Thursday, December 31, 2015

පස්වෙනි පරිච්ඡේදය: ග්වංහේ

සුභ නව වසරක් වේවා!


මගේ ඊලඟ චිත්‍රය සඳහා මම තෝර ගත්තෙ 'ද කිංස් ෆේස්', 왕의 얼굴, ටෙලි නාට්‍ය මාලාවේ ග්වංහේ ගේ චරිතයයි. මේ චරිතයට පණ පොවන්නේ සො ඉන් ගුක්, 서인국, රංගන ශිල්පියා. සොඉන් ගෙ රූප ස්භාවය එක එක වෙලාවට එක එක විදියයි. ඒ නිසා අඳින්න හොඳ පින්තූරයක් හොයාගන්න ටිකක් මහන්සි වෙන්න උනා. අන්තිමේදි මෙම මේක https://0.viki.io/videos/1059390v/1059390v_1501220445_1.jpg?x=b&s=590x330&q=h&e=t&f=t&cb=1 තමයි තෝර ගත්තෙ.


මේකත් කලින් සැරේ වගේම පාට සහිත, රහිත විදියට දෙකක් ඇන්ඳා, මොකද පාට කරන එකත් පුරුදු වෙන්න එපැයි. මුල් පින්තූරයේ තොප්පිය  කොටසයි තිබුන. තොප්පියේ උඩ කොටසත් එකතු කරල, පින්තූරය ඇන්ඳෙ, කඩදාසියේ දකුණට වෙන්න, මොකද එයා බලන් ඉන්නෙ වම් පැත්තනෙ. මේ විදියට නිවරදි ස්තාන ගත කිරීමෙන් සිතුවමේ අගය ඉහල මට්ටමකට ගන්න පුළුවන්. මට මතක විදියට මේ කාලෙ වෙනකොට මම පැන්සලෙන් දිග මනින එක අතෑරල, රූල පාවිච්චියට ගත්තා. පැත්ත බලන් ඉන්න රූපයක් නිසා මූලික රේඛා සටහන් කරන එකත් ටිකක් විධිමත් කරන්න උනා. පළමුව, සොඉන් බලන් ඉන්න පැත්තට අනුරූපව මුහුණේ හරි මැදින් සිරස් රේඛාවක්ද; දෙවනුව, ඇහි බැමි අසලින් නළල ( අපි මොට්ටු තියන තැන) සහ නහයේ අගින් යන ඇල රේඛාවක්ද; තෙවනුව, නහය අග සහ මුව මැදින් යන තවත් ඇල රේඛාවක්ද, ත්‍රිකෝණයක් සෑදෙන පරිදි ලකුණු කළා. මෙමඟින් අපිට පුළුවන් මුහුණේ අවයවය එහෙට මෙහෙට ඇද නොවී ඉතාමත පහසුවෙන් ස්ථානගත කරන්නට. මේක මමම හොයාගත්තෙ, මගේම ක්‍රමයක්. මම මගේ දොළොස් වෙනි චිත්‍රය වෙනකං අන්තර්ජාලයෙන්වත්, යාළුවෙක්ගෙන්වත්, හෝ වෙනයම් ක්‍රමයකින් කිසිම උද්වුවක් අරගෙන නෑ,  මුල්ම දවස් වල මම ඉගන ගත්ත චිත්‍ර අඳින පියවර ටික ගැන අදහසක් ගත්තු එක ඇරෙන්නට. ඊලගට,  මුහුණේ පළල ගැන අදහසක් ගන්න මම මධ්‍ය රේඛාවට ලම්බකව තිරස් රේඛා දෙකක් ලකුණු කළා, එකක් නළලේ මොට්ටු තියන හරියෙන්, අනික නාසයේ අග හරියෙන්. මේ විස්තර සහිත රූප දොළොස් වෙනි පරිච්ඡේදයේදි ඔබ වෙත දිග හැරෙනව.

