Thursday, January 28, 2021

වරද කාගේද?

ඒක මහ අඳුරු දවසක්. පිටු පසින් සුදු හුණු ගෑ බිත්තියක්, දකුණු පසින් වහලයේ උසටම සරි මනාසේ නොබැඳි වේල්ලක්, කොරිඩෝවට එහායින් පළාතම වසා ගත් විශාල කොස් ගහක් උරුම කරගත් දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලය අන්තිමටම පිහිටි අපේ පන්ති කාමරේ කළුවර නැත්තේ මොන දවසටද? පියන් රහිත තරමක් විශාල ජනෙල් කවුළු, කම්බි දැලකින් ආවරණය කර තිබුනේ එය අලංකාර පිණිස ද දරුවන්ගේ ආරක්ෂාව පිණිස ද කවුරුත් නොදත්හ. පාසලේ සියළුම පංති කාමර ආලෝකමත් කිරීමට මේ ස්භාවික ක්‍රමය පිටුවල් වුවත්, මේ එකම ආලෝක ප්‍රභවය අපේ පංතිය හමුවේ පසුබෑවේ හපුත්ලේ කන්ද නඟින ගැලක බැඳි ගොනෙක් සේය. විශේෂයෙන්ම අඳුරු වැසි සහිත දින වල දී අප පොත් වල ලියූ අකුරු උඩ ඉන්න දෙවියන්ට වත් කියවීමට හැකි වූවාදැයි සැක සහිතය. ජන්ලෙයට ආසන්නම අසුනේ උන් මට ඉතා කලාතුරකින් දිනක, කුඩා කඩල ඇට තරමේ හදිසි අයිස් වැසි වැටීමේ සුන්දර දසුනේ පැහැදිලි දර්ශනයක් දැක ගැනීමේ භාග්‍ය හිමි විය. අනේ ඒත් සුළං වැසි වසින සීත දවසට මගේ දකුණු පසින් පිණිබිදු මා සොයා ආවේ හිරි ගඩු පූප්පමින් දෙන්නං ජම්බු කියාගෙනය. 

පිරිමි ළමුන් සිටියේ කොරිඩෝව පිහිටි පැත්තේය. එනම්,  ගැහැණු ළමුන් සිටියේ වේල්ල පැත්තෙම ය. ගැහැණු ළමුන්ගේත්, පිරිමි ළමුන්ගේත් පේළි හතර බැගින් පන්තිය සැදුම් ලත්හ. මේ එක් පෙළක ළමුන් හතරක් හෝ පහක් හෝ සිටිති, නමුත් ඒ කොයි පෙළකත් ඩෙස් තිබුණේ හතරකි. උස ගැන නොසිතා, අවසාන පේළියේ සිටීමට මා නිතැතින්ම කැමති වුයේ පුටුව පිටුපසට ඇල කර නිදහස් ඉරියව්වෙන් සිටීමට හැකි මහඟු අවස්ථාව නිසාමය. කෙසේ හෝ වේවා ජනේලෙ ළඟ උන් මට එහා පැත්තෙන් තව ළමයි තුන් දෙනෙක් සිටී. මා ළඟ සහ ඊට එහායින් සිටි ළමුන් දෙදෙනා මා දැන සිටියේ දෙක වසරේ සිටය. නමුත් ඒ දිනවල අප අතර දැඩි ඇසුරක් නොතිබිණි.

මනා සේවයක් ලබා ගැනීමේ අරමුණින්, රජයේ සේවකයන්ගේ සේවා ස්ථානය මාරු කිරීම නම් වූ ලාමක වැඩපිළිවෙළින් බැට කෑ ගුරුවරුන්, නමයෙන් දහයට එනවිට ළමුන් මාරු කර පන්තිවලට දැම්මේ කූඨ උපක්‍රමයෙන් අපේ ප්‍රගතිය වැඩිවේ යැයි බොරු බලාපොරොත්තු තබා ගත්තෝය. නමුත් එය හැමෝටම එක ලෙස බලපෑවේ නැත. වහා කතා කළ සැනින් යහළුවන් යෙහෙළියන් බවට පත්වීම මගේ ක්‍රියා කලාපය නොවේ. අනිත් ළමුන්ට සාපේක්ෂව ලඟ යහළුකමක් ඇති කර ගැනීමට මට දිගු කාලයක් ගත වේ. එය විටෙක මාස 6ත් අවුරුද්දත් අතර කාලයක් ගනී. වසර ගණනක් තිස්සේ අපිට ආදරෙන් ඉගැන්වූ ගුරුවරුන්ට, පණ මෙන් උන් අපි තුන්දෙනා පන්ති තුනකට දැමීම සුළු දෙයක් විය. මේ අදුරු පන්ති කාමරයේ ගත කළ 10 වසරේ මුල් භාගයේ දී මගේ සිතට දැනුන තනිකම ගැන ඔවුන් දශමයකුදු දැන නො සිටියහ. 

එහා පන්තියේ උගන්වන දේ විටෙක අපට හොඳන් ඇසෙයි. ඊට එහා පන්තියේ උගන්නන දේත් විටක ලාවට ඇසෙයි. හොඳට කට සද්ද ගුරුවරයෙක් නං ඊටත් එහා පන්තියේ උගන්නන විටත් අපට ඇසෙයි. එහා පන්තියේ ඉංග්‍රීසි ටීච 

"Do you understand?"

"Yyyyyeees"

ප්‍රශ්නය මෙන් ම පිළිතුර ද ඇගේ ම ය. 

කුමක් හෝ කාරණයක් හේතුවෙන් අපේ පන්තියේ ගුරුවරයා/ගුරුවරිය මේ කාලච්ඡේදයේ පන්තියට නො පැමිණ ඇත. පන්තියේ ළමුන් අමන්දානන්දයට ලක් කළ නිදහස් කාල පරිච්ඡේදයක් ලෙස අපි එය හඳුනා ගත්තෙමු. ළමුන් එකිනෙකා හා කතාවට යුහු සුළු වෙයි. අලුත් නවාතැනකට පියඹා යන මී මැසි රංචුවක් මෙන් ගුමු ගුමු ඝෝෂාවක් දසත පැතිරී යයි. ඒත් එහෙමට යාලුවෙක් නොසිටි මම ඔහේ පාඩුවේ ම සිටිමි. ඒ අවස්ථාවේ එහා පන්තියට ඉගැන්වීම සඳහා මා ඉතා හොඳින් දන්නා අඳුරන වසර ගණනක් ආශාවෙන් අධ්‍යාපනය ලැබූ ආදරණිය ගුරුවරයෙක් පැමිණ සිටි. සාමාන්‍යයෙන් එහා පන්තියට හෝ අපේ පන්තියට ඉගැන්වීමට මෙම ගුරුතුමා නොපැමිණෙයි. අපේ පන්තියේ ඝෝෂාව මැද්දෙන් ලාවට ඔහු උගන්නන හඬ මට වරෙක ඇසෙයි. ඒ කටහඬ ඇසීමත් ප්‍රියජනක ය. 

