයක් කියන්න ඕන. මම ඕන තරම් අහලා තියෙනවා සිංහල ගීත මැද්දට ඉංග්‍රීසි භාෂාවෙන් රැප් කෑලි දාලා කරපු ගායනයන්. නමුත් පළවෙනි  වතාවට මම ඇහුවා මේ අය කරපු ඉංග්‍රීසි ගීතයක්, මැදින් දාපු රැප් එකේ තියනවා ලස්සන සිංහලෙන් යන තැන්. ඒකනම් හීනයක් වගේ. මං කැමතියි මේ වගේ ගීත තව තවත් එලියට එනවා නම්. සඳරුත් මේ වැඩම කරලා තියෙනවා. ඔහුටත් මගේ ආචාරය.

කෙනෙක් හිතන්න පුළුවන් අනේ මෙයාලා අපේ සංස්කෘතිය කනවා කියලා. ඒකට මම එක හෙලාම විරුද්ධ වෙනවා.  අපි රැප් කරන එක ගැන කතා කරමුකෝ. රැප් කරන එක අලුත් දෙයක් නෙවෙයි අපේ ලාංකිකයන්ට. බොහෝම ඉස්සර කාලේ අපේ අය කිව්වා සී පද වර්ගක්. ඒවට කිව්වේ ටීකා සී පද කියලා. නර්තනය ඉගෙන ගෙන තියෙන අය නං ඒ ගැන අහලා ඇති මීට කලින්. අපි දන්නවනේ සී පද කියන්නේ ලස්සනට බොහෝ ඇදලා තාලෙට. නමුත් ටීකාව කියන්නේ ඉක්මනින් ඉක්මනින්. සී පදයේ පද අතර තමයි ටීකා කියන්නේ. ටීකාවයි  සී පදයයි ගත්තම එකම දෙයක් ගැන  දෙවිදියකට අදහස් දැක්වීමක් කෙරෙනවා තාල දෙකකට. මම බොහෝම කැමතියි  ඒවට. ඉතින් රැප් එකක් එක්ක සිංදුවක් කියද්දිත් වෙන්නේ ඒ දේම තමයි. 

සංස්කෘතිය ගැන කියන්න ගිය නිසා තව දෙයක් කියන්නම්. කෙනෙක් අඳින පළඳින විදිය,  එයා කොණ්ඩෙ කපන/සරසන විදිය, ඒක එයාගේ කැමැත්ත. අපි ගායිකාවක් හෝ ගායකයෙක් ගැන විචාරය කරද්දී කතා කරන්න ඕන එයාගෙ ගායනය මොනවගේද, එයාගේ නිර්මාණශීලීත්වය කොයිවගේද කියන එක. ගුරුවරයෙක් ගැන කතා කරද්දි බලන්න ඕන දැනුම ලබාදීම වශයෙන් එයා මොන තරම් දක්ෂද කියන එක. වෛද්‍යවරයෙක් ගැන කතා කරද්දි බලන්න ඕනි එයා ලෙඩ්ඩුත් එක්ක කොහොමද එයාගෙ ගණදෙනු කරන්නේ කියන එක. ඒ ඒ අයගේ පෞද්ගලික විස්තර වලින් අපිට වැඩක් නැහැ. 


ටීකා සීපදයක්

හෙමින් හෙමින් …

තවද ... ඌරන්ට, ගෝනුන්ට, මුවන්ට සාවුන්ට වෙඩි තියන්න වල් පාරක් දිගේ කිට්ටු කරන් යන්නා වාගේ ...

හෙමින් හෙමින් ...  මම ගේකට ... යන කලට ...

එකෙක් ඇවිත් ...

තවද ... අත්තා, මුත්තා, පනත්තා, කත්තා, කිරිකිත්තා, සෝලියා, පාඞයා කාලේ මහා උස් කණාටු පොල් ගසකින් ගෙඩි පනහක් සීයක් සිඳහෙලන්නා වාගේ ...

