ඉන්නා ගේ ...
හීටර දෙකතුනකුත්, විදුලි ලිප් කීපයකුත් දාලා ඒත් බැරිතැන මේසුත් ජේසිත් දාලා රෙද්දකුත් පොරවගෙන හා පැටව් වාගේ හීතලේ ගුලිවෙලා, ගෙදට්ටම වෙලා බතක් මාළුවක් උයාගෙන, පීස් ටිකක් වවාගෙන, වැඩක් පලකුත් කරගෙන, ඇපල් මලක් පිපෙනකල් බලා ඉන්න කොට...
ඉන්නා ගෙදර දෙන්නැයි ඉල්ලුවා ගෙය අරගත් අළුත් කෙනා...
රටත් වහලා, ගමත් වහලා, කඩ අනං මනං ඔක්කොමත් වහලා, ගෙයින් පිටට අඩියක් වත් තියන්න බැරිව, දන්න, නොදන්න, දැක්ක, නොදැක්ක, හැමෝම හැකි නොහැකි හැම වැඩක්ම ගෙයි ඇතුලේ ඉදං, රෙදි සෝදන ගමං, රෙදි වේලන ගමං, ළමයි නලවන ගමං, රංඩු බේරන ගමං, බත් උයන ගමං මතක් උනොත් වැඩත් කරන කාලේක ...
යන්නත් බෑ බලන්නත් නෑ, නමුත් ගෙයක් අපි හෙව්වා ...
පරිගණකයෙන්, දුරකතනයෙන් අතට අහුවෙන හැම මගුලකින්ම උදේ හිට දවල් වෙනකල්, හවස වැඩ ඉවරවෙලා රෑ වෙනක ගෙවල් හොයනවා, කාමර කීයද, නාන කාමර කීයද, වාහන පාකින් කීයද, ගාන කීයද, උඩට පහළට යනවා, තරු දානවා, ඒ පැත්ත දුරයි එහෙන් එපා කියනවා, මලක් පැළයක් හිටව ගන්න හැකිද බලනවා, අන්තිමේදී රෑ හීනෙනුත් ගෙවල් පේන්න විට ...
එකම එක ගෙයක් බලන්න අපිට යන්නට ලැබුනා ...
රැකියාව, පඩිය, උපත, විවාහය, කලින් හිටි තැන් එකී නොකී මෙකී හැම ලියවිල්ලක්ම පෙට්ටගං අස්සෙං හොයාගෙන පත්තරක් වගේ දිය කොලේකුත් පුරවලා අරයට මෙයාට දෙන්න එපා මේ ගේ අපිටම දෙන්න කියලා දාහක් දේ කියලත් ගෙයක් හොයාගන්න බැරිව ලට්ට ලොට්ට ටිකත් අරගෙන පාරට බහින්න වේද හිත හිතා ඉන්නා කලක ...
රූප වලින් විතරක් දුටු ගේකට අපි හෙට යනවා ...
ඈත ගම්දනව්වකින්, කවදාවත් ඇහැටවත් නොදැක්ක, කාගෙන්වත් අහල දැන කියාගන්න බැරි වුන, පින්තූර කෑල්ලකින් විතරක් දුටු අයෙන් ආවාහ විවාහ කරගන්න, ගෙවල් දොරවලුත් අස් කරලා, උත්සව ශාලාවකුත් වෙන් කරගෙන, නෑදෑයිටත් එන්නත් කියලා, තෑගි බෝගත්, රෙදි පෙරෙදිත්, රත්තරං බඩුත් අරගෙන යන්නා වාගේ...
අපි යනවා...
ඔක්තෝබර් 24, 2021