ටිකක් කට සැර වුවත්, ෆෝර්මියුලා තරග පිටියක සේ වූ ඝෝෂාව කපාගෙන හයියෙන් ටික වේලාවක් කතා කර, හෙම්බත් වූ ගුරුතුමා වහා අපේ පන්තියට කඩා වැදුණහ.

"ළමයි උඹලා ඔහොම කෑ ගහනකොට කොහොමද  බං මං එහා පන්තියේ උගන්වන්නෙ? වැඩක් නැත්නම් පොතක් බලාගෙන පොඩ්ඩක් ශබ්ද කරන්නේ නැතුව ඉන්න."

යි රතු නිවේදනයක් නිකුත් කළේය. ළමුන් මීයට පිම්බාක් මෙන් ක්ෂණිකව නිශ්ශබ්ද විය. 

මේ ආදරණීය ගුරුවරයාගේ දහසක් බලාපොරොත්තු කඩකරමින් ඒ නිහඬතාවයේ ආයු කෙටි විය. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ළමුන් එකිනෙකා හා කතාව නැවත ඇරඹූවෝය. ටික මොහොතකින් එය කලින් වූ ඝෝෂාව මෙන් ම දරුණු ඝෝෂාවක් විය. "යකෝ මුන්ට කියන දෙයක් අහන්න බැරි හැටි" යි කෝපාවිෂ්ට වූ ගුරුවරයා පන්තියට පියමනින වේගයෙන්ම නිහැඬියාව ද පන්තියට ආවේය.

 "උඹලට මං ආයෙ කියන් නෑ, පාඩුවේ ඉන්නවද නැත්තං මගෙන් ගුටි කනවා ද? මම හොදින් කියන්න අන්තිම වතාව. එකෙක් හරි අහුවෙයන්කො මට."

පන්තියේ ආයෙත් නිහැඬියාව රජයයි. මා අසල උන් ළමයි සමග වචනයකුදු කතා නොකළ මටනම් දැන් අම්බ කම්මැලි ය. නමුත් හිමින් හිමින් ළමුන් තම අසල වුන් එවුන් හා කතාවේ යෙදෙති. අයෙක් තම ළඟ සිටි සගයාට කියන්නට ඇති සියල්ල කියා අවසන් වූ පසු, තම අසුනින් නැගිට, පන්තියේ වෙනත් තැනක උන් කෙනෙක් සමඟ කතාවට වැටෙයි. පන්තියේ ළමුන් කීපදෙනෙක් සිටගෙන සිටින අතර බොහෝ දෙනා වාඩිවී සිටී. මට වමෙන් උන් ළමයා එයාට වමෙන් උන් ළමයා සමඟ බර කතාවක. මම උන් පෙළට ඉදිරියෙන් මැදි පෙළ අසලම හිටියේ  කලින් සිට හඳූනන මගේ ආදරණීය මිතුරියකි. 

"මම යනවා මෙයා ලඟට, ඒකල්ලා හිමීට රහසින් මොකක් හරි කියලා එනවා. කොහොමත් මේ ගුරුවරයා ආය ආවොත්, පන්තියේ අයිනේ ඉන්න ළමයිට පේනවා නේ, ඉතින් අනිත් අය වගේ මාත් ටක් ගාලා ඇවිත් වාඩි වෙනවා මගෙ පුටුවෙන්" යි 

බලාපොරොත්තු දල්වා මා පුටුවෙන් නැගිට, මා මිතුරිය ළඟට යෑම ඇරඹුවෙමි. අපහසුම කර්තව්‍ය වුයේ, අප පේළියේ මැදි පෙළ ළඟම උන් මා එතරම් නොදන්නා ළමයා පසු කර යෑමයි. මාගේ මේ ගමන ඈට නොරිස්සුම සහිත විය. කන්දක් තරම් බාධක පසුකර මා කලින් කී මිතුරිය ළඟට ආ පසු ඈ නිහඬය. ඇය මා හා එකදු වචනයකුදු කතා නොකළා ය. ඉතින් මා ද නිහඬය. නමුත් පන්තියේ අනිත් ළමුන් එසේ නොවීමෙන් ඉතා දැඩි ඝෝෂාවකින් නැවතත් පන්තිය ගිගුරුම් දුන්නේය. 

පිරිමි ළමුන් සිටි පැත්තේ කොරිඩෝවට යාබද ව තිබුණේ අඩි තුන හමාරක් පමණ උස් වූ බිත්ති කොටයකි. මෙලෙස පන්ති කාමර සැලසුම් කළ නිර්මාණකරුවා බලාපොරොත්තු වූයේ පිරිමි ළමුන්ගේ අවධානය නිතැතින්ම වෙනතක යොමු කිරීමට දැයි වරෙක මට සිතෙයි. එහි අපට ද ප්‍රයෝජන නැත්තේම නොවෙයි. 

හිටිහැටියේම තම සුපුරුදු අසුනෙන් ඈත්ව තැන තැන සිටගෙන උන් ළමුන් ඩෙස් පුටු පෙරලා තම අසුන කරා එහෙන් මෙහෙන් උඩින් යටින් දිව ගියේ, කිසිවෙකුටත් මෙල්ල කළ නොහැකි රා කළ හතක් පෙවූ නාලාගිරි ඇතා පසුපස හබන්නාක් මෙනි. ඒත් සමඟම ෆෝමියුලා රේස් කාර් එක එක එහි ගමන අවසන් කර ඝෝෂාව අඩුවෙනවා මෙන්, පන්තිය ද මේ සැරසෙන්නේ නැවතත් නිහැඬියාවට ය.

දුර ඈත පිහිටි තම ආදරණිය අසුන සොයා යෑම දුෂ්කර වූ සමහරෙක් ලඟම ඇති අසුනක අසුන් ගත්හ. ඉතින් මෙතෙක් සිටගෙන සිටි මා ද මගේ අසන සොයා යන්නට යුහු සුළු වූයේ, මාස ගානකින් නොදුටු තම පෙම්වතිය සොයා යන පෙම්වතෙක් විලසිනි. අහෝ ඒත් මගේ ගමන ගැඹුරු කිඹුලන් සහිත ගඟක් තරණය කරනවා ක් මෙන් දුෂ්කර විය. ගුරු මේසය තිබුණේ ගැහැණු ළමුන් සිටි පැත්තෙම නිසා, ගැහැණු ළමුන්ගේ පේළි අතර ඉඩ ඇහිරී තිබුණි.