එකෙක් ඇවිත් ... දුන්නයි මගේ ... පිට මැදට...

එගුටි කකා ...

තවද ... නැන්දා මාමාගේ ගෙදර ගොස් හොඳ හොද්දක් බතක් මාළුවක් පින්නක් කෑවා වාගේ ...

එගුටි කකා ... මං පිට වී ... යන කලට ...

මම්ම මටම ...

තවද ... නැන්දා, මාමා, ආච්චී, ආතා, හූරා නෑනා කෙනෙක් සමඟ සංතෝස වේලාවකදී කොක් හඬලා සිනාසෙන්නා වාගේ...

මම්ම මටම ... ඉල ඇට නැත ... හිනැහෙන්න ...





Friday, August 20, 2021

කිරි

දොවා ගත් කිරි යැයි සිතා එළදෙනුන් ගෙන් කන නැවුම් තණකොළ ලන්දෙ නවසීලන්තයේ

දුඹුරු ව කහ ව කර වී වියළුන පිඩැලි වැරෙන් උලා කන දෙනුන් දුටිමි ඔසී ලදු බිම් වල...

දමා හැදි දෙකක් වතුරට දිය කර පානය කරයි සතුටුව උදම් අනමින් ෂා නියම කිරි එක

යන්ත්‍ර ගණනක පහසින් සැකසුණු පිටි, ඊටත් වඩා දුර ගමනක් ආ කැට සීනී මුසුව රස කරයි කිරි කහට, හැබැයි පස්සේ සීනී ඒ අයට

දියර කිරි බොයි ඒ රට වල අය, සීනීවත් කහටවත් එක් නොකර සුදුවටම

අමතක කල හැකිද රට පුරා තණ නිල්ල වග, ගම් වල දැන් දෙනුන් නැති වග.


අගෝස්තු 20,

මෙත්මා










 


Thursday, January 28, 2021

වරද කාගේද?

ඒක මහ අඳුරු දවසක්. පිටු පසින් සුදු හුණු ගෑ බිත්තියක්, දකුණු පසින් වහලයේ උසටම සරි මනාසේ නොබැඳි වේල්ලක්, කොරිඩෝවට එහායින් පළාතම වසා ගත් විශාල කොස් ගහක් උරුම කරගත් දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලය අන්තිමටම පිහිටි අපේ පන්ති කාමරේ කළුවර නැත්තේ මොන දවසටද? පියන් රහිත තරමක් විශාල ජනෙල් කවුළු, කම්බි දැලකින් ආවරණය කර තිබුනේ එය අලංකාර පිණිස ද දරුවන්ගේ ආරක්ෂාව පිණිස ද කවුරුත් නොදත්හ. පාසලේ සියළුම පංති කාමර ආලෝකමත් කිරීමට මේ ස්භාවික ක්‍රමය පිටුවල් වුවත්, මේ එකම ආලෝක ප්‍රභවය අපේ පංතිය හමුවේ පසුබෑවේ හපුත්ලේ කන්ද නඟින ගැලක බැඳි ගොනෙක් සේය. විශේෂයෙන්ම අඳුරු වැසි සහිත දින වල දී අප පොත් වල ලියූ අකුරු උඩ ඉන්න දෙවියන්ට වත් කියවීමට හැකි වූවාදැයි සැක සහිතය. ජන්ලෙයට ආසන්නම අසුනේ උන් මට ඉතා කලාතුරකින් දිනක, කුඩා කඩල ඇට තරමේ හදිසි අයිස් වැසි වැටීමේ සුන්දර දසුනේ පැහැදිලි දර්ශනයක් දැක ගැනීමේ භාග්‍ය හිමි විය. අනේ ඒත් සුළං වැසි වසින සීත දවසට මගේ දකුණු පසින් පිණිබිදු මා සොයා ආවේ හිරි ගඩු පූප්පමින් දෙන්නං ජම්බු කියාගෙනය. 