මම ඉගනගත් දේ:
  • පැත්ත බලන් ඉන්න රූපයක නිවරදිව අවයව ස්ථාන ගත කිරීමට
  • ඇහි බැම, කෙන්දෙන් කෙන්ද වෙන වෙනම අඳින විට සිතුවමට ගෙන එන අලංකාරය
  • කන අන්ඳින්න, වර්ණ ගැන්වීමය
  • නාසය 
  • කට, වර්ණ ගැන්වීමට
  • මුල් රූපයේ නැති කොටසක් සිතුවමට එක් කිරීමට
  • බෙල්ල, වර්ණ ගැන්වීමට
  • ත්‍රිමාන බව
  • පිටත ඇඳුමයි ඇතුල් ඇඳුමයි වෙන් කරල අඳුර ගන්න පුළුවන් 

මම සතුටු:

  • නාසය, ඇහිබැම, කන
  • සමස්තයක් වශයෙන් මුලු පින්තූරයටම කැමතියි

අපසසුතා:

  • තොප්පියේ ඉහල කොටස ( මුල් රූපයේ නැති කොටස) අඳින්න ගොඩාක් උත්සහ කරන්න උනා, සාර්ථකද මන්ද? 
  • කම්මුල හරියෙ පාට තවරන්න ටිකක් අමාරු උනා

අඩුපාඩු:

  • තොප්පියේ ඉහල කොටස ඇදයි
  • මුල් රූපට වඩා පෙනුම ටිකක් වෙනස් වගේ. මූණ ටිකක් විතර රවුම් වැඩියි වගේ
  • සොඉන් ගෙ දකුණු ඇහේ බෝලෙ (කලු රවුම) හැරවිලා තියෙන පැත්ත වැරදියි වගේ
  • ඇස් දෙකත් එක්ක බලද්දී කට පොඩ්ඩක් ඇදයි වගේ


මගෙ නැන්දම්මාගෙන් සහ අම්මීගෙන් මට ලැබුනු දිරිමත් කිරීම් සහ සතුටු වීම හේතු උනා මේ තරම් දුර එන්නට. එයාලට ස්තුතිවන්ත  වේවා!

අදට ඔය ඇති. ආයෙත් හමුවෙනකං, නැවත්ත් සුභ පතනව නව වසරට කිරියෙන් පැණියන් උතුරන්න කියල!

හතර: ජොං යුං හුවා

ආමග

මම චිත්‍ර අඳින්න පටන් ගත්තෙ නිදහසේ ඇඳීමන්. දෙව්නුව, මම තීරණය  කළා මම කැමතිම වර්ගයේ චිත්‍ර වලින් ඇඳිම් කරන්න පටන් ගන්න ඕනි කියල. සිනා මුසු මිනිස් මුහුණු පින්තාරු කරන්නයි මම ආස උනේ. මම තෝරගත්ත හැම එකක්ම සිනාවෙන් සැරසුන, මම ගොඩාක් ආදරේ කරන කෙනෙකුගෙ පින්තූරයක්. තෙවනුව, මම තේරුම්ගත්තා කාන්තා රූප අඳින්න අමාරුයි කියල, ඒ නිසා පිරිමි රූප අඳින්න පටන් ගත්තා. ඒ වගේම සැලසුම් සහගත විය යුතු බවත් තේරුණා. මුලින් ආධාරක රේඛා, දෙවනුව රූපයේ කටු සටහනක්, තෙවනුව පින්තූර මතු කිරීම්, සහ සිවුවෙනුව වර්ණ ගැන්වීම් වශයෙන් පියවරින් පියවර ඉදිරියට යන්න ඕනි. මුල් පින්තූරය එකට එක පරිමාණයට අඳින එක වංචාකාරී වගේ, ඒ නිසා පරිමාණය වෙනස් කළා, හැම වෙලේම ටිකක ලොකු කරල තමයි ඇන්ඳෙ. රූලක් භාවිතා කළේ නෑ දුර මනින්න, පැන්සල තමයි පාවිච්චි කලේ, අපි ඉන්ජිනේරු නිදසහ් අතින් ඇඳීම් ( engineering free hand sketching ) කරන කාලෙ වගේ. මගේ ලඟ තිබුන HB, 2B පැන්සල් තමයි මම දිගටම භාවිතා කළේ.

මේ මූලික කරුණු ටික මට නැවත මතක් කරන්න හිතුනේ,  අපි යම්කිසි කර්තව්‍යයක් කරන විට ඒ කර්තව්‍යයටආදරේ වීමත්, සරල තැනින් පටන් ගැනීමත්, තමා සතු දැනට තියන සම්පත් වලින් පටන් ගැනීමත්, සැලසුම් සහගත බවත්, නිතරම ඉදිරියට යාමට ඇති දැඩි උත්සහයත්, ඉදිරියට යන හැම පියවරකදිම අපගේ වැඩිදියුණුවීම් සහ අඩුපාඩු හදුනා ගැනීමත්, සාර්ථකවීම් පිළිබඳ සතුටු වීමත් අපි ඒ කාර්‍යයේ අති දක්ෂයින් කරවනවා යන්න අත්දැකීමෙන් මා උගත් බව ගෙන හැර දක්වන්නටයි.

