Showing posts with label මගේ සිංදු. Show all posts
Showing posts with label මගේ සිංදු. Show all posts

Sunday, October 24, 2021

ගෙවල් හෙවිල්ල | ටීකා සී පද

ඉන්නා ගේ ...

හීටර දෙකතුනකුත්, විදුලි ලිප් කීපයකුත් දාලා ඒත් බැරිතැන මේසුත් ජේසිත් දාලා රෙද්දකුත් පොරවගෙන හා පැටව් වාගේ හීතලේ ගුලිවෙලා, ගෙදට්ටම වෙලා බතක් මාළුවක් උයාගෙන, පීස් ටිකක් වවාගෙන, වැඩක් පලකුත් කරගෙන, ඇපල් මලක් පිපෙනකල් බලා ඉන්න කොට...

ඉන්නා ගෙදර දෙන්නැයි ඉල්ලුවා ගෙය අරගත් අළුත් කෙනා...

රටත් වහලා, ගමත් වහලා, කඩ අනං මනං ඔක්කොමත් වහලා, ගෙයින් පිටට අඩියක් වත් තියන්න බැරිව, දන්න, නොදන්න, දැක්ක, නොදැක්ක, හැමෝම හැකි නොහැකි හැම වැඩක්ම ගෙයි ඇතුලේ ඉදං, රෙදි සෝදන ගමං, රෙදි වේලන ගමං, ළමයි නලවන ගමං, රංඩු බේරන ගමං, බත් උයන ගමං මතක් උනොත් වැඩත් කරන කාලේක ...

යන්නත් බෑ බලන්නත් නෑ, නමුත් ගෙයක් අපි හෙව්වා ...

පරිගණකයෙන්, දුරකතනයෙන් අතට අහුවෙන හැම මගුලකින්ම උදේ හිට දවල් වෙනකල්, හවස වැඩ ඉවරවෙලා රෑ වෙනක ගෙවල් හොයනවා, කාමර කීයද, නාන කාමර කීයද, වාහන පාකින් කීයද, ගාන කීයද, උඩට පහළට යනවා, තරු දානවා, ඒ පැත්ත දුරයි එහෙන් එපා කියනවා, මලක් පැළයක් හිටව ගන්න හැකිද බලනවා, අන්තිමේදී රෑ හීනෙනුත් ගෙවල් පේන්න විට ...

එකම එක ගෙයක් බලන්න අපිට යන්නට ලැබුනා ...

රැකියාව, පඩිය, උපත, විවාහය, කලින් හිටි තැන් එකී නොකී මෙකී හැම ලියවිල්ලක්ම පෙට්ටගං අස්සෙං හොයාගෙන පත්තරක් වගේ දිය කොලේකුත් පුරවලා අරයට මෙයාට දෙන්න එපා මේ ගේ අපිටම දෙන්න කියලා දාහක් දේ කියලත් ගෙයක් හොයාගන්න බැරිව ලට්ට ලොට්ට ටිකත් අරගෙන පාරට බහින්න වේද හිත හිතා ඉන්නා කලක ...

රූප වලින් විතරක් දුටු ගේකට අපි හෙට යනවා ...

ඈත ගම්දනව්වකින්, කවදාවත් ඇහැටවත් නොදැක්ක, කාගෙන්වත් අහල දැන කියාගන්න බැරි වුන, පින්තූර කෑල්ලකින් විතරක් දුටු අයෙන් ආවාහ විවාහ කරගන්න, ගෙවල් දොරවලුත් අස් කරලා, උත්සව ශාලාවකුත් වෙන් කරගෙන, නෑදෑයිටත් එන්නත් කියලා, තෑගි බෝගත්, රෙදි පෙරෙදිත්, රත්තරං බඩුත් අරගෙන යන්නා වාගේ...

අපි යනවා... 