පිරිමි ළමුන් සිටියේ කොරිඩෝව පිහිටි පැත්තේය. එනම්,  ගැහැණු ළමුන් සිටියේ වේල්ල පැත්තෙම ය. ගැහැණු ළමුන්ගේත්, පිරිමි ළමුන්ගේත් පේළි හතර බැගින් පන්තිය සැදුම් ලත්හ. මේ එක් පෙළක ළමුන් හතරක් හෝ පහක් හෝ සිටිති, නමුත් ඒ කොයි පෙළකත් ඩෙස් තිබුණේ හතරකි. උස ගැන නොසිතා, අවසාන පේළියේ සිටීමට මා නිතැතින්ම කැමති වුයේ පුටුව පිටුපසට ඇල කර නිදහස් ඉරියව්වෙන් සිටීමට හැකි මහඟු අවස්ථාව නිසාමය. කෙසේ හෝ වේවා ජනේලෙ ළඟ උන් මට එහා පැත්තෙන් තව ළමයි තුන් දෙනෙක් සිටී. මා ළඟ සහ ඊට එහායින් සිටි ළමුන් දෙදෙනා මා දැන සිටියේ දෙක වසරේ සිටය. නමුත් ඒ දිනවල අප අතර දැඩි ඇසුරක් නොතිබිණි.

මනා සේවයක් ලබා ගැනීමේ අරමුණින්, රජයේ සේවකයන්ගේ සේවා ස්ථානය මාරු කිරීම නම් වූ ලාමක වැඩපිළිවෙළින් බැට කෑ ගුරුවරුන්, නමයෙන් දහයට එනවිට ළමුන් මාරු කර පන්තිවලට දැම්මේ කූඨ උපක්‍රමයෙන් අපේ ප්‍රගතිය වැඩිවේ යැයි බොරු බලාපොරොත්තු තබා ගත්තෝය. නමුත් එය හැමෝටම එක ලෙස බලපෑවේ නැත. වහා කතා කළ සැනින් යහළුවන් යෙහෙළියන් බවට පත්වීම මගේ ක්‍රියා කලාපය නොවේ. අනිත් ළමුන්ට සාපේක්ෂව ලඟ යහළුකමක් ඇති කර ගැනීමට මට දිගු කාලයක් ගත වේ. එය විටෙක මාස 6ත් අවුරුද්දත් අතර කාලයක් ගනී. වසර ගණනක් තිස්සේ අපිට ආදරෙන් ඉගැන්වූ ගුරුවරුන්ට, පණ මෙන් උන් අපි තුන්දෙනා පන්ති තුනකට දැමීම සුළු දෙයක් විය. මේ අදුරු පන්ති කාමරයේ ගත කළ 10 වසරේ මුල් භාගයේ දී මගේ සිතට දැනුන තනිකම ගැන ඔවුන් දශමයකුදු දැන නො සිටියහ. 

එහා පන්තියේ උගන්වන දේ විටෙක අපට හොඳන් ඇසෙයි. ඊට එහා පන්තියේ උගන්නන දේත් විටක ලාවට ඇසෙයි. හොඳට කට සද්ද ගුරුවරයෙක් නං ඊටත් එහා පන්තියේ උගන්නන විටත් අපට ඇසෙයි. එහා පන්තියේ ඉංග්‍රීසි ටීච 

"Do you understand?"

"Yyyyyeees"

ප්‍රශ්නය මෙන් ම පිළිතුර ද ඇගේ ම ය. 