අනේ අනිත් ළමුන් දෙදෙනා ඔවුන්ගේ පුටු ඉදිරියට ඇද බඩ තද කරගෙන මට යෑමට ඉඩ සලසා මා එනතුරු බලා සිටියත්, අපේ පේළියේ මුළින්ම සිටි ළමයා මට මගේ ගමනට වල කැපුවා ය. මට තිබුණේ ඇය පසු කර යෑම පමණකි. ඇයව පෙරලාගෙන හෝ යෑමට උත්සාහ කලත්, ඇය ඉතා දැඩි සේ නොසෙල් වී සිටියේ "මේ මොන කරදරයක්ද" කියා සිතමින් විය යුතුය. අනිත් ළමුන් දෙදෙනා පුටුවකින් එහාට ගොස් මට සහයෝගය දැක්වූ වත්, මේ ළමයාට කොතරම් ඇවිටිලි කළත් ඒ සියල්ල නිශ්ඵල විය. සියල්ල සිදුවූයේ තත්පර කිහිපයක් ඇතුලත ය. නාලාගිරි ඇතා ටත් වඩා කෝපාවිෂ්ට වූ ගුරුවරයා අප පන්තියට පැමිණියහ. ළමුන් සියල්ල කොහේ හෝ තැනක අසුන්ගෙන මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්ද වී සිටී. පන්තියේ විශාල පිටුපස බිත්තිය ආසන්නයෙන් මා පමණක් අසරණව සිටගෙන සිටියේ කුඹුරු යායක් මැද හිටවූ පඹයෙක් මෙන් අකමැත්තෙනි. ඉතිං මේ පැමිණි ගුරුතුමා නැවතුනේ මගේ ලඟය.

"මෙත්මා මම දන්නවා ඔයා එහෙම කෙනෙක් නෙවෙයි කියලා, ඒත් මට වෙන කරන්න දෙයක් නෑ."

ඒ වචනත් සමඟම ඔහුගේ අත ඉස්සිනි. මගේ වම් කම්මුල රත් වූ යකඩයක් මෙන් රතු වී රත් වී ඇත. ඉන්පසු ඔහු කුමක් හෝ පැවසුවා දැයි මට මතක නැත. ගුරුවරයා පන්තියෙන් පලා ගිය පසු, අර ළමයා මගේ අසුනට යෑමට ඉඩ සැලසූවාය. මා මහත් අපහසුතාවයෙන් ඒ අසල මට ඉඳ ගැනීමට ඉඩ සැලැස්සූ අසුනේ ඉඳ ගත්තා නොව එයට වැටුණා කිව්වොත් නිවැරදි ය. මා ලඟ උන් අනිත් මිතුරියන් මා ගැන දුක් වූවෝය. ළමුන් සියල්ල තමුන්ගේ කට තදින් වසා එකදු වචනෙකුදු පිට නොකර සිටීමට වගබලා ගත්තෝය. පංතිය පුරා ඝන නිහැඬියාවක් පැතිර තිබේ. එකදු වචනයක් එළියක දැමීමට කවුරුන් හෝ ධෛර්යමත් නොවූවීය. දැන් ඒ ගුරුවරයා උගන්වන සියල්ල හොඳින් මට ඇසෙයි. නමුත් එහි අරුතක් නොතේරෙයි. ටික වෙලාවකින් සීනුව නාද කරපු නියාවෙන් ඔහු පන්තියෙන් බැහැර ගියහ. 

අප පන්තියේ සියලුම දෙනා ට, මං කිව්වේ 10වසර නෙවෙයි, ඊට කලින් පන්තියේ ළමයිට, මේ ගුරුවරයා ගැන ලොකු ආදරයක් සිත්වල තිබුණු බව මම දනිමි. "කෙල්ලනේ", "කොල්ලනේ" වැනි සියුම් බසින් ආදරයෙන් ඇමැතීමට ඔහු වගබලා ගත් බව මට තාම මතකය. ඔහුට මගේ සිතේ තිබූ ආදරයට මේ සිදුවීම කැලලක් විය. නැවත ඔහු හා කතා කිරීමට ද මා සිත් නොවීය. බොහෝ විට මම ඔහු මග හරින්නට උත්සාහ කළෙමි. නැවත ඒ ගුරුතුමාගෙන් ඉගෙනීමට මට අවස්ථාවක් උදා නොවිනි. කෙසේ හෝ කාලයක් යනතුරු මේ අඳුරු සිදුවීම මගේ සිතේ තිබුණි. කාලයක් යන විට ඒ සියල්ල අමතක වී මගේ සිත යතා තත්ත්වයට පත්විය. මේ අවාසනාවන්ත පහරදීම පිළිබඳව ගුරුවරයා පසුතැවුණු බවක් මට මතකය. ඔහු ඒ ගැන මගෙන් සමාව ගත්තා කියලත් විටෙක සිතෙයි.

මේ අනවශ්‍යය පහරකෑමට මා ලක් වූයේ කාගේ වරදින්ද දැයි මට අදටත් නොවිසඳුණු ප්‍රේහෙළිකාවකි. එය, අප නිශ්ශබ්ද කිරීමේ අසාර්ථක ව්‍යාර්ථයක යෙදී අවසන, තම තරහ පාලනය කරගත නොහැකි වූ ගුරුතුමාගේද? කාගේත් බසට නතු නොවන වයසක උන්, ෆෝමියුලා තරග පිටියක මෙන් ඝෝෂාවක් කළ ළමුන්ගේ ද? මා අසුන වෙත යෑමට ඉඩ නොදී දැඩි සේ උන් ළමයාගේ ද? කිසි ශබ්දයක් නොකල නමුත් මාගේ අසුනේම රැඳී සිටීමට අපොහොසත් වූ මාගේ ද? එසේත් නැත්නම් අපිට ගුරුවරයෙකු එවීමට අපොහොසත් වූ කාර්යාලයේ ද?

මේ සිදුවීමෙන් බොහෝ කලක් ගත වී ඇත. ඒ පිළිබඳ මතකයේ අන්  කවරෙකුගේ සිත් සන්තානයේ තිබේද? මේ ගුරුතුමාට කරන්නට තිබූ හොඳම දේ, අපේ පන්තියේ ළමයින්ට පුටුත් අරං එහා පන්තියට එන්න කියා පන්ති දෙකටම ඒ පාඩම කියා දීමය.

