Thursday, January 28, 2016

දහය: ඉනුයා


ආයුබෝවන්!

ඔන්න ඉතින් මම අපේ අම්මිගෙ පින්තූරයනේ අන්තිමට ඇන්ඳේ. ඒත් අනේ මගේ හිත තාමත් කනස්සල්ලෙන්, මොකද කියනවනං ඊට කලින් ඇඳපු ඉනුයගෙ (කං ඉන් උ ගෙ) පින්තූරෙ අවුල් ගියානේ. පිපෙන්න බලාගෙන මගේ ලැයිස්තුවේ තව බර ගානක් මට බැන බැන හිටියත්, ඉනුයට වෙච්ච අසාධාරනේ මට ඉවසන්න බැරිව ගියා. ඒත් එක්කම මට මෙහෙම හිතුනා:

"වැඩක් කරනවනම් හරියට කරන්න ඕනි, වැරදීම් වෙනවා, එතකොට ඒවා හරිගස්සගන්න ඕනි ඊලඟ පියවරට යන්න කලින්" 

ඒ නිසා මම තීරණය කලා ඉනුයව අඳල තමයි මොනවා කෙරුවත් කොරන්නෙ කියල. කලින් සැරේ මට වැරදුනේ මම තෝරගත්ත මුල් පින්තූරෙ ඉනුය ලාවට හිනාවෙලා හිටපු නිසානේ. ඕං ඒ නිසා හොඳට හිනාවෙලා ඉන්න එකක් තේරුවා. මේ මුල් පින්තූරය හොයාගත්තෙ, 'ගන්මෑන් ඉන් ජොසන්' (gunman in Joseon, 조선 총잡이 ) නම් කොරියානු ටෙලි නාටක මාලාවේ එන 'කිම් හො-කිඔං', 김호경, කියන චරිතයෙන්. මේ චරිතයට පණ පොවන්නෙත් 'කං ඉන් උ' චරිතයට පණදුන් 'හන් ජු වොන්',
한주완 නැමති ආදරණීය රංගන ශිල්පියා. 

කං ඉන් උ ඉන්න 'හ්වාජුං' කථාවත් මේ කථාවත් හාත්පස එකිනෙකට වෙනස් උනත්, හන් ජූ-වොන් චරිතයේත් කං ඉනු චරිතයේත් පුදුමාකාර සමානකම් තමයි තියෙන්නෙ. දෙන්නම ආදරේ කරන ගෑණු ළමයා ආදරේ වෙන කෙනෙකුට, දෙන්නම තමන්ගෙ හිතේ තියෙන ආදරේ නිසාම ඒ ආදරේ හිතේම තියාගෙන ගෑණු ළමය කැමති කෙනා එක්ක එකතු වෙන්න උදවු කරනවා. දෙන්නගෙම පියතුමන්ලා සටකපට ආත්මාර්ථ්කාමීන් (තම රට වුනත් පාවා දෙන සයිස්) දෙදෙනක් වන අතර, මේ චරිත දෙකම පියතුමාලාගේ ක්‍රියාකලාපයට දැඩිසේ විරුද්දයි, ඔවුන් නීතියේ රැහැනට අල්ලාදිමට කටයුතුකරන,.....ආදී සිද්දීන් ගණනාවක්ම තියෙනවා. කොහොම නමුත් ඉතාමත් දුඛිත ජිවිතයක් ගතකරන මේ චරිත දෙකම හරිම අවාසනාවන්ත ඉරණමකට මූණ දෙනව. ඒ නිසා කිම් හො-කිඔංටත් මම කියන්නෙ 'ඉනුය' කියල.

කොහොමින් කොහොම හරි චිත්‍රය ඇන්ඳා, මේං මේ විදියට තමයි අන්තිමට ඒක නිම උනේ.


මේසැරේනම් ලස්සනට ඇඳගන්ඩ පුළුවන් උනා. යෙ...ඒ... මට හරි සතුටුයි. චිත්‍රය ගැන යමක් කීවොත්, එයා ගොඩාක් හිනාවෙලා ඉන්න නිසා ගොඩාක් ලස්සනට ආවා. එයාගෙ කට, නැහැය, ඇස් දෙක, කම්මුල්, තොප්පිය, වගේම එයාගෙ ඇඳුමත් ටිකක් පිළිවෙලට තියෙනව කියල හිතෙනව. 