මෙත්මා
ඔක්තෝබර් 24, 2021








Tuesday, April 7, 2020

තව දවසක් ඉවරයි

සීත සමයක ගෙදරක සිරවී
උදේ පටන් එහි දවසම ලැඟුම් ගෙන
මොහොතකට වත් පිට නොයමින්
ගෙදර ඉඳන් වැඩ කරමින්
හිරුගෙන් උණුසුම යදිමින් 
ජනේලයෙන් හිස් පාරට දෙනෙත් යොමා
විටක සිතුවිලි ගඟක බැසලා
දුකද, වේදනාවද, හිර කරගෙන
තටු ගිලිහුණු කිරිල්ලියක මෙන් අසරණ වී
සැවොම පසුතැවෙමින් ඔහේ සිටිනා මේ
කොරෝනා වසංගතයේ උච්චත්ම කාලේ

තව දවසක් ඉවරයි
තව දවසක් ඉවරයි
සිනාසෙමින් කියමින් උදම් වී
තව දවසක් ඉවරයි
ඉවරයි තව දවසක් ඉවරයි

මවුරටින් එපිට සත්සමුදුරින් එහා
ඈත පිහිටි පුංචි ගමක,
ආදර මවුගේ උණුසුමක් මට කොයිද
පිය සෙනෙහස අහිමිව,
දියණියන්ගේ හිනා හඬ නෑසෙන
පිට රටක හෙට මොනා වෙයිද,
අපිත් ලෙඩ වෙයිද, කාට බෝ කරයිද,
අනේ දරුවෙක් එයිද
රැකියා අහිමි වෙයිද
ඉන්න හිටින්නට තැනක් හමුවෙයිද
රටක් ලෝකයක් අඟුලු දමා 
අපි කොහොම ගෙදර යම්ද
සිතේ බර පහවෙයිද ලඟදීම දවසක?

තව දවසක් හෙට උදාවෙයි
හෙට හවසත් ඔබ කියාවී
තව දවක් ඉවරයි
තව දවක් ඉවරයි
ඉවරයි, තව දවසක් ඉවරයි...

අප්‍රේල් 7, 2020
මෙත්මා


Sunday, June 3, 2018

ඈත අහස අග


කෝළම් කර සඳ සිනහ සලන විට
සිත පුරාම පුංචි පුංචි මල් පිපුනා හැඩ
නෙත පැටලුණ සඳ සිහින මවන කල
සුවඳ දිගේ ඇදී ඇවිත් ඔබ සෙව්වා මම

ඈත අහස අග තරුවක් වී ඔබ
හිනැහි හිනැහි දිලිසි දිලිසි බබළනවා අද //

මල් පෙත්තක මැද සිතිවිලි කවි කර
ලියා එවන්නට සිතුනා අමුණා සුළගක
පෙනෙනා රන් සඳ නොපෙනන සිත් මල
තනි වීදෝ දුක් වීදෝ සිත අසනා විට

දහස් ගනන් දුර ගෙවා ගියත් මම
ඔබේ ලඟට ඇවිත් යන්න හැකි වේවිද හෙට //

ඈත අහස අග තරුවක් වී ඔබ
හිනැහි හිනැහි දිලිසි දිලිසි බබළනවා අද //

මෙත්මා
2017 ඔක්තෝබර්



මේක තමයි මම ලියපු හතරවෙනි සිංදුව. දෙවෙනි සහ තුන්වෙනි සිංදු මීට වසර ගණනාවකට කලින් ලියපුවා (දශකයකට විතර කලින්).  ඒවායේ පිටපත් මා ලඟ නෑ, පදත් හරියට මතක නෑ. ඒ නිසා ඒ සිංදු දෙක ගැන සඳහනක් කරන්න අමාරුයි. කොහොම නමුත්, දෙවෙනි සිංදුව මගේ අාසම ගීතයක්. මොකද කියනවා නම්, ඒ සිංදුවේ හැම වචනයක්ම පටන් ගන්නේ 'ස' ශබ්දයෙන්. ඒක පටන් ගනන්නේ මෙන්න මෙහෙම, 

"සමාසිකයක සරත් සමයක
 සතුට සපිරුනු සිහින සයකට
  .....
 සුදුගෙ සිත සඳලියගෙ සිහිලයි".