අද පින්තූරය: ජොං හුවා

මගේ ඊ ලඟ පින්තූරයට පාදක කර ගත්තෙ සම් චොං සා ( three musketeers, 삼총사 ) කථාවෙ පග් දර් හ්‍යොං චරිතය නිරූපනය කළ ජොං හුවා, 정용화,  නම් රංගන ශිල්පියා, ගායකයා. මුල් පින්තූරය මෙතනින්  https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhfthp9sp5Te32-ClUxmxhz22F4arRXW9OJRNVKQfu60vG8gZlzEPULt-ialdO-lrKK0QSDoOcnAiCMkrKhJWrwFX1DN8rtNt2nKT4iPmfSBb1CuJVSL0TbN2UhPE1BvBCO9BFaPz6B0XQ/s1600/3kKKN7x.jpg බලන්න.
ජොං හුවා කියන්නේ හරිම ලස්සන නළුවෙක් වගේම, දක්ෂ ගායකයෙක්. මම ගොඩාක් කැමති කෙනක්.


කලින් පින්තූර තුනම ඉදිරිය බලන් ඉන්න ඒව. ඒ නිසා මට හිතුනා පැත්තක් බලන් ඉන්න එකක් අඳින්නත් පුරුදු වෙන්න ඕනි කියල. ඊ ලග පියවර විදියට මට මුහුණේ ඉරියව් උලුප්පා ගන්න ඕනි උනා, මම හිතුව පාට වලින් පාට කළා නම් හරි කියල. ඒ නිසා, මම මුලින් පැන්සලින් ඇඳපු පින්තූරය පැන්සලින් වර්ණ ගන්වන්න කලින් ඒකෙ පිට්ටපතක් අරගෙන් පිටපත පාට පැන්සල් වලින් පාට කළා, ඊට පස්සෙ මුල් පිටපත පැන්සලෙන් පාට කළා. පාට කරද්දි, මම පැන්සල තුල් කරන විට එකතුවෙන කුඩු ඇගිලේ තවරලා අඳුරු පැහැතැන් මත ක්‍රමානුකූලව ආලේප කළා.


ඉගන ගත් දේ:

  • පැත්ත බලන් ඉන්න පින්තූරයක් සිතුවම් කරන්න 
  • මිනිරන් කුඩු වලින් මුහුණ වර්ණ ගන්වන්න
  • පාට වලින් පාට කරන්න
  • ත්‍රිමානබව ගන්න

මට සතුටු:

  • ඇස්, ඇහි බැම
  • තොප්පිය: ප්‍රමාණය, හැඩය, වර්ණ, තොප්පියේ පටිය, මාලය සහ පිහාටු සහිත කොටස
  • මුහුණේ, ශරීරයේ සහ තොප්පියේ ත්‍රිමානත්වය 

අපහසුතා:

  • වර්ණ වලින් වර්ණ ගැන්වීමේදී ජොං හුවාගේ පිටත ඇඳුම (තද  නිල් පාට ඇඳුම ) වර්ණ ගැන්වීම. මේ ඇඳුම නැමීම් ඇති තැන්, ඒ අයුරින්ම ගන්න බැරි උනා.

අඩුපාඩු:

  • නහය අග කොටස ඇදයි
  • බඳ පටියේ ඇති ගාංචුව පට්ට කැතයි
මගේ මේ චිත්‍රය මුල් පින්තූරයට බෙහෙවින්ම සමානයි. ගොඩාක් අඩුපාඩු තියෙනව තමයි, ඒත් ජොං හුවාගෙ ස්භාවය නිවරිදිව පිළිඹිබු වෙනව කියල හිතෙනවා. මට මේ පින්තූරෙ ගැනත් ගොඩාක් සතුටුයි. ඊ ලඟ පින්තූරෙන් හමු වෙනතුරු සොදුරු දිනක්!