මූණෙ පොඩි ඇදයක් තියෙනව වගේ පේනව, හ්ම්ම් නිකට තියෙන තැන වැරදියිනේ. නිකට ඔහෝ..ඕ..ම්ම ටිකක වමට කරල, පොඩ්ඩක් විතර දක්ෂිනාවර්තව කැරකැවීමකට බාජනය කරානං හරි. අයියෝ...ඕ... මේවගේ නස්පැත්තියක් වෙලා නෑ වෙන එහෙකටවත්. ඊලඟට බැලූ බැල්මටම පේන අවුල තමයි 'ඇහිබැම'. අනේ අම්මපා ඇත්තට ඉස්සර කාලෙ කාන්තාවො ගෙවල්වල ගොමගානව ඔයිට ලස්සනයි. ඇහිබැම ඇඳල තියෙන කැත විතරක් හ්ම්ම්ම්ම්ම්. ඇස් දෙකෙන් බලන් ඉන්න පැත්ත පො...ඩ්ඩක් විතර වෙනසක් වෙන්න ඕනි කියලත් හිතෙනව.

ඕං ඔය එහෙන් මෙහෙන් පේන කෙස් රොදවල් ටිකනම් ලස්සනට පේනව ඈ. මේවතාවෙ තමයි මට මුලින්ම ඇදුමෙ ඔය එහෙට මෙහෙට නැවිල තියෙන තැන් ටිකක් පිළිවෙලකට නවල කාරිය අඳින්න ඇහැක් උනේ. ඒ ගැනනම් හෙනටම සටුතුයි. තොප්පියේ වර්ණ ගැන්වීම පොඩ්ඩක් උසස් විදියට කලානම් තාත්විකබව පෙනේවි. ඔය තොප්පියේ අර දෙපැත්තට පිහාටු දෙකක් වගේ පෙඳි දෙකක් තියෙන්නෙ, ආං ඒකෙ තියෙන මෝස්තරේ ගන්න මට ගොඩාක් කල්පනා කරන්න උනා. මා සතුවූ සීමිත සම්පත් වලින්, තුන් හතර වතාවක් එක මත එක යම් යම් දේ කිරීමෙන් තමයි ඔය තත්වෙට එන්න පුළුවන් උනේ. ඒක හරිම වින්දනීය අද්දැකීමක් උනා. මම මේ පින්තූරෙ වැඩියෙන්ම කැමති කම්මුල් දෙකට ඊ ලඟට ඔය කීව පෙඳි දෙකට. ඔයි කම්මුල් දෙකේ මස්පිඩුවලින් එයාගෙ හිනාව ඉස්මතු කරල පෙන්වන්න මම මේ සැරේ භාවිතා කළේ 2B/3B පැන්සල්. මතක ඇතිනේ කලින් සැරේ ඉනුයගෙ පින්තූගෙ අවුල් යන්න එක හේතුවක් උනේ මම B පැන්සල්වලින් වර්ණ ගන්වන්න දන් නැති නිසානේ. ඇත්තට අම්මිගෙ පින්තූරෙටත් ඔය වැඩේම උනා. ඉතින් ඒව ඔක්කොම මකල දාල, ආයෙ HB පැන්සලෙන් තමයි අම්මිගෙ මූණෙ ඉරියව් මතුකරල ගත්තෙ. මේ සරේ මගෙ ලඟ තිබුන පින්සලක් පාවිච්චි කලා වර්ණ ගැන්වීම් කරද්දි. පින්සලේ මිනිරන්කුඩු තවරලා, කම්මුලේ මස්පිඬුවල පහළ දාරයෙන් පින්සල, කොළේට අංශක තිහක විතර ආනතියකින් පිම්බිලා තියෙන මස්පිඬු ඇතුල් පැත්තට වෙන්න පහළින් ඉහලට තෙරපපීමකට ලක් කලා කම්මුල් අඳිද්දි. මගේ උත්සාහය සාර්ථකයි නේද?

නැවතත් අපූරු මලක් අරං එන්නං. එතෙක් ඔබට ජය!



Saturday, January 23, 2016

නව වෙනි පරිච්චේදය: අපේ ආදර අම්මා


ආයුබෝවන්!