මේ සිංදුව කියද්දි මතක් වුනේ මගේ ඉංග්‍රීසි කවි රස විදපු යෙහෙළියක් කී දෙයක්. අෑ කියනනේ මගේ කවි සියල්ලම වාගේ ව්‍යූහාත්මකව ලියවුනු ඒවා කියලයි. ඔව් ඒ කථාවෙත් අැත්තක් නැත්තෙම නෑ. මේ සිංදුවත් ඉතින් එහෙමනි. ගීතයක් වේවා, කවියක් වේවා එහි රසවින්දනය ඉහළ දැමිය හැකි ප්‍රධාන ක්‍රම තුනක් තියනවා කියලයි මට හැඟෙන්නෙ. ඒවා නම්,  භාෂාව හැසිරවීමේ දක්ෂ බවත්, අර්ථාන්විත බවත්, හා ව්‍යූහාත්මක බවත් යන තුනයි. මේ තුනෙන්, සියුම්ම හා අමාරුම භාෂාව හැසිරවීමයි. ඒ සඳහා පුළුල් වාග් මාලාවක්, ව්‍යාකරණ පිළිබඳ මනා දැණුමක් මෙන්ම වචන හැසිරවීමේ දක්ෂතාවයත් අවශ්‍යයි. එහෙයින්, යම් අයෙක් භාෂාව හැසිරවීමේ එතරම් දක්ෂයෙකු නොවේ නම්, තම නිර්මාණය යම් කිසි ව්‍යූහයකට අනුව සැකසීමෙන් එහි අගය ඉහළ දැමිය හැකියි.

කොහොමහරි ඉතින් දැන් දෙවෙනි සිංදුව මතක නෑනි, ඒ නිසා අපි අද මම ඉදිරිපත්කල "අෑත අහස අග" සිංදුව ගැන බලමු. අායිත් සැරයක් මේ සිංදුව කියවලා බලන්නකෝ මෙනවගේ අර්ථයක්ද එහි ගැබ්වෙලා තියෙන්නේ කියලා ඔයාට හිතා ගන්න පුළුවන්ද කියලා. පහත තියෙන ලින්ක් එකෙන් මම පටිගත කල හඬ පටය අහන්නත් පුළුවන්.

අෑත අහස අග ගීතයේ හඬ පටය

මේ සිංදුවේ මම අන්තර්ගත කල අර්ථය බැලූ බැල්මටම නම් හොයන්න අමාරු වෙයි. මුලින්ම, කොටසින් කොටස වෙන වෙනම අර්ථ දක්වන්න ගියොත් නිවරදි අර්ථය මග හැරෙන්නත් පුළුවන්. මේ සිංදුවේ පුංචි කථාවක් කියවෙනවා. මම පාචිච්චි කරපු හැම වචනයක්ම ඒ කථාවට දායක වෙනවා. ඒ නිසා එකපාරටම කොටසින් කොටස තේරුම හොයන්න ගියොත් ඒ කථාව මග හැරේවි. උදාහරණයක් විදියට, "කෝලම් කර සඳ ..." යන කොටසින් පටන් ගත්තොත්, අපිට හිතෙන්නේ තමුන්ට අාදරය පෙන්නපු, ඉගි බිගි පාපු කෙනෙක් ගැන අැති වෙච්ච අාදරයක් ගැන කියන සිංදුවක් කියලා. නමුත් ඒ අර්ථය ඊ ලඟ කෙටස, ඒ කියන්නේ "අෑත අහස අග..." කියන කොටසත් එක්ක හරියටම ගැලපෙන්නේ නැහැ. මොකද එතනදි කියන්නේ බොහොම අෑත ඉන්න කෙනෙක් ගැන. ඒ නිසා මුලු ගීතයෙන්ම කියවෙන සාමාන්‍ය අදහස මුලින් අරගෙන, ඊට පස්සේ කොටසින් කොටසට ගිහින් කථාවේ පුංච් පුංච් විස්තර ටික හොයා ගන්න එකයි මෙතනදි කරන්න තියෙන්නේ.

අපි දැන් හොයාගෙන තියෙනවා බොහොම අෑත ඉන්න කෙනෙක් ගැන කියන කථාවක් කියලා. කොච්චර අෑතද කියනවා නම් අහසිනුත් එහා ඉන්න කෙනෙක් වගෙයි. "අෑත අහස අග..." කියන කොටසිනුයි ඒක කියන්නේ. ඒතනදී එයා හිනැහෙමින් දිලිසෙන තරුවක් කියලත් කියනවා. සාමාන්‍යෙන් අපි තරුවක් යැයි අමතන්නේ රටේ හෝ ලෝකයේ ප්‍රසිද්ධ කලාකරුවන්ට. ඒ අයගෙනුත්, සිනා වෙන්නේත්, කෝලම් කරන්නේත් රංගන ශේෂ්ත්‍රයේ ඉන්න අයයි. එහෙම බලනකොට මේ කියන්නේ නිතර රූපවාහිනියේ දකින්න ලැබෙන රංගන ශිල්පියෙක්/ශිල්පිනියක් කෙරෙහි හටගත්  සෙනෙහසක් ගැන කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. 