කෙසේ හෝ වේවා,

 "දරුවෙකුට පහරක් ගැසීමට පෙර දහ වතාවක් සිතිය යුතුය. දහ වතාවක් බැරිනං තුන් වතාවක් සිතිය යුතුය."

ඒ සිතිය යුත්තේ මෙසේය 

1. මං ඒ ගහන එකෙන් මේ දරුවාට වෙන සෙත මොකක්ද?

2. ඉන් මට වෙන සෙත මොකක්ද?

3. ඒ අවස්ථාවේ වටපිටාවේ ඉන්න අයට වෙන සෙත මොකක්ද?

4. මෙයින් මේ දරුවාට දිගු කාලීනව සිදුවන යහපත හෝ අයහපත හෝ කුමක්ද?

5. මෙයින් මට සිදුවෙන දිගුකාලීන යහපත හෝ අයහපත හෝ කුමක්ද?

6. මෙයින් දරුවාගේ ආත්ම ගරුත්වය යම් හානියක් වෙයි ද?

7. මෙයින් මගේ ආත්ම ගරුත්වයට මොන හානියක් වෙයි ද?

8. මට තියන එකම හා හොඳම විසඳුම ද මේ?

9. මේවාගේ දරුණු දඬුවමක් දීමට තරම් දරුණු වරදක් මේ දරුවා කළා ද?

10. මෙවන් පහත් වැඩක් කිරීම මා වැන්නෙකුට සුදුසුද? 







 

Sunday, January 10, 2021

කට්ටක්

ඒක හොඳ කට්ටක්
    බල්ලට ගෙනා ලොකු මස් කට්ටක්
    උගුරෙ ඇනිච්ච තෝර මාළු කට්ටක්
    ආච්චිගෙ උජාරු හැට්ට කට්ටක්
    චූටි නංගිගෙ මල් මල් කොණ්ඩ කට්ටක්
    මහද්දි අතේ ඇනිච්ච ඉඳි කට්ටක්
    හදිස්සියේ දෙකට කැඩුණු මැෂින් ඉඳි කට්ටක්
    ගහේ නගිද්දි හීරුනු තියුණු දොඩම් කට්ටක්
    වත්තෙ පහළ බල්ලො කාපු කොස් කට්ටක්
    වත්තෙ ඉදං එද්දි රෙද්දෙ පැටලුණු ලෑට්ට කට්ටක්
    වෙලවකට මදි නොකියන්න කන්න වෙන කට්ටක්
    අක්කගෙ මල් පාත්තියෙදි ඇනුනු රෝස කට්ටක්
    සීයගෙ වල කපදිදි මතුවෙච්ච ඇට කට්ටක්
නෑ නෑ ඒ මොකුත් නෙවෙයි, ඒක උතුම් කට්ටක්
කෙස් ගහක් තරම් හීනි කටුචිකිත්සා කට්ටක්

Friday, January 8, 2021

ඒ දවස

හරියටම වසර විසි දෙකකට පෙර
අද වගේ දවසක
වැතිර සිටියා ඔබ ඇඳ මත
කිසි පණක් නොමැතිව
අනේ දැනුණා මට වේදනාව හරියට
මල්ලියේ මගේ අහිංසක...
අසරණව කිසිත් කරගත නොහැකිව
බලා උන්නා මව දිහා සගවන් කඳුළු කැට...
ඔබ හැර යන්න ඕනි උනේම නෑ මට
ඒත්, මම යන්නම් අත වැනුවා නිකමට
නොසෙල්වීම සිටියා ඔබ ඇඳ මත
මහා වේදනාවක් දැනුණා පැටියෝ මට
මා දිහා බලා උන්නා සුදුමැලිව
පෑවේ නෑ හිනාවක් නිකමට
කළේ නෑ කථාවක් වචනෙක
අනේ නෑ සෙල වුනේ දශමෙක
පුංචි මල්ලියා අපේ අසරණ...
හදිස්සියේම නොසිතූ විලසට
ගත්තා ඔබ අත නලළට
කළා මට ආචාර හැමදාම අපි කල විදියට...
හිනා මල් ගොන්නක් පිපුනා මගේ හිත තුල
සැනසුනා මම සිතමින් නෑ දැන් හොඳයි ඔබට
නික්මුනි මා දරා ඒ සැනසුම...
මිතුර මිතුරියන් සමඟ කළ සෙල්ලම
පුංචි කවියක් ලීවා මේසය කොනක
ඒ සියල්ල මතකයි අදත් මට ලාවට...
නැවත මා ගෙදර එන අතරතුර
අපේ ගෙදර ඉදං එන
ගුණේ මාමා හමුවුනා මට
හැරවුවා ඔහු බයික් එක මා දුටු විගස
'යං දුව, දාන්නම් මං ගෙදරට'
එයයි මගෙ පළමු බයිස්කල් පැදුම
සතුටින් කැළඹුණා සිත මොහොතකට
ඒත්, නොවලහා දැනුණා මට
මොකක් හරි අවුලක් ඇති වග
උඩහ ගෙදර අයියා ජයවර්ධන
දෙන්නට අපේ දළු ලොරියට
ගෙන ගියේ මන්ද කවරදාකවත් නැති විලසට?
තේරුණා මට යන්නටත් කළින් වත්තේ මායිමට
ඔබ කළේ ගෞරවනීය අවසන් ආචාරය වග...

මෙත්මා
2021 ජනවාරි 8

Sunday, January 3, 2021

උපාධියක් ගන්න ආ කත 3


ඒ වන විට වයස අවුරුදු තිස් හයක් පමණ වූ, දරු මුණුබුරෝ ගණනාවකින් වත් පොහොසත් වූ, විද්‍යා උපාධියක් ගන්න ආ කත සම්බන්ඳයෙන් ලියන ලිපි පෙළේ අවසන් කොටස. 

මම කලින් කීවා වගේ, මගේ කලනය පන්තියේ අවසන් කාලයේ දවසක ළමයි ගේ උනන්දුව මදි, මං දෙන ගණන් හදලා නෑ යනා දී වශයෙන් මම පන්තියට පොඩි (අනවශ්‍ය ) දේශනයක් කලා. ඊට පස්සේ පන්තියෙ එහෙන්මම ඉවර වුණා. ළමයි නැගිටලා ගියා, නමුත් අර කාන්තාව නැවතුනා. එයාගෙ මුහුණත් එක්ක රතු වෙලා ඇස් දෙක කඳුළු වලින් පිරිලා.