මිණිරන් පැන්සල නටවන්න අරන් මාස හතරක් පහක් වෙනව, නැටුමත් අපූරුවට කෙරීගෙන යනව, ඕං ඉතින් ඊලඟ පියවර තියන්න කාලෙ ඇවිත් දොරට තට්ට්ටු කරන්න පටන් ගත්තා. මාත් ඉතින් ආය දෙපාරක් හිත හිතා හිටියෙ නෑ කෙලින්ම වැඩේට බැස්ස. හැමදාම කරනව වගේ මම ආ...ස කරන, හොඳ ලස්...සනට හිනාවෙලා ඉන්න, හරි පැහැ...දිලි පින්තූරයක් හොයන්න ගත්ත, අනේ මේ වෙන කාවෙවත් නෙවෙයි, අපේ අම්මිගෙ. අම්මි කිව්වම කට්ටියට හිතෙයි ඇයි මේ කෙල්ල මේ වගේ තැනකදිවත් අම්ම කියන්නෙ නැත්තෙ කියල. ඒකටත් හේතුවක් තියනව. අපි අපේ අම්මට කියන්නෙ අම්මි කියල. ඔය කට්ටිය කියනවනෙ දෙමලෙන් අම්මි කියන්නෙ මිරිස් ගලටය, අම්මි කියන්න හොඳ නැතිය අනං මනං.ඉතින් හරි වැඩක් නෙවැ දවසක් මට සිද්ද උනේ. ඔය ඉන්න ගමන් මටත් හිතුනා, අම්මිට අම්ම කියල ආමන්ත්‍රණය කරන්න ඕනිය කියල. අනේ තුන් හතර වතාවකට වඩා අම්ම කියල කථා කරන්න උනෙ නෑ. බොහොම අක...මැති ස්භාවයක්  ආරූඪ කර ගෙන, දුක... හිතුන ස්වරයකින් අපේ අම්මි කිව්වෙ නැතෑ

" අනේ මටනං අම්ම කියන්න එපා" කියල. 

අම්මිට ඒකට එච්චරටම හිත රිදෙයි කියල මට හීනෙංවත් හිතුන්නෑ. අපි, අම්මි කියල කථා කරද්දි, අම්මිට දැනෙන ආදරේ දැනිල නෑ අම්ම කියද්දි. ඕං දැන් තේරෙනව නේද තියෙන බරපතළකම. කථාවෙන් කථාවෙන් කියන්ඩ ගිය එකත් අමතක වේගෙන එනව. මමමේ කිය කියා හිටියෙ කොච්චර අමාරු උනාද කියන වගනේ, පින්තූරයක් තෝරගන්න. අන්තිමේදි මේං මේ පින්තූරෙ තමයි සුදුසුකම්ලත් පින්තූරය හැටියට ඉදිරිපත් උනේ පැන්සල් වල දඟ බලන්ඩ.


දැන් ඉතින් කෙනෙක් දෝශරෝපණය කරන්ඩත් ඉඩ තියෙනව, 'බොලා මුල් පින්තූරෙ මීට ගොඩක් වෙනස්නේ' කියල. ඔව් ඒක එහෙම තමයි, මම ඇන්ඳෙ මට මනාප හැටියට. අපිට කැමරාවකින් පින්තූරයක් ගනිද්දි කරන්න බැරි දේවල් චිත්‍රයක් අඳිද්දි කරන්න පුළුවන් නොවැ, මේ එයින් එකක් විතරයි ආයුබොවන්ඩ.

මම තෝරගත්ත පින්තූරය මීට වසර තුනකට විතර උඩදි ගත්තු එකක්. නමුත් මට අම්මිගෙ මහළු වයසෙ පින්තූරයක් අඳින්න නම් මනාපයක් නෑ. තරුණ කාලෙ පින්තූරයක් අරන් බැලුවම, ඇයගෙ ස්භාවය ටිකක් වෙනස්. ඒනිසා මම උත්සාහ කලා, අම්මිගෙ දැනට තියෙන ස්වරූපයත් වෙනස් නොකර, ඇයගේ තරුණ කාලේ ලක්ෂණත් ස්මතු වෙන විදියට අඳින්නට. මම වෙනස් කරපු දේවල් තුනක් තියෙනව; ඇයගෙ කෙස් කළඹ, ඇදුම, සහ සෙවනැලි.

මේ චිත්‍රය ගැන මට ගොඩක් සතුටුයි. මම සාර්ථක උනා කියල තමයි හිතෙන්නෙ. මේක අම්මිට පෙන්නුවාම එයා ගොඩාක්ම සතුටු උනේ කොණ්ඩෙ ගැන. 