"මල් පෙත්තක මැද..." කොටසින් කියන්නේ එ් සෙනෙහස පවසන්න වෙන ක්‍රමයක් නැති බැවින් කවියක් කර හෝ කියන්න සිතුනු බවයි. මේ සිංදුවේ මම තවත් අාසම පදය දෙකක් තමයි, "පෙනෙනා රන් සඳ නොපෙනන සිත් මල ..." කොටස. එතනදී කියනනේ, යම් යම් කථාවල චරිත ලෙස ඔබව කොතරම් දැක ගත හැකි වුවත්, සැබෑ ජීවිතයේ ඔබ මොන තරම් දුකකින් වේදනාවකින් ඉන්නවා දැයි නොපෙනෙන බවය. සිංදුව ඉවර කරන්නේ, මෙතරම් දුරින් ඉන්න ඔබ ඉන්න මානයකට හෝ දිනක එන්න හැකි වුනත්, අඩු තරමේ ඔබ දැක ගන්නවත් හැකි වේදෝ යන අවිනිශ්ච්ත බව හඟවමිනි.

ගීතය රසවිදි ඔබ සැමට ජය වේවා!

Sunday, February 4, 2018

හමුවූවත් හැමදාමත්...

හමුවූවත් හැමදාමත් - අපි නෑ හමුවන්නේ
වෙන්වූවත් හැමදාමත් - අපි නෑ වෙන් වන්නේ

සසරක අතර මගකදී  - අපි හමුවෙන්නේ
පැතුමක බලය වැඩියි - නෑ වෙන් වෙන්නේ

කඳුලක් හංගාගෙන - දෙතොලින් හිනැහෙන්නේ
සුසුමක් ලෙස ඇවිත් - තුරුලට වී ඉන්නේ

මෙත්මා 
2005 අගෝස්තු



මේක මම වසර 12කට විතර කලින් ලියපු ගීතයක්. මගේ පළවෙනිම ගීත රචනය. බොහොම අමාරුවෙන් මතක් කරලා තමයි අන්තිම පද හතර මතක් කරගත්තේ. ඒ දවස් වල මම මේ ගීතය ලීවත් මගේ ලඟ අදටත් එහි පිටපතක් නම් නැහැ. සමහර විට අපේ ගෙදර මගේ පොත් අස්සෙ තියෙන්නත් පුළුවනි. නොතිබෙන්න සම්බ්හාවිතාවය තමයි වැඩි. ඒ කොහොම වුනත් අඩුතරමේ මේ සැරේ ලංකාවට ගිය වෙලාවවත් මට ඒ ගැන හොයලා බලන්න බැරි උනා. ඒ නිසා කොහොම හරි අමාරුවෙන් පද මතක් කරන්න මට සිද්ධ උනා. පළවෙනි සහ දෙවනි කොටස් දෙකනම් ඒ විදියටම මතකයි. නමුත් තුන්වෙනි එකනම් සමහර විට මම මුලින් ලියපු එකට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්නත් පුළුවන්. මට මතක විදියට හතරවෙනි කොටසකුත් තිබුනා. ඒ ගැන නම් කිසිම මතකයක් නෑ වගේ. 

සමහර විට කෙනෙකුට මොනා පිස්සුවක්ද මේකෙ ලියල තියෙන්නෙ කියලා හිතෙන්න පුළුවන්. මම මේ ගීතයේන් අර්ථවත් කලේ මොකද්ද කියල කියන්න කලින්, තව එක පාරක් ඒක කියවලා බලන්නකෝ. ඒ කරලා අදහසක් එකතු කරන්නකෝ ඔයා කොහොමද මේ ගීතය විස්තර කරන්නේ කියලා. 