"ඇයි මෙත්මා ඔයත් මෙහෙම මට බනින්නේ. කාගෙන්වත් සැනසුමක් නෑ මට. දැන් මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ." 

නිතරම විඩා බරිතව පන්තියට සහභාගි වූ මේ කාන්තාවන්ගේ අභ්‍යන්තරයේ ඇති වූ පීඩනය දරා ගන්නම බැරි තැන එකපාරම කඳුළුත් එක්ක ඒ සියල්ල එලියට පැන්නා. 

"මේ පාඩම් කරගන්න මට වෙලාවක් නෑ. ගෙදර ගිහිල්ලා මම රෑට කෑම මේසේ හදන්න ඕන. මට ඉන්නවා නව යොවුන් වියේ ළමයි. එයාල බලන්න ඕනේ. දන්නවනේ ඒ වයසේ ළමයින්ගේ ස්වභාවය. එයාලව බලා ගන්න එක හරි ම අමාරුයි. මම වෘත්තියෙන් පාසල් බස් රියදුරියක්. මගේ බස් එකේ යන්න ළමයි කතා කරන්නේ අමු තිත්ත කුණුහරුපයෙන්. වැඩිහිටියෙක් නේද මේ ඉන්නේ කියලා එයාලට කිසි ගානක් නැහැ, කිසිම ගරු සරුවක් නැහැ. රියදුරු රස්සාව කරන්න හිතේ හොඳ මානසික ඒකාග්‍රතාවක් තියෙන්න ඕන. මට මේ ළමයිගෙ කුණු කතා ඇහෙද්දි ඒක කරන්න බෑ මෙත්මා. ඒක හරිම අවදානම් රස්සාවක්. මම ඒ ළමයි ගේ ජීවිත වලට වගකියන්න ඕන. කොයි වෙලේ වාහනේක හැප්පෙයි ද කියලා මගේ හිත හරි බය යි. මං මේ වැටිලා ඉන්නේ මහාම මහා අමාරුවක."

මට උහුලගන්න බැරි වේදනාවක් දැනුණා. එයා අඬනකොට මටත් ඇඬෙන්න එනවා. ඒත් ගුරුවරියක් හැටියට, මැය මට වඩා අවුරුදු ගානකට වැඩිමල් උනත්, මම එයාගේ හිත කොහොම හරි හදන්න ඕන.

"අනේ ඩියර්, එහෙම කියන්න එපා. මං කියන්නේ දැන් ගණන් හදන්නේ නැතුව ඉස්හසරහට යන්න අමාරුයි නේ, ඒකයි."

"කොහොමද ගනන් හදන්නෙ, තේරෙන්නේ නැත්නම් මෙලෝ දෙයක්? මම හිතුවට වඩා ඒක ගොඩක් අමාරුයි මෙත්මා."

"අනේ ඔයාගේ ත්‍රිකෝණමිතිය දැනුම දුර්වල නිසා, ඔයාට මං කියන දේ තේරෙන්නෙ නැහැ කියල මම දන්නවා. ඒත් මට මොකද්ද කරන්න පුළුවන්." එයාගේ අවධානය වෙනතකට යොමු ඕනි කියලා හිතාගෙන මම ඇහුවා. "කොහොමද එතකොට ඔයා ගන්න අනිත් විෂයයන්?"

"බයෝ ක්ලාස්සුත් හොඳටම අමාරුයි. මෙලෝ දෙයක් තේරෙන් නෑ. මං දැං මොකද කරන්නේ මෙත්මා?"

මේ වන විට ඇය සිටියේ දෙවැනි වසරේ. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයක පළවෙනි වසර එච්චර අමාරු නැහැ, මොකද ඒ විෂයයන් සරල නිසා. නමුත් දෙවෙනි වසර තමයි ඉතාම අමාරු. දෙවැනි වසරේදී තමයි ක්ෂේත්‍රයට අදාළ විෂයයන් හඳුන්වලා දෙන්නේ. ඉතිං මේ කවදාවත් කලින් ඉගන ගත්තේ නැති විෂයන් ඉගෙන ගන්න ලොකු වෙහෙසක් මහන්සියක් කෙනෙක් දරන්න ඕන. තුන්වෙනි වසර වෙනකොට ඒ අපහසුකම ටිකක් අඩු වෙනවා. 

"දැන් මේ ඔයාගේ දෙවෙනි වසර නේද? ඒක තමයි විශ්වවිද්‍යාල ජීවිතේ අමාරුම හරිය. කොහොමහරි ඔයා එක විඳ දරාගෙන ඉන්න. ඊට පස්සෙ කාලයත් එක්ක හැමදේම හරි යනවා. ඔයා ඒ ගැන වැඩිය හිතන්න එපා."

"හිතන්නේ නැතුව ඉන්නෙ කොහොමද මෙත්මා? මම බැංකුවෙන් ගත්ත ණය! කොහොමද අපි ඒක ගෙවන්නේ. මම දන්නවා මම දුර්වලයි පන්තියේදී. මට මේ උපාධිය කරගන්න බැරි වෙයි කියලා හරි බයයි මෙත්මා. බැංකුවෙන් ගත්ත ණය ගෙවන්න අපිට වත් කමක් නෑ, අපි ජීවත් වෙන්නෙත් හරිම අමාරුවෙන්. උපාධිය කරලා හොඳ රස්සාවක් ලබාගෙන ණය ගෙවන එක තමයි තියන එකම ඔක්ෂන් එක. ඒත් දැන් ඒක කරගන්න බැරි වෙන හැඩක් තමයි තියෙන්නේ. මං ගොඩ එන්න බැරි මහා ලොකු අමාරුවක වැටුණේ." ඇගේ දුක්ගැනවිල්ලේ අවසානයක් නැහැ.

"ඔයා පසුතැවෙනව ද ඉගන ගන්න ආපහු ආපු එක ගැන?"

" අනේ ඔව් මෙත්මා ඉස්සර මං කොච්චර සතුටින් සැහැල්ලුවෙන් හිටිය ද? මට ඒක දැන් හීනයක් වගේ. මං මේ මහා ලොකු අඳුරු අගාධයකට වැටිලා ඉන්නේ ගොඩ එන්න ක්‍රමයක් නැතුව."

"එහෙම කියන්න එපා. ඔයාට කාලයක් යනකොට හැමදේම හරියයි. බලන්න ඔයාගේ හිතේ තියෙන හයිය. අද ඔයා දුක් වුනත් කවද හරි දවසක ඔයා සතුටු වෙයි."