"මගේ තරුණකාලේ කොණ්ඩෙ ඒ විදියටම ඇඳලා, ඔයා කොහොමද ඒක කළේ ?"

අනේ අම්මපා අපේ අම්මි හිතන් ඉන්නෙ මට එයාව අමතකයි කියල. 

අපේ අම්මිගෙ ඇස් සාමාන්‍යයෙන් කුඩයි, හරියට මගෙයි අයියගෙයි වගේ. අම්මිගෙ ඇස්, නාසය, කණ, මුහුණ හොඳට ආව. ඒත් ඉතින් කට තමා හරියට ගන්ඩ බැරි උනේ.

"ම්ම්ම්.... කටනම් ටිකක් වෙනස් නේද?"

ඔන්න ඔහොමයි අම්මි කට ගැන කීවෙ. ඇයගෙ ඇඳුම වෙනස් කරන්න හිතුනා, ඔසරියක් වෙනුවට. අනේ මම එයාගෙ මාලෙ අඳින්න අමතක කළා. මට හිතුනා, මට ඒක ඇඳගන්න බැරිවෙයි කියල. 

කලින් වතාවකදී වගේ මේ සැරෙත් මම සරල රාමුවකින් පින්තූරය හැඩ ගැන්වූවා. මට ගොඩක් අයට කීව, රාමුවක් පින්තූරෙට හොඳ පෙනුමක් එකතු කරනව කියල. ඉඩ තියෙන විදියට පොඩි වදන් පෙළකුත් එකතුකළා. පළවෙනිම වචනයෙන් කියවෙන්නෙ අම්මිගෙ නම. අපේ අම්මී හරී....ම ආදරණීයයි, හරි කරුණාවන්තයි, එයාගෙ ඒ ගතිගුණ පිළිඹිබු වෙන විදියට, පුංචි ආශිර්වාදයකුත් එකතු කරල තමයි මේ වදන් පෙළ ලීවෙ. කොහොම නමුත් මේ නිසදැස දැක්කම  ඈ කියනව,

"ඔයා නිසදැස් විතරද ලියන්නෙ, කවි ලියන්න බැයිද ඔයාට?"


මම වැඩිහරියක් ලියන්නෙ නිසදැස්, කවිලියන්න නම් එච්චර හැකියාවක් නෑ. අමාරුවෙන් ගැටගහල කවියක් ලීව මේං මෙහෙම

කරුණාවෙන් හද පුරවන් අපෙ ආදර           අම්මා
නිති අප සුවපත් වේවා පැතුම් පැතූ           නිම්මා
ආදර බර වදන් වලින් අප සැනසූ               අම්මා
පරම ආයු ලැබ සැනසෙන් සතුටු සිතින්       අම්මා

අම්මිගෙ තියෙන අහිංසක බව ඒ විදියටම පෙන්නුම් කරන්නට නම් නොහැකි උනා මට. ඔව් මට දැන් හිතිනෙව, කෙනෙකුට කෙනෙක්ව චිත්‍රයට නගන්න අමාරු නෑ, ඒත් ඒ කෙනාගෙ තියෙන අහිංසක බව හෝ තේජාන්විත බව හෝ දරුනු බව හෝ කරුණාවන්ත බව හෝ ඒ විදියටම පෙන්නුම් කරන්නම් ටිකක් අමාරුයි කියල. 

මේ චිත්‍රයත් ඊට පෙර නිර්මාණත් ඒ දවස් වල මම පෙන්නලා තිබ්බෙ මගෙ ස්වාමියාට, එයාගෙ මවුතුමීට, පියතුමාට, මගේ මෑණියන්ට සහ අය්යගෙ දූවරුන්ට සහ බිරිඳට විතරයි. ඒ අයගෙන් ලැබුන දිරිගැන්වීම්, සන්තෝෂවීම් නිසා තමයි මේතරම් දුරකට මට එන්න වාසනාව ලැබුනේ. ඉතින් මම කැමතියි ඒ අයට මගේ හඳපිරි ස්තුතිය.

ඔන්න ඔය විදියට තමයි අම්මිගෙ චිත්‍රයේ විස්තරය නිමා වෙන්නෙ. නැවතත් සිතුවමකින් හමුවනතුරු ජයෙන් ජය!