හොඳයි එහෙනම් මෙන්න මේකයි කථාව. බැලූබැල්මට මේ ගීතයේ පෙනෙන්නේ ආදරය උනත්, කියාගන්න බැරි වේදනාවක් එහි ගැබ්වෙලා තියෙනවා.  ඒ වගේම ඒ වේදනාව යටකරගෙන මතු වෙච්ච සන්තෝෂයක් ගැනත් කියවෙනවා. එයා කියනවා, 'හමුවූවත් හැමදාමත් අප නෑ හමුවෙන්නේ', ඒත් එක්කම කියනවා 'වෙන්වූවත් හැමදාමත් අපි නෑ වෙන් වෙන්නේ' කියලත්. 
මේ පද දෙක වෙන්වෙන්ව අර්ථ දක්වන්න අමාරුයි. එකටමයි අර්ථ ගලපන්න ඕනි. නිතරම හමුවන සහ ඒ හමුවෙන හැම අවස්ථාවකම වෙන් වෙන්න සිදුවෙන දෙදෙනෙක්ගේ සම්බන්දතාවයක් ගැනයි මේ කියන්නේ. ඒයාට දැඩි උවමනාවක් තියෙනවා, මේසේ නිතර හමුවෙන-වෙන්වන මේ චක්‍රය බිදලන්නට. ඒ කියන්නේ යම් කිසි දිනක් ඒවි අපට වෙන්වීම නවත්වාලිය හැකි, එනයින් නැවත හමු නොවන. එහෙමත් නැත්නම්, යම් දිනක් ඒවි  නැවත හමු නොවන සේ වෙන්ව යන. මේ කොටසින් විතරක් අපිට හරි අදහසක් ගන්න බෑ එයාට ඕනි ඇත්තටම වෙන්වීමක් නැති එක් වීමක්ද නැත්නම් නැවත හමුවීමක් නැති වෙන්වීමක්ද කියලා. 

දෙවනි කොටසින් එයා කියනවා, 'මේ සංසාරෙ ගමන් කරනකොට අපි දවසක හමුවුනා. ඒ හමුවීම ආදරණීයයි, හිතේ ලොකු පාර්ථනාවක් තියෙනවා, කවදාවත්ම වෙන් නොවෙන්න යැයි කියා'. ඒ කියන්නේ එයාට ඕනි වෙන් වෙන්න නෙවෙයි එකතු වෙන්න. ඒත් එක්කම මෙතනින් තව දෙයක් කියවෙනවා, මේ සම්බන්දය කැඩී බිදී ගිහින් මේ අය විරසක වීමේට ඉඩකඩ බොහොමයි. ඒ නිසයි එයා අපි වෙන්වෙන්නේ නෑ, මගේ පාර්ථනාව බලවත් කියලා, එයාගෙ හිත හදාගන්න උත්සාහ කරන්නේ. මේ කියන දේ ඊලඟ කොටසින් තවදුරටත් තහවුරු වෙනවා. එයා හිනාවෙන්නේ, කඳුලක් හංගගෙන, තුරුලට වෙලා ස්තුටින් අද හිටියත් ඒ ඉන්නේත් නොපෙනෙන වේදනාවක් හිතේ කොනක හිර කරගෙන. මොකද එයා හිතෙන දුක්වෙනවා කවදාවත්ම නැවත හමු නෙවන සේ වෙන්ව යන දවසක් ඒවි යැයි කියා.

මේවන් අර්ථයත් එක්ක තමයි මේ ගීතය රචනා වෙන්නේ. ඒ අර්ථය විදියටම ඔයාට පේනවාද, එහෙමත් නැත්නම් වෙනත් අර්ථයක් පේනවද කියලා අදහසක් එකතු කරන්න. මම ඒවා ගොඩාක් අගය කරනවා. මෙ ගීතයේ අඩුපාඩු යමක් තියේ නම් ඒ ගැනත් සදහන් කරන්න. මේ ගීතයට හරි හැටි තනු නිර්මාණයක් වෙලා නැහැ, ඒ වගේම එහි ගායනයකුත් තාම නැහැ. කවුරුන් හෝ ඉන්නවා නම් එයට තනුවක් නිර්මාණය කර ගයන්නට, ඔවුනට ඉඩ කඩ. නමුත් මාව සබන්ද කරගන්නටත් අමතක නොකරන්න.

ජය වේවා!