කුමක් හෝ කාරණයක් හේතුවෙන් අපේ පන්තියේ ගුරුවරයා/ගුරුවරිය මේ කාලච්ඡේදයේ පන්තියට නො පැමිණ ඇත. පන්තියේ ළමුන් අමන්දානන්දයට ලක් කළ නිදහස් කාල පරිච්ඡේදයක් ලෙස අපි එය හඳුනා ගත්තෙමු. ළමුන් එකිනෙකා හා කතාවට යුහු සුළු වෙයි. අලුත් නවාතැනකට පියඹා යන මී මැසි රංචුවක් මෙන් ගුමු ගුමු ඝෝෂාවක් දසත පැතිරී යයි. ඒත් එහෙමට යාලුවෙක් නොසිටි මම ඔහේ පාඩුවේ ම සිටිමි. ඒ අවස්ථාවේ එහා පන්තියට ඉගැන්වීම සඳහා මා ඉතා හොඳින් දන්නා අඳුරන වසර ගණනක් ආශාවෙන් අධ්‍යාපනය ලැබූ ආදරණිය ගුරුවරයෙක් පැමිණ සිටි. සාමාන්‍යයෙන් එහා පන්තියට හෝ අපේ පන්තියට ඉගැන්වීමට මෙම ගුරුතුමා නොපැමිණෙයි. අපේ පන්තියේ ඝෝෂාව මැද්දෙන් ලාවට ඔහු උගන්නන හඬ මට වරෙක ඇසෙයි. ඒ කටහඬ ඇසීමත් ප්‍රියජනක ය. 

ටිකක් කට සැර වුවත්, ෆෝර්මියුලා තරග පිටියක සේ වූ ඝෝෂාව කපාගෙන හයියෙන් ටික වේලාවක් කතා කර, හෙම්බත් වූ ගුරුතුමා වහා අපේ පන්තියට කඩා වැදුණහ.

"ළමයි උඹලා ඔහොම කෑ ගහනකොට කොහොමද  බං මං එහා පන්තියේ උගන්වන්නෙ? වැඩක් නැත්නම් පොතක් බලාගෙන පොඩ්ඩක් ශබ්ද කරන්නේ නැතුව ඉන්න."

යි රතු නිවේදනයක් නිකුත් කළේය. ළමුන් මීයට පිම්බාක් මෙන් ක්ෂණිකව නිශ්ශබ්ද විය. 

මේ ආදරණීය ගුරුවරයාගේ දහසක් බලාපොරොත්තු කඩකරමින් ඒ නිහඬතාවයේ ආයු කෙටි විය. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ළමුන් එකිනෙකා හා කතාව නැවත ඇරඹූවෝය. ටික මොහොතකින් එය කලින් වූ ඝෝෂාව මෙන් ම දරුණු ඝෝෂාවක් විය. "යකෝ මුන්ට කියන දෙයක් අහන්න බැරි හැටි" යි කෝපාවිෂ්ට වූ ගුරුවරයා පන්තියට පියමනින වේගයෙන්ම නිහැඬියාව ද පන්තියට ආවේය.

 "උඹලට මං ආයෙ කියන් නෑ, පාඩුවේ ඉන්නවද නැත්තං මගෙන් ගුටි කනවා ද? මම හොදින් කියන්න අන්තිම වතාව. එකෙක් හරි අහුවෙයන්කො මට."

පන්තියේ ආයෙත් නිහැඬියාව රජයයි. මා අසල උන් ළමයි සමග වචනයකුදු කතා නොකළ මටනම් දැන් අම්බ කම්මැලි ය. නමුත් හිමින් හිමින් ළමුන් තම අසල වුන් එවුන් හා කතාවේ යෙදෙති. අයෙක් තම ළඟ සිටි සගයාට කියන්නට ඇති සියල්ල කියා අවසන් වූ පසු, තම අසුනින් නැගිට, පන්තියේ වෙනත් තැනක උන් කෙනෙක් සමඟ කතාවට වැටෙයි. පන්තියේ ළමුන් කීපදෙනෙක් සිටගෙන සිටින අතර බොහෝ දෙනා වාඩිවී සිටී. මට වමෙන් උන් ළමයා එයාට වමෙන් උන් ළමයා සමඟ බර කතාවක. මම උන් පෙළට ඉදිරියෙන් මැදි පෙළ අසලම හිටියේ  කලින් සිට හඳූනන මගේ ආදරණීය මිතුරියකි. 