"මං යන්නම් මෙත්මා. මං අපරාදෙ ඔයාගේ කාලෙත් කනවා."

"එහෙම එකක් නෑ. හැමදේම හරියයි ඔයා හොදින් ඉන්න."

එයා එහෙම වෙන් වෙලා ගියත්, අපි කතා කරපුවා ගොඩක් අදටත් මතකයි මට. අවසන් විභාගය ට දුර්වල විදිහට තමයි එයා මුහුණ දීලා තිබුනේ. පන්ති අතරතුරදී දුන්න ගෙදර වැඩ වලට, විභාග වලට සාමාන්‍ය ලකුණු ප්‍රමාණයක් තිබුනත්, සමස්ත ලකුණු 50 ක් වගේ තමයි එයා කලනයට අරගෙන තිබුණේ. එයාට මම දුන්නේ D සාමාර්ථයක්. ඒක එයාට ප්‍රමාණවත් නැහැ. එයා කලනය දෙක කරන්න ඕන නිසා මේ විෂය අසමත් වුණු හැටියට තමයි ගණන් ගැනෙන්නේ. 

එයා අසමත් කළ එක ගැන මම පසුතැවෙන්නේ නැහැ. අවශ්‍ය දැනුම නැති නිසා එයාට ඊළඟ විෂය ඉගෙන ගන්න බැහැ. ඉතින් එයා අසමත් වුන නිසා මේ විෂයට ආයිත් ලියාපදිංචි වෙලා ආය සැරයක් කරන්න ඕන. එතකොට එයා ආපහු වැඩිපුර සල්ලි ගෙවන්න ඕන. ඒ ගැන නම් දුකයි ඉතින්. ඒ විශ්ව විද්‍යාලයේ මේ කලනය තමයි ගොඩක්ම අමාරුයි කියලා ළමයි කියන්නේ. හතරවෙනි හෝ පස්වෙනි වතාවටත් කලනය ඉගෙනගන්න ආපු ළමයි ගැන මං අහල තියෙනවා යාළුවන්ගෙන්. 

කොහොම නමුත් ඊට පස්සේ මට මේ කාන්තාව හම්බ උනේ නැහැ. ඇත්තටම එක දවසක් මං එයාව දැක්කා නමුත් කතා කරන්න විදිහක් වුණේ නැහැ. ඇය මාව දැක්කෙ නැහැ.

2020 වසර ගෙවිලා යන්න තව දවස් දෙක තුනයි ඉතුරු (දැන් නම් 2021 ත් වෙලා ). ඉතින් ඔයාලට මේ කතාව කියන්න මම අදහස් කළාට පස්සෙ, ඇයට මොකද උනේ, ඇය දැන් මොකද කරන්නේ යන වග මට දැනගන්න ඕන වුණා. මං ඇමරිකාවෙන් ඇවිත් දැන් අවුරුදු පහකටත් වැඩි යි. ළමයි දහස් ගානකට නොයෙක් අවස්ථාවලදී මම ඉගැන්නුවා. මට එයාගේ නම හරියටම මේක කියලා මතක තිබුණෙ නැහැ. මම ඉස්සෙල්ලාම ඇයගේ නම හොයා ගත්තා, මගේ පරිගණකයේ ගබඩා කරල තිබුණ තොරතුරු පීරලා බලලා. දැන් මට හරි ආසයි මෙයා මොනාද කරන්නේ කියල දැනගන්න. එයාගේ නම ගුගල් එකේ සර්ච් කරා. ඒ නමින් ෆේස් බුක් පිටු ගොඩක් තිබුණා. ඒත් එයාගෙ එකක් තිබුනෙ නැහැ. එවන් කාර්‍ය බහුල ජීවිතයක් ගත කල ඇය ෆේස් බුක් වගේ සමාජ ජාල වලට විත් කාළය කා දමාවි ද?

 මෙහෙම හොයාගෙන හොයාගෙන යනකොට මට හමුවුණා අපේ ටෙක්සාස් ටෙක් විශ්ව විද්‍යාලයෙන් 2017 වසරේදී ඇය හා ඇගේ දියණිය ක් ගැන ලියපු මනරම් ලියවිල්ලක්. එහි මාතෘකාව වූයේ, 'ශිෂ්‍යත්ව වලට පින් සිදු වන්න, මහන්සි වී වැඩ කල, නොගිල්විය හැකි ආත්මයක් ඇති අම්මාට කියන්න පුළුවන්:

"මම විද්‍යාඥවරියක් වෙන්නයි යන්නේ!" '.

ඒක හරිම විස්තරාත්මක ලිපියක්. ඇයගෙයි දුවගෙයි හරිම ලස්සන පින්තූර ගොඩාක් එකේ තිබුනා. ඒ වගේම ඒ ගොල්ලො වීඩියෝ එකකුත් කරලා තියෙනවා, ඒක යූටියුබ් එකේ තියෙනවා. ඒ දවස්වල එයා ඉඳලා තියෙන්නේ එයාගේ අවසන් වසරේ. 

"දරිද්‍රතාවයෙන් හැදී වැඩුණු ඔබ විශ්ව විද්‍යාලයට යාම ගැන කවදාවත් නොසිතයි, ඔබ සිතන්නේ මම කෑම මේසය මත තබන්නේ කෙසේද? මම ගෙවල් කුලිය ගෙවන්නේ කෙසේද?" යැයි ඇය එහි කියා තිබුනා. 

මේ ලිපියෙන් මට දැන ගන්න ලැබුණු දේවල් ටිකකුත් කෙටියෙන් කියන්නම්.

ඇගේ දුව හය වසරේ සිටින විට ඇයව කැඳවා තිබුනා ටෙක්සාස් ටෙක් විශ්වවිද්‍යාලය තවත් සංවිධාන සමග එකතු වී, සංවිධානය කල "මව්-දියණිය" වැඩ සටහනට. මෙම වැඩසටහන මඟින් හයවන ශ්‍රේණියේ ගැහැනු ළමයින් ඔවුන්ගේ පවුල්වල විශ්ව විද්‍යාල ප්‍රවේශ ලබන පළමු පරම්පරාව වනු ඇත. මව්වරුන් මෙම වැඩසටහනේ අනිවාර්ය අංගයක් වන අතර ඔවුන්ගේ දියණියන් සමඟ වෘත්තීය විකල්ප ගවේෂණය කිරීම, ස්වේච්ඡා සේවය කිරීම සහ TTU කැම්පස් සංචාරය කිරීම සඳහා සහභාගී වේ. 