Monday, December 28, 2015

තුන්වැන්න: වොනා

මම කාලෙකට ඉහත නැරඹූ 'ද මූන් එම්බේසිං ද සන්', 해를 품은 달, නාට්‍ය මාලාවේ රජතුමාගේ පෞද්ගලික ආරක්ෂක වොනාගෙ චරිතය තමයි  මගේ ඊලග ඉලක්කය උනේ. මුල් පින්තූරය මෙතනින් http://www.soompi.com/wp-content/uploads/w/m/aj/492008/492008.jpg බලන්න. මේ චරිතය නිරූපනය කරන්නේ රංගන ශිල්පී සොන් චේ රිම් (송재림 ). 


හිස බැදි පටයේ ත්‍රිමාන බව පැහැදිලියි. ඇහි බැමත් සාර්ථකයි කියල හිතනව, මොකද ඇහි බැමෙ ත්‍රිමාන බව පෙන්වනවා. තොප්පිය ගැන නම් ගොඩක්ම සතුටුයි. තොප්පියේ පටියෙන් මුහුණේ ත්‍රිමාන ස්භාවය පෙනෙනවා. එයාගෙ තොප්පිය හරිම ලස්සනයි. ඒ තොපියෙනුයි එයාගෙ හමුදා ඇඳුමෙනුයි පුදුම ලස්සනක් එකතු කරනවා එයාගෙ මුහුණට. මම ගොඩාක් ආදරේ කරන චරිතයක් තමයි වොනාගෙ චරිතය. කොහොම නමුත් මුල් පින්තූරයත් සමග සසඳා බලන විට එයාගෙ මුහුණෙ තියන සිරියාව මගේ පින්තූරයේ පිළිඹිබු වෙලා නම් නැහැ, ඒත් මම මේ පින්තූරයෙන් ඉගන ගත් දේ බොහොමයි. 

ඉගන ගත් දේ:

  • ඇස්, ඇහි බැම, සහ මුව සිතුවම් කිරීම
  • තොප්පිය සාර්ථකයි කියල හිතනවා

අපහසුතා:

  • තොප්පියේ හැඩය
  • තොප්පිය සහ ඇඳුම වර්ණ ගැන් වීම්

අඩුපාඩු:

  • මුහුණේ ඉරියව් නිරූපනය වෙලා නැහැ
  • නාසයේ මුල අපැහැදිලියි
  • හිස පටියේ සහ තොප්පියේ ඇති කැටයම් අපැහැදිලියි
තොප්පියේ ඉලිප්සියාකාර හැඩය ගන්න ලොකු ගේමක් දෙන්න උනා. ඊලගට අමාරුවේ වැටුනෙ එයාගෙ ඇඳුමේ වර්ණ තවරන්න ගිහිලා. මේ කාලෙ වන විට මට තේරුමක් තිබුණෙ නෑ පින්තූරෙ පාට කරන්නෙ කොහොමද කියලා. ඒ වගේම මට ඉවසිල්ලක් තිබුනෙ නෑ මේක ඉවර වෙනකල්, ඒ නිසා අන්තිම ටික ඔහේ ඇදල දැම්ම. එච්චර තමයි වොනාගෙ පින්තූරය ගැන කියන්න තියෙන්නෙ. නැවත් හමු වෙන තෙක් ඔබට ජය!


Sunday, December 27, 2015

දෙවැන්න: යූ නෝ යුන් හො

මගේ දෙවැනි සිතුවමත් ' ඩයරි ඔෆ් ද නයිට් වොච්මන්' කථාවෙන්ම තමයි. මේ සැරේ මම ඇන්ඳෙ නයිට් වොච්මන් කෙනෙක් වූ 'මූ ස්යොක්' ගේ චරිතය. මේ චරිතය නිරූපනය කරන්නේ යූ නෝ යුන් හො (유노윤호), මම තවත් ගොඩාක් කැමති නළුවෙක්. මේ තියෙන්නේ මම ඇඳපු සිතුවම ( මුල් පින්තූරය මෙතනින් බලන්න https://i.ytimg.com/vi/iGW9EryJ-w4/maxresdefault.jpg  ).
කලින් පින්තූරය අඳින්න පටන් ගත් ආකාරයටම තමයි මේ පින්තූරයත් පටන් ගත්තෙ. යුන් හො ගෙ මුල් පින්තූරයේ පරිමාණය වෙනස්  කරල, මුලින්ම මැදි ඉර ලකුණු කරල, ඒ ඉර මත ඇහි බැම හරියෙන් නළල, නාසයේ අග, කට, නිකට, සහ හිස් මුදුන ලකුණු කළා, මුහුණේ හරස් අතට නළල, නහය, සහ කට ලගින් දුරත් ලකුණු කළා. දෙවනුව මුලු සිතුවමම කටුවට ලකුණු කලා, මෙතනනදි එක් එක් අවයවය, හිස පටිය, කොණ්ඩය එකිනෙක හා සසඳමින් ස්ථාන ගත කලා. ඊ ලඟට මුහුණ වට, අස්, නාසය, කට, කන්, සහ ඇඳුම පැහැදිලිව මතු කරල අරගත්තා.  අන්තිමේදි හැඩතල ස්මතු වෙන විදියට ආලෝකමත් සහ අදුරු තැන් වර්ණ ගැන්නුවා. මේ පින්තූරය දවස් දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත නිමා කරන්නට මට පුළුවන් උනා. මම ඉමහත් ප්‍රීතියකට පත් පත් උනා. මගේ උත්සාය සාර්ථකයි. මම අදටත් යුන් හො ගෙ පින්තූරට ගොඩාක් ආදරෙයි.