Wednesday, January 13, 2016

අටවන පරිච්චේදය : චොන්සු උරබොනි (චා චොන් සු)


ආයුබෝවන්!


ඔබ වෙත ගෙන එන අද චිත්‍රය, 2010 වසරේ නිෂ්පාදනය වූ 'දොං ඉ', 동이 කොරියානු ටෙලි නාටක මාලාවෙන්. සිංහලට හඩ කැවූ දොං ඉ කථාව 'අභීත දියණිය' ලෙසින් ජාතික රූපවාහිනියේද 2013 වසරේදී විකාශය උනා. දාහත් වන සියසවයේ ජීවත් වූ දොං ඉ ඉතාමත් දුප්පත් සහ කුලහීන පවුලක දියණියක් ලෙසින් මෙලොව එළිය දුටුවත්, පසුකාලීනව රජතුමාගේ බිසවක් වන්නට තරම් වාසනාවන්ත වූවා. ඒ විතරක් නොව, ඇයගේ පුතණුවන් පසුකාලීනව රාජත්වයටද පත්උනා. 

දොං ඊ ගේ සහෝදරයාගේ මිතුරා වූ චා චොං සූ ගේ චරිතයයි මාගේ මේ චිත්‍රයට මූලික කර ගත්තේ. මෙම චරිතය නිරූපණය කරන්නේ ඉතමත් කඩවසම් 'බේ සු බින්', 배수빈 නම් රංගන ශිල්පියා. මුල් පින්තූරය මෙන්න මෙතනින් http://www.dramafever.com/st/img/epth/230_31.jpg . මේ පින්තූරය විශේෂයෙන් මා තෝරා ගනු ලැබුවේ, එහි ඇති ගුණාත්මක භාවය නිසයි.





මේ වතාවේදී මා සාර්ථක වූවා යැයි මට හැගෙයි. මුහුණ සහ තොප්පිය මට අපූරුවට සිතුවම් කර ගන්ඩ පුළුවන් උනා. 

චීන චිත්‍ර කලාවෙ, 'හිස් අවකාශ' වලට ලොකු තැනක් දෙනව. එයාල හිස් අවකාශ භාවිතා කරනව, චිත්‍රයේ තමුන්ට අවශ්‍ය කොටස් ස්මතු කරන්න. ඒ වගේම සරල බව රැක ගන්නත් ඔවුන්ට එයින් හැකි වනවා.  මම සරල බව කියල අදහස් කලේ, කොලේ හැම තැනම අතුරක් නෑර අඳින්නේ නැතුව, සැලසුම් සහගතව, තැන තැන හිස්තැන් එක්ක රූප නිවරදිව ස්ථානගත කිරීමට.  මම මේ කලාව අකුරු කෙරුවෙ චීන චිත්‍ර කලාවට තිබ්බ ඉහවහ ගිය ආසාව නිසානෙ. ඉතින් ආයුබෝවන්ඩ, මයෙ චිත්‍තර වල එයාලගෙ ක්‍රමවේදත් අන්තර්ගතයි. ඕං ඔහොමයි මම චොන්සු ගෙ රූපෙ වටින් කොලේ සුදුවට තිව්ව එක සාධාරණීකරණය  කරන්නෙ.

කලින් පින්තූරයකදි අලුතින් අතගැසූ මුල් පින්තූරයේ නැති කොටසක් අලුතින් එකතුකිරීමේ ක්‍රියාවලියට ආයි පණ දෙන්න හිතන්, මුල් පින්තූරයෙන් ගිලිහී ගිය ආරක්ෂක ඇඳුමේ ලස්සනම අංගයක් වෙච්චි හිස් ආවරණයේ ඉහල කොටස ප්‍රතිනිර්මාණය කළා. හිස් ආවරණයේ ඉහලම කොටස කොලේ උඩටම වෙන්න එන විදියට චිත්‍රය ස්ථානගත කලා. වම් පැත්ත බලන් ඉන්න නිසා, පින්තූරෙ වම් පැත්තෙන් ඉඩ තිබ්බා.