"මම යනවා මෙයා ලඟට, ඒකල්ලා හිමීට රහසින් මොකක් හරි කියලා එනවා. කොහොමත් මේ ගුරුවරයා ආය ආවොත්, පන්තියේ අයිනේ ඉන්න ළමයිට පේනවා නේ, ඉතින් අනිත් අය වගේ මාත් ටක් ගාලා ඇවිත් වාඩි වෙනවා මගෙ පුටුවෙන්" යි 

බලාපොරොත්තු දල්වා මා පුටුවෙන් නැගිට, මා මිතුරිය ළඟට යෑම ඇරඹුවෙමි. අපහසුම කර්තව්‍ය වුයේ, අප පේළියේ මැදි පෙළ ළඟම උන් මා එතරම් නොදන්නා ළමයා පසු කර යෑමයි. මාගේ මේ ගමන ඈට නොරිස්සුම සහිත විය. කන්දක් තරම් බාධක පසුකර මා කලින් කී මිතුරිය ළඟට ආ පසු ඈ නිහඬය. ඇය මා හා එකදු වචනයකුදු කතා නොකළා ය. ඉතින් මා ද නිහඬය. නමුත් පන්තියේ අනිත් ළමුන් එසේ නොවීමෙන් ඉතා දැඩි ඝෝෂාවකින් නැවතත් පන්තිය ගිගුරුම් දුන්නේය. 

පිරිමි ළමුන් සිටි පැත්තේ කොරිඩෝවට යාබද ව තිබුණේ අඩි තුන හමාරක් පමණ උස් වූ බිත්ති කොටයකි. මෙලෙස පන්ති කාමර සැලසුම් කළ නිර්මාණකරුවා බලාපොරොත්තු වූයේ පිරිමි ළමුන්ගේ අවධානය නිතැතින්ම වෙනතක යොමු කිරීමට දැයි වරෙක මට සිතෙයි. එහි අපට ද ප්‍රයෝජන නැත්තේම නොවෙයි. 

හිටිහැටියේම තම සුපුරුදු අසුනෙන් ඈත්ව තැන තැන සිටගෙන උන් ළමුන් ඩෙස් පුටු පෙරලා තම අසුන කරා එහෙන් මෙහෙන් උඩින් යටින් දිව ගියේ, කිසිවෙකුටත් මෙල්ල කළ නොහැකි රා කළ හතක් පෙවූ නාලාගිරි ඇතා පසුපස හබන්නාක් මෙනි. ඒත් සමඟම ෆෝමියුලා රේස් කාර් එක එක එහි ගමන අවසන් කර ඝෝෂාව අඩුවෙනවා මෙන්, පන්තිය ද මේ සැරසෙන්නේ නැවතත් නිහැඬියාවට ය.

දුර ඈත පිහිටි තම ආදරණිය අසුන සොයා යෑම දුෂ්කර වූ සමහරෙක් ලඟම ඇති අසුනක අසුන් ගත්හ. ඉතින් මෙතෙක් සිටගෙන සිටි මා ද මගේ අසන සොයා යන්නට යුහු සුළු වූයේ, මාස ගානකින් නොදුටු තම පෙම්වතිය සොයා යන පෙම්වතෙක් විලසිනි. අහෝ ඒත් මගේ ගමන ගැඹුරු කිඹුලන් සහිත ගඟක් තරණය කරනවා ක් මෙන් දුෂ්කර විය. ගුරු මේසය තිබුණේ ගැහැණු ළමුන් සිටි පැත්තෙම නිසා, ගැහැණු ළමුන්ගේ පේළි අතර ඉඩ ඇහිරී තිබුණි.