මම ඉගන ගත් දේ:
  • ක්‍රමානුකූල බව (චිත්‍ර ඇඳීමේ මූලික පියවර හදුනා ගැනීම )
  • සිනා මුසු මුව සිත්තම් කිරීම
  • ඇස, ඇහි බැම
  • ත්‍රිමානත්වය (බෙල්ල, නිකට )
  • නැවුම් සහිත ඇඳුම
අඩුපාඩු:
  • මුහුණට සාපේක්ෂකව හිස වීම
  • එක් කනක් ලොකු වීම
  • හිසේ ඉහළ කොටස පුළුල් මද බව
  • හිසේ බැදි පටිය තාත්ත්වික මදි
  • නාසයේ හැඩය 
මුල් පින්තූරයේ ස්භාවය සහ හැඩ රුව මා ඇඳි පින්තූරයෙන් මම දැක්කා, එනිසා මම ගොඩාක් සතුටු උනා ඒ වගෙම තව දුරටත් චිත්‍ර අඳින්න මම දිරිමත් උනා. මගේ ඊලග චිත්‍රයෙන් හමු වෙන තුරු සියලු දෙනාටම සුභ දවසක්.

Friday, December 25, 2015

පළමු පරිච්ඡේද: ආරම්භය


මේ අවුරුද්දේ ජුනි මාසයේ මම ආශාවෙන් නැරඹූ ' ඩයරි ඔෆ් අ නයිට් වොච්මන් ' (야경꾼일지 ) කොරියානු ටෙලි නාට්‍ය මාලාවේ ප්‍රධන චරිතය, ලී රින්, නිරූපනය කල ජුං ඉල් වෝ (정일우 ) ගෙ රූපයක් සිතුවම් කරන්න හිතුණා. අන්තර්ජාලයෙන්රූපයක්  පීරද්දි, කෙලින් බලාගෙන ඉන්න එකක්ම මම හොයා ගත්තා. මොකද කලින් සැරේ පැත්ත බලන් ඉන්න එකක් අදින්න ගිහින්නෙ නා ගත්තෙ. පුළුවන් තරම් සරල තැනින් තමයි පටන් ගන්න ඔනි. මේ පහතින් තියෙන්නෙ මගේ චිත්‍රය ( මුල් පින්තූරය මෙතැනින් බලන්න http://forums.soompi.com/en/topic/342798-drama-2014-journal-of-the-night-watchmen-%EC%95%BC%EA%B2%BD%EA%BE%BC-%EC%9D%BC%EC%A7%80/?page=19 ).

මේ පින්තූරය  අදින්න මම පටන් ගත්තෙ මුලින්ම මැද ඉර ලකුණු  කරල. ඊ ලගට මම නළල, නහය, කට, තයෙන තැන් ටික ලකුණු කරගත්තා. ඒ වගේම හිස මුදුන, නිකටත් තියන තැන් ලකුණු කළා. මම දුර මනින්න කෝදුවක් භාවිතා කළේ නෑ. පැන්සලින්, හිතේ මිම්මට තමයි ගත්තෙ.