හිස් ආවරණයේ විචිත්‍රත්වය මැනවින් ඉහළ දමන එහි බඳ වටා යන ලණු පොට සිතුව්ම් කරන්න බොහෝම වෙලාවක් ගත කොරන්ඩ සිද්ද උනා. එහි හැඩය ගන්න විසි තිස් වතාවක් උත්සාහ කරන්ඩ උනා. ඔය විදියට බලන කොට, අනිත් කොටස් සියල්ල සිතුවම් කරන්න ගිය කාලෙට වඩා වැඩි වෙලාවක් ගියා ඒකට මයෙ හිතේ. හිස් වැසුමේ තියන මගේ සිත් ගත් ඊලඟ අංගය තමයි ඇට මාලය. තියෙනාකාරයටම ඇඳ ගන්ඩ බැරි උනත් ඕං ඒකත් යම්තාක් හොඳට ආව කියල හිතෙනව. දරුණු කුණාටුවකටවත් හිසෙන් තොප්පිය වෙන්වී නොයන පරිදි හිසට තබා තොප්පිය ගැට ගසන පටිය නිසා ඕං චොන් සුගෙ මූණ තිමානව පේනව.

ඇඳුම ඇඳල ඉවර කරන්න පුදුම හදිස්සියක් නේ මට තිබ්බෙ. ඒ හින්ද ඒකනම් එච්චර ලස්සනට ආවෙ නෑ බොලං.

මා ඉගනගත් දේ:

  • මුල් පින්තූරයේ ඉහලින් කැපී ගොස් තිබූ තොප්පිය සම්පූර්ණ කිරීම
  • පින්තූරය ස්ථානගත කිරීම
  • ඇස්, ඇහිබැම ත්‍රිමානත්වයෙන් යුතුව සිතුවම් කිරීම
  • නාසය, කට සහ නිකට තාත්ත්වික ලෙසින් සිතුවම් කිරීම
  • මාල පොට

අපහසුතා:

  • හිස් ආවරණයේ ඇති ලණු සැරසිල්ල

අඩුපාඩු:

  • මුහුණේ මස්පිඩු පිහිටා ඇති විදිය නිරූපණය වෙලා නැහැ නොවැ
  • ඇඳුම තාත්වික මදි වගේ

ඔන්න ඔය විදියට තමයි චොං සු ගෙ සිතුවම නිමා වෙන්නේ. ඊලගට පිපෙන්නෙ ඉතා සුවිශේෂී මලක්. 
ලස්සන දවස් ගොඩාක් උදාවේවා  හැමෝටම !

Saturday, January 9, 2016

හත: කං ඉන් උ

ආයුබෝවන්!


ග්වංහේ කථාවෙ ජුංමියොං කුමරියට ආදරය කරපු යාලුවෝ දෙන්නගෙන්, කලින් සැරේ පිපී හිනැහුණේ 'හොං ජු උන්' නොහොත් ක්‍යුරි දාරි නෙ. ඔන්න අද පිනෙන්නෙ අනිත් ආදරවන්තයා, 'කන් ඉන් උ'( ඉනුය), මේ කථාවෙ මම ආසම චරිතය. 'හන් සු වොන්' රංගන ශිල්පියා තමයි රංගනයෙන් දායකත්ව ලබා දෙන්නෙ.  උත්තර නැති ප්‍රශ්න රාශියක මැදි උන, ඉතා අපහසු තීරණ වලින් පිරි ජීවිතය ගත් කරනපු, ඉනුයගෙ හිනා වෙච්ච්ච පින්තූරයක් හොයා ගන්න එක නම් ලේසි උනේ නෑ. අන්තිමේදි මේක
https://i.ytimg.com/vi/im18TWCAHUQ/maxresdefault.jpg තමයි තෝර ගත්තෙ.


නහය ගැන නම් සතුටුයි, අනිත් ටික ගැන තමා දුක. ඉනුයගෙ තියෙන අහිංසක කම, එයගෙ සිරියාව මගේ චිත්‍රයෙන් පෙන්නුම් කරන්නෙ, පිටි ගෝනියක් මූණෙ හලා ගත්ත ගල් බූතයෙක් ඔරවන් ඉන්නව වගේ. මෙයා තමයි මට කාලයක් තිස්සෙ අඳින්න ඕනි උනේ, අන්තිමේදි මෙයාගෙම එකට හෙන්හුරා පාත් උනානි. මෙන්න මෙහෙමවත් කියල යාමෙ බේරගමු; මේ චිත්‍රයේදි මම මුල්ම වතාවට B2 පැන්සල භාවිතා කළේ වර්ණ ගන්වන්න, කලින් ගත්තෙ HB පැන්සල. ඒක හසුරුවන්න මාර ගේමක් දුන්නෙ, අන්තිමෙර්දි මට එපා උනා.