දුවට විශ්ව විද්‍යාල ජීවිතය ගැන කියා දෙන්න කම්පස් එක සංචාරය කරන්න ආ අම්මා කියනවා

"අපි භූ විද්‍යා අධ්‍යයනාංශයට ගිය විට මම වැඩසටහනට ආදරය කළෙමි. මගේ දුව සමඟ ඛනිජ හඳුනාගැනීමේ ව්‍යායාම කිහිපයක් කිරීමට මට හැකි වූ අතර, මම කුඩා ගැහැණු ළමයෙකු මෙන් සිනාසෙමින් සිටියෙමි."

"ඒ වගේම මම හිතුවා, මට මේක කරන්න පුළුවන් කියලා. මම මේකට කැමතියි."

ඉතින් එතන දි ඇති වෙච්ච ආසාව නියා එයා ට හැකි වෙලා තියෙනවා භූ විද්‍යාවේදී උපාධිය සඳහා ලියා පදිංචි වෙන්න.

ඇය ප්‍රමාණවත් නොවේ යැයි යන්න ද, භාර්යාව/වැඩ කරන මව/පූර්ණ කාලීන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් ලෙස ඇයට මුහුණ දෙන වෙන අභියෝග පිළිබඳව වූ බිය ද, පසක දැමූ ඇය එම අවස්ථාව ප්‍රයෝජනයට ගත්තාය.

ඇයට නොයෙක් ආකාරයේ ශිෂ්‍යත්වය ගොඩාක් ලැබුන හෙයින්, ඇයට අනිත් ළමයිට මෙන් විශාල ණය බරකට අසු නොවී බේරෙන්න හැකි වූ බව ඇය පවසයි. 

ඒකෙ තව ගොඩාක් විස්තර තිබුණා. ඒත් මේ ටික මගේ ලිපියට ඇති කියලා හිතනවා.

 මම තව හොයාගෙන යනකොට මට එයාගේ linkedin profile එක හම්බුනා. එයා දැන් උපාධිය අවසන් කරලා. රැකියාවක් කරනවා එයා ඉගෙන ගත්ත ක්ෂේත්‍රයේ. මගේ සතුට මෙච්චරයි කියලා කියන්න බැහැ.  

එතනින් මට දැන ගන්න හම්බ වුනා, කැම්පස් කාලේ විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර හා බාහිර සංවිධාන අටක ඇය සාමාජිකාවක් වූ බවත්, නොයෙක් නායකත්ව වැඩ සටහන්වල නිරත වූ බවත්.

ඉතින් මම ඇයගේ සංවේදී තොරතුරු බොහොමයක් මේ ලිපි වලින් කිව්ව නිසා, ඈ කවුද යන වග හෙළි කරන්නේ නැහැ. 

මෙවන් ධෛර්යමත් කාන්තාවන් පිරිමින් ලෝකෙටම ආදර්ශයක්!









උපාධියක් ගන්න ආ කත 2

 එක්සත් ජනපදයේ ඉන්න කාලේ ගුරුවරියක් විදියට සේවය කරන කොට මට හමුවූ අපූරු කාන්තාවකගේ කතාවක් මූලික කරගෙන ලියන ලිපියක් මේක. කලින් ලිපියෙන් ඇය ගැන මම පොඩි විස්තරයක් කිව්වා, එයා කොහොමද මට හම්බුනේ යන ආදි වශයෙන්. අද කියන්න ඒකෙ ඉතිරි කොටස.

ඒ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා හැම ළමයකුටම ගණිත විෂයන් ඉගැන්වීම කරේ අපේ දෙපාර්තමේන්තුවෙන්. ඉතින් ගුරුවරු ගණනාවක් එකම විෂය පන්ති ගණනාවක උගන්නනවා. උදාහරණයක් විදියට college algibra පන්ති විස්සක් විතර තියෙනවා දවසේ එකෙක් වෙලාවට, ඉතින් ළමයින්ට ඕන පන්තියකට ලියා පදිංචි වෙන්න පුළුවන්.

මම නිතරම වගේ ඉගැන්නුවේ ත්‍රිකෝණමිතිය විෂය. මට ගොඩක් ආස හිතුනා කලනය පන්තියක් කරන්න. ඉතින් මම ඉල්ලුම් කර පරිදි 2014 අවුරුද්දේ වසන්ත සෘතුවේ මට කලනය උගන්වන්න හම්බ වුණා. ළමයි 45 බැගින් ඉන්න පන්ති දෙකක් මට ලැබුණා. පළවෙනි දවසේ හරි ආසාවෙන් උද්‍යෝගයෙන් පන්තියට යනකොට, මගෙන් ත්‍රිකෝණමිතිය ඉගෙන ගෙන ඊට පස්සේ මූලික-කලනය (precalculus) ඉගෙන ගත්තු මට හුරු පුරුදු මුහුණ ටිකකුත් දැකගන්න ලැබුණා මගේ පන්තියෙන්. විද්‍යා හෝ ඉංජිනේරු විද්‍යා උපාධියක් ගන්න නම් කලනය අනිවාර්යෙන්ම සමත් වෙන්න ඕන. මට ගොඩක් සතුටු හිතුනේ මං අර කලින් කතාවේදී කිව්ව ටිකක් උස මහත ටිකක් අනිත් ළමයි ට වඩා වයසින් වැඩි කාන්තාවත් මගේ එක් පන්තියකට සහභාගි වෙලා ඉන්නවා දැක්කම. 

"හායි හායි කොහොමද ඔයාට මට හරි සතුටුයි ඔයා මගේ පන්තියට ආ එක ගැන."

"හායි මෙත්මා කොහොමද ඉතිං? "

"ඉතිං ඔයා කලින් semester එකේ මොනවද කළේ?"

"මම ත්‍රිකෝණමිතිය ගත්තේ."

"ආහ් ඔයාට තිබුණෙ මූලික කලනය කරන්න."

"මට කිව්වේ ඒ දෙකම එකයි, කොයික කරත් කමක් නැහැ කියලා. හැම එකක් ම මට අළුත් නිසා, මං හිතුවා ත්‍රිකෝණමිතිය කරන්න."

"කොහොම ද ඒ පන්තිය හොඳ යි ද?"

"කියලා වැඩක් නෑ මෙත්මා, මට A එකක් තියෙනවා, ඒත් ත්‍රිකෝණමිතිය අකුරක් වත් දන්නෙ නෑ. මම හිටියේ xx xxx ගේ පන්තියේ."