මම ඉගන ගත් දේ:
  •  මුහුණේ හැඩය 
  • අවයව ස්ථානගත කිරීම 
  • අතේ ඇගිලි 
  • ඇදුම (නැවුම් සහිතව )
දුෂ්කරතා
  • දත් සහිත මුඛය 
අඩුපාඩු 
  • මුහුණට සාපේක්ෂකව හිස කුඩා වීම ( සිරස් අතට)
  • මුඛයේ හැඩයේ සහ ප්‍රමාණයයේ වෙනස්වීම්
  • වම් අත තාත්ත්වික නොවීම
  • මුහුණේ ඉරියව් මතු නොවීම
  • බලා සිටිනා දිශාවේ නොගැලපීම්
  • කන් දෙක අපැහැදිලියි
  • ජුන් ඉල් වො ගෙ මුල් පින්තූරයේ තියෙන සිරියාව සිතුවමේ නොමැතිවීම
මේ චිත්‍රයේ කට අදින්න තමයි මට ගොඩක්ම වෙලාව ගියේ. කීප වතාවක් මක මක ඇඳපු නිසා, මකල ඉවත් කරන්න බැරි  ලෙස කට ලග කලු උනා. ඒ නිසා  මට අන්තිමේදි දත් ටික සුදු කර ගන්න බැරි උනා.

ප්‍රවේශය

ආයුබෝවන් !

මූලික සිතුවම් කිහිපයකට පසු මිනිස් මුහුණු සිතුවම් කිරීම ආරම්භ කලා. මම අන්තර්ජාලයෙන් ලස්සන කාන්තාවකගේ පින්තූරයක් බා ගත කරගෙන, එය බලාගෙන පිටපත් කරන්නට වෑයම් කලා. මට ඕනෑ වුනේ ඒ පින්තූරය ඒ විදියටම අදින්න, එත් මම සති ගානක් උත්සාහ කලත් මට සතුටුදායක නිමාවක් ගන්න බැරි උනා. ඇස් දෙක, නාසය, මෙන්ම කටත් මට නිවරදිව ස්තාන ගත කරන්නට බැරි උනා, කොපමණ උත්සාහ කලත්. මට මම ඇදපු පින්තූරයේ අඩුපාඩු පෙනෙන ගත්තා. මම බා ගත් පින්තූරය ඉතාමත් ලස්සනටත් මා සිතුවම් කල පින්තූරය අංග විකල එකක් ලෙසටත් මට පෙනෙන්නට උනා. මෙහි පහතින් තියෙන්නේ ඒ පින්තූරය.

සති කීපයක් තිස්සේ කල උත්සාහ අසාර්ථක වීමත් සමග මම තේරුම් ගත්තා චිත්‍ර අදින්න එක ලේසි වැඩක් නෙවෙයි කියල.   මම තවදුරටත් මේක අදින එක නවත්තලා දැම්මා. මේක තමයි මම අවසන් නොකළ එකම චිත්‍රය. මම අධ්‍යනය කලා මට වැරදුනේ කොහෙද කියල. මේ තියෙන්නේ මම දැකපු අඩුපාඩු.

මම දැකපු අඩුපාඩු:
  • මුහුණේ හැඩය 
  • අවයව ස්ථාන ගත නොවීම 
  • අවයව වල ඇද කුද
  • කොණ්ඩ මෝස්තරයේ අපැහැදිලි භාවය 
අඩුපාඩු වලට හේතු:
  • මුල් පින්තූරය නිසි ලෙස අධ්‍යනය නොකිරීම 
  • අවිධිමත් බව
  • මුල් පින්තූරයේ  ස්වාභාවය පිලිබඳ අනවබෝධය
මා විදිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකළ නිසා අවයව නිසි සේ ස්ථාන ගත කරගැනීමට නොහැකි වූවා මෙන්ම අවයව වල හැඩය සහ මුහුණේ හැඩය දුර්වල වෙලා. මුල් පින්තූරය හරි හැටි තේරුම් නොගත් නිසා කොණ්ඩය අවලස්සන වෙලා. ඒ වගේම උස, පළල, දිග, මහත හැමතැනම අඩුපාඩු.

කාන්තා රූපයක් නිසා තමයි මම මේ අමාරුවේ වැටුණේ කියලා හිතුනා. ඒ නිසා මම තීරණය කළා පිරිමි රූප අදිනට. මගේ තියෙන නොඉවසිල්ල නිසා දවස් කීපයක් ඇතුළත සිතුවම් නිමා කරන්නත් හිතා ගත්තා. ඊ ලඟ ලිපියෙන් ඒ විස්තර රැගෙන එනකල් ඔබට සුභ දවසක්!




හැඳින්වීම

ආයුබෝවන්!