මම සතුටු දේ:

  • සතුටු වෙන්න දෙයක් නැති තරම්, නහය ගැනවත් සතුටුයි කියල කියමුකො
  • කෙස්ස ගැනත් සතුටුයි කියල දාමු
  • මේ පින්තූරෙ ඇඳල ඉවර කළ එක ගැන? ඒ ගැනත් සතුටුයි

අපහසුතා:

  • මුහුණේ ඉරියව් මතුකරන්න ගිහිල්ලා තමයි නා ගත්තෙ (2B පැන්සල බාවිතය)

අඩුපාඩු: මේව නම් තියෙනව අඩුවක් නැතිව

  • ඉනුයගෙ නියම ස්වරූපය නිරූපණය වෙලා නැහැ
  • කට තව ටිකක් පළල් වෙන්ඩ ඕනා
  • ඉනුයගෙ මද සිනාව මුහුණේ ඉරියව් වලින් පිළිඹිබු වෙලා නැහැ
  • ඇස් වල ත්‍රිමානත්වය හොඳටම මදි
  • ඇහිබැම වලිනුත් ත්‍රිමානබව මැකිලා ගිහිල්ලා 
  • කටට පහළ කොටස සහ නිකට නිරූපණය වෙලා තියනව වැරදියි 
  • හිසපටියෙ පොඩි ගතියක් තියෙනව, ඒත් පොඩි අවුලකුත් තියෙනව
  • එයාගෙ කනට පිටුපසින්, හිසේ යට කොටසෙ තියෙන කොණ්ඩෙ ටික අඳින්න අමතකම වෙලා ගිහින්
  • මුහුණට සාපේක්ෂකව කන අඳුරු වැඩියි 
  • රූපයේ වම් පැත්තෙ ඇදුම ටිකක් අවුල් වගේ
  • ඉනුය ඇදුම් කීපයක් ඇඳගෙන ඉන්නෙ, මගේ පින්තූරයේ ඒව වෙන වෙනම අදුරන්න බැහැ

තව අඩුපාඩු තියෙන, ඒවත් හොයල කියන්ඩ හොදේ.

මට අන්තිමේදි දුකයි. කලින් එක හොඳට ඇන්ඳා, මේකට මොකද උනේ කියල. වරදින්න වරදින්නනේ, දුර්වලතා අදුර ගන්න හැකි වෙන්නෙ. මේ පින්තුරෙදි මම ගොඩක් කලබල උනා, මම හිතා ගත්තා හිමීට නිදහසේ වෙලාව අරගෙන, ලස්සනට ඊලග එකනම් අඳිනව කියල. 

බලන්ඩකෝ මම ඊලග එකේදී වැරදි අඩුපාඩු හදාගෙනද, නැත්නම් තවත් දුර්වල වෙලාද කියල. 

ජය වේවා!

Sunday, January 3, 2016

හයවැනි පරිච්ඡේදය: ක්‍යුරි දාරී ( හොං ජූ වොන්)


ආයුබෝවන්!


කලින් පින්තූරය ගත්ත 2014 දි නිකුත් වෙච්ච  'ද කිංස් ෆේස් ' කථාව ඉවර උනු තැනින් (ග්වංහේ කුමාරයා රජ උනු තැනින්) 2015 පටන් ගත්ත 'හ්වාජොං', 화정, කතාවයි අපි මේ චිත්‍රය අඳින දවස් වල බල බලා හිටියෙ. මේ කථා දෙක සීයට සීයක්ම එකවගේ නැති උනත් සීයට අනූපහක්ම එකවගේ. ග්වංහේ  කුමාරයා රජ වෙන තැනින් පටන් ගන්න මේ කථව,  එයාගෙ නංගි, ' ජුංමියොං කුමරිය ' වටා තමයි ගෙතෙන්නෙ. මේ කතාවෙන් මුලින්ම ඇන්ඳෙ ' හොං ජු වොන් ', ජුංමියොං කුමරියට පෙම් බැඳි යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ, චරිතය. මේ චරිතය රග දක්වන්නෙ විසිදෙහැවිදිරි ' සො කං ජුන් ', 서강준. මෙන්න මේක http://4.bp.blogspot.com/-aLxD_9Q_G8c/VVLnuO-FWzI/AAAAAAAAGdU/rONFGDKLhOE/s400/%ED%99%94%EC%A0%95.E10.150512.HDTV.H264.720p-WITH.mp4_20150513_145659.179.jpg තමයි මම ඇන්ඳෙ, මම මේක තෝර ගත්තෙ ඒක හරිම පැහැදිලි එකක් නිසා.