"අයියෝ!"

ඇයට ත්‍රිකෝණමිතිය ඉගැන්නුවා යැයි කියූ චීන ජාතික කාන්තාව මගේ යාළුවෙක්. එයා අපිත් එක්ක ගොඩක් කල් එකට හිටියා එහේ. මට ආරංචි  උනා මේ චීන කාන්තාව ඉගැන්නූ පන්තියේ ළමයින් ඇයගේ නුගුණ කියමින් බොහෝ සෙයින් නරක ඇගයීමකට ඇය ලක් කර සිටි බවක්. එනිසා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඇයව කැඳවා ප්‍රශ්න කළ බව මම දැනගෙන හිටියා. ඇය මීට කලිනුත් පන්ති උගන්ගවා තිබුණා,  එහෙත් මෙවන් දෙයක් කලින් සිදු වී තිබුනේ නෑ. 

ත්‍රිකෝණමිතිය කියන්නේ හැමෝටම උගන්නන්න පුළුවන් විදියෙ විෂයක් නෙවෙයි. එය මනාව ඉගෙන ගත්ත, මනාව පුරුදු පුහුණු කළ, අයෙකුට විතරයි එය හරියාකාරව ඉගැන්විය හැක්කේ. මා දන්නා මහාචාර්යවරයෙක් ඉන්නවා  ‍එයා ත්‍රිකෝණමිතිය උගවද්දිත් එච්චර හොඳ ප්‍රතිචාර ඇවිත් නැහැ. ලංකාවේ ඉතිං ඒවා සුපිරියටම උගන්වනවා නේ, ඒක නිසා මට අවුලක් වුණේ නැහැ.

ළමයින්ට හරියට උගන්නන් නැති එක වරදක්. ළමයාට දැනුම නැති විට එයාට ඉහළ සාමාර්ථයක් ලබාදීම ඊට වඩා ලොකු වරද්දක්! මොකද එතනින් ඉස්සරහට ගියාට පස්සෙ එයාට කරන්න තියෙන ඊ ළඟ විෂය හරියට කරගන්න බැරි වෙන නිසා. 

දැන් මගේ මේ කතාවේ කතා නායිකාවට අවශ්‍ය මූලික දැනුම නැති කොට කොහොමද එයාට මම කියන දේවල් තේරුම් යන්නේ? එයාට සහ අනෙකුත් මූලික දැනුම මදි ළමයින්ට මට මේ දැන් කරන පන්තියේ දී මූලික දැනුම ලබා දී දී ඉන්න වෙලාවක් නැහැ. මට කරලා ඉවර කරන්න විෂය නිර්දේශයක් තියෙනවනෙ, ඒක මම කරන්න ඕන. 

අධ්‍යාපනයේ දී කොච්චර හොඳට ඉගැන්නුවත්, ගුරුවරයකුට කරන්න පුළුවන් තුනෙන් එකක කොටසක් විතරයි කියලා මම අහලා තියෙනවා. ඉතිරි තුනෙන් දෙකම ශිෂ්‍යයා විසින් කළ යුතුයි. ඒ නිසා දරුවන්ව එක් පන්තියකට පමණක් යවා හෝ පාසල් අධ්‍යාපනය පමණක් ලබා දී හෝ දරුවාගේ තුනෙන් දෙකේ කොටස කරන්න වැඩි ඉඩක් ලබා දෙන එකයි නුවණට හුරු. කොහොම නමුත් මේ ගුරුවරයා විසින් කළ යුතු තුනෙන් එකෙන් දශමයක්වත් ළමයට ලැබුණෙ නැත්නම් ළමයගෙ කොටස කොහොමවත් කරගන්න බැරිවෙනවා. 

දැන් මට මේ කත ගැන හරිම දුකයි. මම එයාට පැහැදිලි කරලා කිව්වා ඔයාට කලනය ඉගන්න අමාරු වෙයි ත්‍රිකෝණමිතිය දැනුම නැත්නම් කියලා. කොහොම නමුත් එයාට මේ අවස්ථාවේ නැවතත් ත්‍රිකෝණමිතිය තනියම ඉගෙනගන්න වෙලාවක් තිබුණෙ නැහැ. ගුරුවරු වශයෙන් වෙලාවකට අපි ගොඩාක් අසරණ වෙනවා. අපි ආස අපේ පන්තියේ ළමයි හැමෝම හොඳින් ඉගෙන ගන්නවා දකින්න. නමුත් ඊට කලින් පන්තියේදී ඒ අදාළ විෂය දැනුම හරියට ලබා ගත්තේ නැත්තං බොහෝ විට ළමයින්ට අමාරු වෙනවා අපි උගන්නන දෙයින් නිසි ප්‍රතිඵල ලබා ගන්න. ඒ වගේම ළමයින්ට වෙලාවක් තියෙන්න ඕනා ඉගෙනගන්න දේ නැවතත් ආවර්ජනය කරල බලන්න, තව තව ගණන් හදන්න ඒ ගැන හිතන්න. එහෙම කරන්න බැරි අවස්ථාවලදීත් ඔවුන්ගේ ප්‍රතිඵල දුර්වල වෙනවා.

කොහොම නමුත් එයා දිගටම පංතියට ආවා. එයාට පුළුවන් විදියට එයා වැඩ කළා. ත්‍රිකෝණමිතික ශ්‍රිත ගැන ඒ ආශ්‍රිත සමීකරණ ගැන හරි දැනුමක් නැතුව කාටද පුළුවන් ඒ ශ්‍රිත අවකලනය හෝ  අනුකලනය කරන්න? එක මහ පිස්සුවක්. කොහොමහරි දැන් පන්ති අන්තිම කාලේ වගේ දවසක මම ළමයි වැඩ කරනවා මදි, මං ගණං හදන්න දෙන ඒවා හදන්නේ නැහැ කියලා පොඩි සද්දයක් දැම්මා. වෙලා තියෙන්නෙ ළමයිට වැඩ කරන්න වෙලාවක් නැති එක. මොකද එයාලා කවුරුත් පාහේ පැය විස්ස හතලිහ  හෝ ඊටත් වැඩි ගාණක් වැඩ කරනවා ජීවිතේ ගෙනියන්න. කොහොම හරි ඊට පස්සේ පන්තියෙ එහෙන්මම ඉවර වුණා. ළමයි නැගිටලා ගියා, නමුත් අර කාන්තාව නැවතුනා. එයාගෙ මුහුණත් එක්ක රතු වෙලා ඇස් දෙක කඳුළු වලින් පිරිලා.