අනේ අනිත් ළමුන් දෙදෙනා ඔවුන්ගේ පුටු ඉදිරියට ඇද බඩ තද කරගෙන මට යෑමට ඉඩ සලසා මා එනතුරු බලා සිටියත්, අපේ පේළියේ මුළින්ම සිටි ළමයා මට මගේ ගමනට වල කැපුවා ය. මට තිබුණේ ඇය පසු කර යෑම පමණකි. ඇයව පෙරලාගෙන හෝ යෑමට උත්සාහ කලත්, ඇය ඉතා දැඩි සේ නොසෙල් වී සිටියේ "මේ මොන කරදරයක්ද" කියා සිතමින් විය යුතුය. අනිත් ළමුන් දෙදෙනා පුටුවකින් එහාට ගොස් මට සහයෝගය දැක්වූ වත්, මේ ළමයාට කොතරම් ඇවිටිලි කළත් ඒ සියල්ල නිශ්ඵල විය. සියල්ල සිදුවූයේ තත්පර කිහිපයක් ඇතුලත ය. නාලාගිරි ඇතා ටත් වඩා කෝපාවිෂ්ට වූ ගුරුවරයා අප පන්තියට පැමිණියහ. ළමුන් සියල්ල කොහේ හෝ තැනක අසුන්ගෙන මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්ද වී සිටී. පන්තියේ විශාල පිටුපස බිත්තිය ආසන්නයෙන් මා පමණක් අසරණව සිටගෙන සිටියේ කුඹුරු යායක් මැද හිටවූ පඹයෙක් මෙන් අකමැත්තෙනි. ඉතිං මේ පැමිණි ගුරුතුමා නැවතුනේ මගේ ලඟය.

"මෙත්මා මම දන්නවා ඔයා එහෙම කෙනෙක් නෙවෙයි කියලා, ඒත් මට වෙන කරන්න දෙයක් නෑ."

ඒ වචනත් සමඟම ඔහුගේ අත ඉස්සිනි. මගේ වම් කම්මුල රත් වූ යකඩයක් මෙන් රතු වී රත් වී ඇත. ඉන්පසු ඔහු කුමක් හෝ පැවසුවා දැයි මට මතක නැත. ගුරුවරයා පන්තියෙන් පලා ගිය පසු, අර ළමයා මගේ අසුනට යෑමට ඉඩ සැලසූවාය. මා මහත් අපහසුතාවයෙන් ඒ අසල මට ඉඳ ගැනීමට ඉඩ සැලැස්සූ අසුනේ ඉඳ ගත්තා නොව එයට වැටුණා කිව්වොත් නිවැරදි ය. මා ලඟ උන් අනිත් මිතුරියන් මා ගැන දුක් වූවෝය. ළමුන් සියල්ල තමුන්ගේ කට තදින් වසා එකදු වචනෙකුදු පිට නොකර සිටීමට වගබලා ගත්තෝය. පංතිය පුරා ඝන නිහැඬියාවක් පැතිර තිබේ. එකදු වචනයක් එළියක දැමීමට කවුරුන් හෝ ධෛර්යමත් නොවූවීය. දැන් ඒ ගුරුවරයා උගන්වන සියල්ල හොඳින් මට ඇසෙයි. නමුත් එහි අරුතක් නොතේරෙයි. ටික වෙලාවකින් සීනුව නාද කරපු නියාවෙන් ඔහු පන්තියෙන් බැහැර ගියහ. 