      ඈත අතීතයේ ඉදලම චිත්‍ර කියන්න අපි කවුරුත් අගය කරන කලාවක්. තාක්ෂනික දියුණුවත් සමග ලෝකයට බිහිවුනු කැමරාකරනය වඩාත් ස්වභාවික කලා කෘතියක් බිහි කලත් අදටත් සිතුවම් කලාවේ ජනප්‍රියත්වය කිසිම අඩුවක් වෙලා නෑ. ඒ සිත්තරුවාගේත් රසිකයාගේත් වින්දනය උසස් තත්වයකට ගෙන එමට සිතුවමකට ඇති අපුරු හැකියාව නිසයි.

     මේ වසරේ මැද භාගය වෙන තෙක්ම සිතුවම් පිළිබඳ මා සතුවූයේ ඉතාමත් අල්ප දැනීමක්, ඒ මන්ද යත් සිතුවම් කිරීමට මට වූ නොහැකියාව නිසා මේ කලාව පිළිබඳව ආශාවක් නොමැතිකමයි. නමුත් මම බෙහෙවින් රසවින්දනය කල 'පේන්ටර් ඔෆ් ද වින්ඩ්' (바람의 화원) කොරියානු ටෙලි වෘතාන්තය මගේ හිතේ දැඩි ආශාවක් ජනිත කලා සිතුවම් කලාව පිලිබඳව. රජ කාලෙ හිටපු සිතුවම් කරුවන් දෙදෙනෙක්ගෙ කලා හැකියාවන් බෙහෙවින් පිළිඹිබු කරන, ඔවුන්ගේ ජීවන සිදුවීම් අලලා ගෙතුන ලස්සන කථාවක් එක. මේ කථාවෙන් තමයි මම ඉගන ගත්තෙ චිත්‍රයකට මොන තරම් වටිනාකමක් තියනවද, මොන තරම් දෙයක් කරන්න පුළුවන්ද කියල. එකතරා අවස්ථාවකදි එක ඇමතිකෙනෙක් මේ දෙන්නට අභියෝග කරනව එයාගෙ ළග ඉන්න මොනම හේතුවකටවත් හිනාවෙන්නෙ නැති, සිනහ වෙන්න අමතක වුනු දරුවෙකුට සිනහව උපදින ආකාරයේ සිතුවමක් පුළුවන්නම් අඳින්න කියල. ඉතින් ඒ අය අභියෝගය බාරගෙන චිත්‍රයක් අඳිනව. මේ මහාචාර්යවරයගෙ සිතුවම අතට ගන්න දරුවට හරිම සතුටු හිතෙනව, එයා ගොඩක් සතුටින් හිනාවෙනව, මොකද මේ සිතුවම බැලුවම එයාට මැවිල පේනව එයාගෙ අම්ම ඉන්න කාලෙ සතුටින් හිටපු විදිය.ඉතින් බලන්න දක්ෂ සිත්තරුවෙකුගෙ සිතුවමකට මොනතරම් දෙයක් කරන්න පුළුවන්ඳ කියල. තවත් අවස්ථාවකදි චිත්‍රයකට වටිනාකමක් එකතු කරන ගුනාංග ගැනත්, තවත් විටකදි චිත්‍ර ඔස්සේ හුවමාරු වූ රහස් පණිවිඩ ගැනත් මේ කථාවෙ සඳහන් වෙනව. මේ කථා වස්තුව බලලා ඉවර වෙනකොට මට හිතුන අනේ මටත් පුලුවන්නං මේ වගේ චිත්‍ර අඳින්න, මොනතරම් අපූරුද කියල. ඉතිං මම මේ ලිපි පෙළින් බලාපොරොත්තු වෙනව, මම චිත්‍ර අඳින්න පුරුදුවුන ආකාරය සරලවත්, විස්තරාත්මකවත්, රසවත් කථාන්දරයක් ආකරයෙන් ඔබ වෙත ගෙන හැර පාන්නට.

     මුලින් මට විශ්වාසයක තිබුනෙ නැහැ මට සාර්ථකව ඉදිරියට යන්න වෙන්න පුළුවන් වෙයිද කියල. මේ අවථාවෙදි මට මත් උනා දක්ෂ කැමරා ශිල්පියෙක් වුනු මගේ යාළුවෙක්ව. එයා නමින් කළන ලක්ෂිත, අපිත් එක්ක ඇමරිකා එක්සත් ජනපදයෙදි එකට ආචාර්ය උපාධිය හදාරපු යාළුවෙක්. එයා ඒ ශේස්ත්‍රයට අවතීර්නය වුනු විදියත්, එයාගෙ ආශාවත් කැපවීමත් නිසා එයා දියුණු වුන විදිහත් මම අත් දැක්කා. අන්තිමේදි මම තීරනය කළා උත්සහ කරල බලන්න ඕනි කියල.

