Wednesday, January 17, 2024

පිබිදෙන වසන්තය

දළු දාගෙන එන ගස් බල බල
පිබිදෙන විසිතුරු මල් දැක දැක
ලා අව් රැලි සිත් සේ විඳ විඳ
හිමිදිරියේ ඇවිදිමු පිය තිය තිය

ඔක්තෝබර් 11, 2023
මෙත්මා


Monday, January 15, 2024

වැස්සට කවි තුනක්

බිංදු බිංදු පොද වැටිලා මහ වැස්සක් එනවා
පාට පාට පුරවාගෙන දේදුන්නක් පායා
පාවි පාවි වළා ඇවිත් මුළු අහසම පිරිලා
පුංචි පුංචි මල් පිපිලා වැස්සේ හිනහෙන්නා










ඔක්තෝබර් 3 උදේ, 2023
මෙත්මා

සුලඟක් හමා යයි මා ගත දැවටීලා
සීතල නෑ දැනුනේ සිසිලයි මට දැනුනේ
දළු දාමින් මේපල් ගස් පිබිදෙන්නට යනවා
මල් පිපෙන්න දවසක් දා පොහොට්ටු ලොකු වෙනවා

ඔක්තෝබර් 4 උදේ

බිංදු බිංදු පොද වැස්සක් ඔන්න කඩා හැලෙනවා
ඩිංග ඩිංග වහල දිගේ වතුර ගලා ඇදනවා
හැඩට පිපුන කහ මල් ටික හෙමින් හෙමින් හැලෙනවා
රතු ගිරවුන් දෙදෙනෙක් විත් කීචි බීචි ගානවා













ඔක්තෝබර් 4 හවස
මෙත්මා

Sunday, January 14, 2024

කවි අහමුද?

අපි ඉතින් වැඩිය ඇඟ මහන්සි කරලා වැඩ කරන අය නොවන නිසා දෛනිකව ව්‍යායාම කරන එක හරීම වැදගත්. ව්‍යායාම කරන එක  ශාරීරික සුවතාවයට වැදගත් බව නම් ඉතින් පේන්නම තියෙනවනේ. ඒ විතරක් නෙවෙයි ඒක මානසික සුවතාවයටත් ඉවහල් වෙනවා. ඒ නිසා මම දින පතා අනිවාර්යයෙන්ම උදේට ඇවිදින්න යනවා. වාර්ෂික නිඩාඩු දාලා ගෙදර ඉන්නැද්දි නම් ඒක මග ඇරෙනවා ටිකක්. ජොගින් නෙවෙයි, දුවනවත් නෙවෙයි ටිකක් වේගෙන් ඇවිදිනවා. උදේට විනාඩි විස්සක් වගේ ඇවිදිනවා වගේම කිලෝමීටර දෙකකට ආසන්න දුරක් යනවා. හැමදාම යන්නේ එකම පාත් එකක.

මොකක් හරි හේතුවක් හින්දා මට හිතුනා කවි ලියන්න. ලියන්න නෙවෙයි ගොතන්න. කවි හදන එක මට අළුත් දෙයක් නෙවෙයි. මට මතකයි මං හය වසරේ වගේ ඉන්න කාලේ කවි ලියන්න සෑහෙන උත්සහයක් ගත්තා. හරියට ලියාගන්නත් බෑ, ඒත් ලීවා. කොහොම හරි දිගටම කවි ලීවා. සෑහන කාලයක් නොයෙක් විදියේ කවි ලීවා, නමුත් පහු ගිය වසර දෙක තුනක දී වගේ නම් ඒක මග ඇරුනා. කොහොම හරි ඉතින් මට කවි ගොතන්න හිතුනනේ, මම ලියන්න පටන් ගත්තා. පූසි ගැන කවි කීපයක් ලීවා. 

උදේ ඇවිදිනකොටත් කවියක් ගොතන්න හිතුනා. ඉතින් මම හිතුවා, වැඩිය මහන්සි වෙන් නැතිව සරලව කවියක් ගොතන්න ඕනි කියලා, මේ ඇවිදින ගමන්. කවියෙ පදයක් ගොතලා තව එකක් ගොතන කොට අර කලින් පදේ අමතක වෙනවා, ඒ හින්දා මේක ගොතන ගමන්ම පෝන් එකේ හඬ පටි ගත කරා නම් හරි නේ කියලා, කවිය එක පාරටම ගොතන ගමන්ම පටි ගත කරා. මොන්න බොලේ කවි ගොතන කොට ගොතන කොට අදහස් එනවා නේද එක දිගටම. ඉතින් මුලින් මුලින් පද හතරක එක කවියක් ගෙතුවත්, පස්සෙ පස්සේ කවි පන්තිත් හැදුවා. ඒවා මේ හිටිවන කවි, එවෙලේ හදපුවානේ. ඒ ඒ දවවල පරිසරයේ ස්වබාවය ලියවිලා තියෙනවා මේ කවි වල. ඉතිං ඒ කවි කියවන්න කැමතිනම් ඒවා ලියන්න පුළුවන් මට. තාල එහෙමත් දාලා හැදුවේ. ඉතිං අහන්න කැමති නම් හඬ පටත් අමුණන්න පුළුවන්. මොකද කට්ටිය හිතන්නේ ඒ ගැන.



පූස් සහ බඹරු

පූසිනියා කොහෙද ගියේ
බඹරුන් අල්ලන්න ගියේ
ඒ බඹරුන් ඇයි ආවේ
මල් පැණි බොන්නයි ආවේ

යන්න එපා අල්ලන්නට
ඉන්න දෙන්න බඹරුන් හට
බඹරුන් වැඩියෙන් ආවම
සරු වෙනවනේ පළදාවම










ඔක්තෝබර් 2, 2023
මෙත්මා 


Thursday, January 11, 2024

මිදෙන්න දොම්නසෙන් සැම

විඳින්න හමන සුළඟක සුව
අහන්න ගයන විහඟුන් ගේ හඩ
බලන්න පිපුණු මලක හැඩ
සිඹින්න විදිමින් ඒ මල් සුවඳ

හිඳින්න ගස් සෙවන යට
විඳින්න පළතුරු ගෙඩියක රස
සැනසෙන්න බලා ගිරවුන්ගේ හැඩ
හිනැහෙන්න දැක උන්නේ වැඩ

ඇවිදින්න මං මාවත් දිග
හිනැහෙන්න අයෙක් හමු වූ විට
බලන්න අවට සුන්දරත්වය
විඳින්න හැම මොහොතකම සුව

සැනසෙන්න බලා නුබ
හිතන්න වහී විද කියා අද
බලන්න හිරු බසින රඟ
තුටු වෙන්න දැක දම් වළා පෙළ

මෙත්මා 
ජනවාරි 11, 2024