අප පන්තියේ සියලුම දෙනා ට, මං කිව්වේ 10වසර නෙවෙයි, ඊට කලින් පන්තියේ ළමයිට, මේ ගුරුවරයා ගැන ලොකු ආදරයක් සිත්වල තිබුණු බව මම දනිමි. "කෙල්ලනේ", "කොල්ලනේ" වැනි සියුම් බසින් ආදරයෙන් ඇමැතීමට ඔහු වගබලා ගත් බව මට තාම මතකය. ඔහුට මගේ සිතේ තිබූ ආදරයට මේ සිදුවීම කැලලක් විය. නැවත ඔහු හා කතා කිරීමට ද මා සිත් නොවීය. බොහෝ විට මම ඔහු මග හරින්නට උත්සාහ කළෙමි. නැවත ඒ ගුරුතුමාගෙන් ඉගෙනීමට මට අවස්ථාවක් උදා නොවිනි. කෙසේ හෝ කාලයක් යනතුරු මේ අඳුරු සිදුවීම මගේ සිතේ තිබුණි. කාලයක් යන විට ඒ සියල්ල අමතක වී මගේ සිත යතා තත්ත්වයට පත්විය. මේ අවාසනාවන්ත පහරදීම පිළිබඳව ගුරුවරයා පසුතැවුණු බවක් මට මතකය. ඔහු ඒ ගැන මගෙන් සමාව ගත්තා කියලත් විටෙක සිතෙයි.

මේ අනවශ්‍යය පහරකෑමට මා ලක් වූයේ කාගේ වරදින්ද දැයි මට අදටත් නොවිසඳුණු ප්‍රේහෙළිකාවකි. එය, අප නිශ්ශබ්ද කිරීමේ අසාර්ථක ව්‍යාර්ථයක යෙදී අවසන, තම තරහ පාලනය කරගත නොහැකි වූ ගුරුතුමාගේද? කාගේත් බසට නතු නොවන වයසක උන්, ෆෝමියුලා තරග පිටියක මෙන් ඝෝෂාවක් කළ ළමුන්ගේ ද? මා අසුන වෙත යෑමට ඉඩ නොදී දැඩි සේ උන් ළමයාගේ ද? කිසි ශබ්දයක් නොකල නමුත් මාගේ අසුනේම රැඳී සිටීමට අපොහොසත් වූ මාගේ ද? එසේත් නැත්නම් අපිට ගුරුවරයෙකු එවීමට අපොහොසත් වූ කාර්යාලයේ ද?

මේ සිදුවීමෙන් බොහෝ කලක් ගත වී ඇත. ඒ පිළිබඳ මතකයේ අන්  කවරෙකුගේ සිත් සන්තානයේ තිබේද? මේ ගුරුතුමාට කරන්නට තිබූ හොඳම දේ, අපේ පන්තියේ ළමයින්ට පුටුත් අරං එහා පන්තියට එන්න කියා පන්ති දෙකටම ඒ පාඩම කියා දීමය.

කෙසේ හෝ වේවා,

 "දරුවෙකුට පහරක් ගැසීමට පෙර දහ වතාවක් සිතිය යුතුය. දහ වතාවක් බැරිනං තුන් වතාවක් සිතිය යුතුය."

ඒ සිතිය යුත්තේ මෙසේය 

1. මං ඒ ගහන එකෙන් මේ දරුවාට වෙන සෙත මොකක්ද?

2. ඉන් මට වෙන සෙත මොකක්ද?

3. ඒ අවස්ථාවේ වටපිටාවේ ඉන්න අයට වෙන සෙත මොකක්ද?

4. මෙයින් මේ දරුවාට දිගු කාලීනව සිදුවන යහපත හෝ අයහපත හෝ කුමක්ද?

5. මෙයින් මට සිදුවෙන දිගුකාලීන යහපත හෝ අයහපත හෝ කුමක්ද?

6. මෙයින් දරුවාගේ ආත්ම ගරුත්වය යම් හානියක් වෙයි ද?

7. මෙයින් මගේ ආත්ම ගරුත්වයට මොන හානියක් වෙයි ද?

8. මට තියන එකම හා හොඳම විසඳුම ද මේ?

9. මේවාගේ දරුණු දඬුවමක් දීමට තරම් දරුණු වරදක් මේ දරුවා කළා ද?

10. මෙවන් පහත් වැඩක් කිරීම මා වැන්නෙකුට සුදුසුද? 