මට සිත්වුනේ, කියුරි නාරිගෙ ( හොං ජූ වොන්ගෙ) මූණ පුළුවන් තරන් ලොකුවට අඳින්න, තොප්පිය ඉහලින්, වමෙන්, දකුණෙන් කැපුනත් ඒකයි මේ තරම්ම ලොකු කළේ. මූණ ටිකක ලොකු නිසා සරල රාමුවකුත් එකතුකරා. මොකද හිත්න්නෙ, රාමුව හොඳද? අයින් කරන්නද? 

මුහුණේ ත්‍රිමාන බව අර ගත්තේ මිනිරන් කුඩු ඇගිල්ලේ තවරලා අදුරු තැන්වල ආලේප කරල. සමහර අවස්ථාවලදි මිනිරන් කුඩු පේපර් සවියට් එකක තවරලා ඒක පාවිච්චි කලා ඇගිල්ල වෙනුවට. තව දෙයක්, පාට කරද්දි ඉහල ඉදල පටන් ගෙන පහලට පාට කරගෙන එන්න පුරුදු උනා, මගෙ මහත්තයගෙ අනුදැනුම පරිදි.

මට සතුටු දේ:

  • සමස්ථයක් වශයෙන් මුලු පින්තුරෙම මුල් පින්තූරයත් එක්ක ගැලපෙනව
  • ඇස්, ඇහි බැම, නාසය, කට, කම්මුල්, කන, හිසේ බැදි පටිය, සහ බෙල්ල ත්‍රිමාන බවිත් යුක්තයි
  • මුහුණේ අවයව සියල්ලම ගැන සතුටුයි

අඩුපාඩු:

  • ඇදුම: ඇදුමේ නැවුම් හරියට ඇවිත් නැහැ
  • තොප්පිය සම්පූර්ණයෙන්ම තිබුනා නම් හොඳයි
  • තොප්පිය ත්‍රිමානත්වය පේන්නෙ නැහැ
  • බෙල්ලත් ඇදුමත් වෙන් වෙන තැන අඩුපාඩු ටිකක් තියෙනව 
මම හිතනව මුල් පින්තූරයට මම උපරිම සාධාරණයක් කළා කියල. මම ගොඩාක් සතුටු සිතුවමක් මේක. මම ගොඩාක් දේ ඉගන ගත්තා. මුල් පින්තූරයේ පැහැදිලි  බව ඉහල නම් මගේ සිතුවමේ තත්වයත් ඉහලයි කියල තේරුම් ගත්තා.

ඔන්න ඔය විදියට තමයි මල් ටික පිපීගෙන යන්නෙ, අපූරුවට. එහෙම පිපෙන මල් ටික මට හංගගෙන්න හිතෙනව අප්පා, පෙට්ටගමක දාල කාමරේ මුල්ලක. මොකෝ මේව්ව බලන්න කවුරු එනවද, මේව ගැන මොනව හිතනවද, මම දුක් මහන්සියෙන් ලියන එව්ව කියෝනවද, නැත්තං පින්තූරෙ විතරක් බලල යනෝද,  'මේ මොකද්ද මේ' කියල මට පලු යන්න බනිනවද, කියල මම හාංකවිස්සියක්වත් දන්න එකක්‍ යැ. එක්කෝ මේව කැතයි කියල මූණට කියන්න බැරි කමක්ද? නැත්තං මේව කියවන්ඩ, මොනා හරි කියන්ඩ වෙලාවක් නැතුව වද්ද? මේ මල් එළියට දන්ඩ මෙච්චර මහන්සි වෙන එක අතෑරල දාල, තව මලක් පුප්පන්න ගත්ත නම් හොඳයි කියල දැන්නම් හිතෙනව.

ඔය ඒකෙන් මේකෙන් කමක් නෑ, අලුත් අවුරුද්ද කාට කාටත් සුභ වෙන්ඩ ඕනා! සාමයෙන්, සතුටෙන්, සැහැල්ලුන් ඉන්ඩ ඕනා!