     මට ඕනි උනේ, මට ආශා හිතුනෙ චීන පින්සල් තාක්ෂනය භාවිතා කරල නිර්මාණ කරන්න. නමුත් පින්සල් පිලිබඳවත්, චීන සහල් කඩදාසි පිලිබඳවත්, දිය සායම් පිලිබඳවත් මා සතු දැනුම අල්ප වු බැවින් මම අන්තර් ජාලයේ පිරීක්ෂා කලා. නමුත් මට පැහැදිලි අදහසකට එන්න බැරි වුනා. මේ වෙලාවෙදි මට මතක් වුනා ඇමරිකාවෙදි මගේ පස්චාත් උපාදියේ උපදේශක, ආචාර්‍ය් බිජෝයි ගෝශ් මට දවසක් දුන්න උපදෙසක්. "අනේ මට මේ මෘදුකාංගය තිබුනානම් මේක ලේසියෙන්ම කරන්න තුබුනා" කියල මම මැසිවිලි නගනකොට මහචර්‍ය්තුමා මට කීවා "මෙත්මා නැති දේ ගැන නෙවෙයි තියන දෙයින් වැඩේ කරන්න පුරුදු වෙන්න. ඔයාට පැන්සලක් කඩදාසි නිතරම හොයා ගන්න පුළුවන්, ඉතින් ඒවගෙන් පටන් ගන්න." මම හිතුව ඔව් මම පැන්සලෙන් චිත්‍ර ඇඳල බලනව මට පුළුවන්ද කියල. ඔන්න බලන්නකො ඉතින් මගෙ පැන්සල මුලින්ම ඇඳපු දේ.





     මම මුලින්ම මගේ හිත නිදහස් කරගෙන හරිම නිස්කලංකව පන්සල හැසිරුවේ.මම අඳල ඉවර වෙල ඒ දිහා බලාගෙම හිටිය, මට එතකොට හිතුනා 'අනේ මොකද්ද මම් මේ ඇඳල තියෙන්න, මට චිත්‍ර අඳින්න බෑ මේක බොරු වැඩක් කියල'. කොකටත් කියල මම ඒක මගේ ස්වාමියට, දර්ශනට, පෙන්නලා ඇහුව කොහොමද කියල. එතකොට එයා කීව "ඔයා ඔය බෑ කිවුවට හොඳට ඇඳල තියෙන්නෙ. ඔයාට පුළුවන් චිත්‍ර අඳින්න". එයා පැවසූ දෙයින් මම පුදුමයට පත් වුනා. ඒ වදන් පෙළ මට ඉමහත් ධෛර්යයක් උනා. මම හිතුව මම තව එකක් ඇඳල බලනව කියල.

     මේ වතාවෙදි මම මකනයකුත් පාවිච්චි කලා, එත් එක්කම උත්සාහ කරා ලස්සන නිමාවක් ගන්න. මම මේ පින්තූර දෙකේ ලොකු වෙනසක් දැක්ක. මම හිතුව මම තවත් උත්සහ කලොත් මොන හරි කරගන්න පුළුවන් වෙයි කියල. මේ තියෙන්නෙ මගේ ඊ ලග සිතුවම.



     තුන් වෙනි චිත්‍රය නිමාවාත් සමගම මගෙ හිතට හොඳ ශක්තියක් ආව. ඇත්තෙන්ම මට සතුටු හිතුනා. මට මොකක් හරි කරගන්න පුළුවන් කියල හිතුනා. කොහොම නමුත්, මෙතෙක් ඇන්ද රූපවල මුහුණේ විස්තරවල ඌනතාවයක් මට පෙණුනා. මගේ අවදානය මුව මත කේන්ද්‍ර වෙන්න පටන් අරන්. ඇස්, කන්, නාස් වැනි මුහුණේ අවයව විස්තරාත්මකව අඳින එක තමයි මගේ ඊ ළග පියවර වුනේ. ඉතින් ඊ ළග ලිපියෙන් මම තවත් විස්තර ගෙන එන්නම් එ පිළිබඳව. සියලු දෙනාටම සුභ දවසක්!