 

Sunday, January 10, 2021

කට්ටක්

ඒක හොඳ කට්ටක්
    බල්ලට ගෙනා ලොකු මස් කට්ටක්
    උගුරෙ ඇනිච්ච තෝර මාළු කට්ටක්
    ආච්චිගෙ උජාරු හැට්ට කට්ටක්
    චූටි නංගිගෙ මල් මල් කොණ්ඩ කට්ටක්
    මහද්දි අතේ ඇනිච්ච ඉඳි කට්ටක්
    හදිස්සියේ දෙකට කැඩුණු මැෂින් ඉඳි කට්ටක්
    ගහේ නගිද්දි හීරුනු තියුණු දොඩම් කට්ටක්
    වත්තෙ පහළ බල්ලො කාපු කොස් කට්ටක්
    වත්තෙ ඉදං එද්දි රෙද්දෙ පැටලුණු ලෑට්ට කට්ටක්
    වෙලවකට මදි නොකියන්න කන්න වෙන කට්ටක්
    අක්කගෙ මල් පාත්තියෙදි ඇනුනු රෝස කට්ටක්
    සීයගෙ වල කපදිදි මතුවෙච්ච ඇට කට්ටක්
නෑ නෑ ඒ මොකුත් නෙවෙයි, ඒක උතුම් කට්ටක්
කෙස් ගහක් තරම් හීනි කටුචිකිත්සා කට්ටක්

Friday, January 8, 2021

ඒ දවස

හරියටම වසර විසි දෙකකට පෙර
අද වගේ දවසක
වැතිර සිටියා ඔබ ඇඳ මත
කිසි පණක් නොමැතිව
අනේ දැනුණා මට වේදනාව හරියට
මල්ලියේ මගේ අහිංසක...
අසරණව කිසිත් කරගත නොහැකිව
බලා උන්නා මම දිහා සගවන් කඳුළු කැට...
ඔබ හැර යන්න ඕනි උනේම නෑ මට
ඒත්, මම යන්නම් අත වැනුවා නිකමට
නොසෙල්වීම සිටියා ඔබ ඇඳ මත
මහා වේදනාවක් දැනුණා පැටියෝ මට
මා දිහා බලා උන්නා සුදුමැලිව
පෑවේ නෑ හිනාවක් නිකමට
කළේ නෑ කථාවක් වචනෙක
අනේ නෑ සෙල වුනේ දශමෙක
පුංචි මල්ලියා අපේ අසරණ...
හදිස්සියේම නොසිතූ විලසට
ගත්තා ඔබ අත නලළට
කළා මට ආචාර හැමදාම අපි කල විදියට...
හිනා මල් ගොන්නක් පිපුනා මගේ හිත තුල
සැනසුනා මම සිතමින් නෑ දැන් හොඳයි ඔබට
නික්මුනි මා දරා ඒ සැනසුම...
මිතුර මිතුරියන් සමඟ කළ සෙල්ලම
පුංචි කවියක් ලීවා මේසය කොනක
ඒ සියල්ල මතකයි අදත් මට ලාවට...
නැවත මා ගෙදර එන අතරතුර
අපේ ගෙදර ඉදං එන
ගුණේ මාමා හමුවුනා මට
හැරවුවා ඔහු බයික් එක මා දුටු විගස
'යං දුව, දාන්නම් මං ගෙදරට'
එයයි මගෙ පළමු බයිස්කල් පැදුම
සතුටින් කැළඹුණා සිත මොහොතකට
ඒත්, නොවලහා දැනුණා මට
මොකක් හරි අවුලක් ඇති වග
උඩහ ගෙදර අයියා ජයවර්ධන
දෙන්නට අපේ දළු ලොරියට
ගෙන ගියේ මන්ද කවරදාකවත් නැති විලසට?
තේරුණා මට යන්නටත් කළින් වත්තේ මායිමට
ඔබ කළේ ගෞරවනීය අවසන් ආචාරය වග...

මෙත්මා
2021 ජනවාරි 8