Sunday, April 24, 2016

ආදරය

ආයුබෝවන්!

කලින් වතාවෙ නංගිට (භාග්‍යා හේමමාලිට) කවියක් ලියල දුන්නනේ, ඉතින් අපේ මල්ලිත් නහයන් අඬ අඬා හිටියෙ, "අනේ අක්කෙ මටත් කවියක් ලියහන්කො බං" කියල. මම මේ කීවෙ අපේ සලිත ගැන. අර බ්ලොග් එකක් ලියන්නෙ 'අපි තොපි' කියල, ආන් ඌ ගැන. ආදර කථා ලියන්න තමයි මිනිහ වැඩිපුර කැමති. කොහොමින් කොහොම හරි එයාගෙ, 'චානකගේ ආදර කතාව 1', II කොටස් කියෙව්වට පස්සෙ ආදරේ ගැන කවි පෙළක් ලියන්න ඕනි කියල හිතුන (දම් පැහැතැන් හරහා එයාගේ බ්ලොග් එකටත් එයාගෙ ලිපියටත් යා හැකිය). ආදරේ හදවතට දැනෙන විදියට එයා කාථාව ලස්සනට ලියල තියෙනව. හරි හරි වැඩි කථා ඕනි නෑ, කෙලින්ම කවි වලට;



සිතක උණුසුම රඳන
සිත් සතන් පුබුදුවන
සිතක සිහිලස දනන
එසිත තනිකම මකන

අඳුරු දිවි සොඳුරු කල
රුදුරු සිත් සුමුදු කල
තැවුනු සිත් සතුටු කල
නිබඳ සිත් සුවඳ කල

ඇති කල එක ලෙසක
නැති කල වෙන විලස
තෙදින් සිත් පිරිමදින
තදින් සිත් රිදුම් දෙන

විටක උණුසුම රඳන
විටක ගින්නෙන් දවන
විටක සිසිලස දනන
විටක ගල්සේ මිදුණ

සිත් සතන් පුබුදු වන
පිබිදි සිත් හකුළුවන
තුටින් පුරවා තබන
දුක්ඛ ගංගා මවන

විටක සිත් පහන් කල
නමුදු දිවි අඳුරු කල
සිනා සයුරක් මැව්ව
මුත් කඳුලු බිදු රඳන

සොඳුරු ලෙස සනසනා
කටුක වී හඬවනා
සෞම්‍ය වී පැමිණෙනා
රුදුරු වී හැර යනා

සොම්නසේ හැඩ මැව්ව
දොම්නසේ ගති කිව්ව
මුව නැගුණු හසරැල්ල
බිම හැලුණු කඳුලැල්ල

ප්‍රබෝධය ගෙනෙනවා
වගෙම සිත දවනවා
මෘදු මෙළෙක දැනෙනවා
වගෙම සිත තවනවා

තිස්සේම ලඟ ඉදන් හිනැහිලා
රිදුම් දේ පාළුවේ තනිවෙලා
සුවහසේ සිහිනසේ සතපලා
දුක් වුනේ රෑ පුරා නිදිවරා

සෞම්‍යයෙන් පිරි සොභා
බිඳ මවයි රුදුරු ඝන කළු වලා
බලන් ගැඹුරින් සිත යොමා
සෙනෙහේ කුමක්දෝ කියා




No comments:

Post a Comment