Sunday, August 26, 2018

'බලාපොරොත්තුව' කෙටි කථාව

 

අනන්තය සිසාරා යන ඉමක් කොනක් නොපෙනෙන අහසට දිගු පාරක් ඒක. දැනටමත් මේ පාර දිගේ බොහොම දුරක් අපි ඇවිදන් ඇවිත්. තව යන්නත් සෑහෙන දුරක් තියෙනවා. කොයි කාලයක් තිස්සේ ද අපි මේ ගමන යන්නේ කියලා ඔන්න ආයෙත් මට හිතෙන්න ගත්තා. පේන තෙක්මානෙට නිලට නිලේ දිලෙන අඹර, ගිනි කාස්ටක අව්වට වේලිච්ච ගහකොළ, මාස ගණනාවකින් වැහි පොදක් දැක්කෙ නෑ වගේ කරකුට්ටං වෙච්ච මහ පොළොව හරියට අපේ කතාවෙම කොටසක් වගෙයි. ගස්වල කොළ බිමට නැමිලා තිබුණේ හරියට කඳුළු සලනවාක් මෙන්. ඒ විඩාබර ගස් තවත් වෙහෙසවා එහා මෙහා කරමින් දූලි පොදක් අහසට නංවමින් ආ මද සුළඟ අපේ වෙහෙස මොහොතකට අමතක කරවලා අප අතහැර ඈතට ඇදිලා ගියා.

උදාවෙන දවසක් දවසක් පාසා, ජීවත් වෙන මොහොතක් මොහොතක් පාසා, අපිටත් නොදැනීම අපේ ජීවිත ආලෝකයත් අඳුරත් අතර දෝලනය කරන්නට පුළුවන් විදියේ විශේෂ හැකියාවක් ඇති ඇසට පෙනෙන මානයේත් ඉන් ඔබ්බෙනුත් ජීවත්වෙන උපන් නූපන් මිනිස්සු ගණනින් පමණකැයි කීමට අපි නොසමත් වෙමු. ඉදින් ඒ මිනිසුන් සමග අප පැවැත් වූ පවත්වන්නා වූ සමීප වූ හෝ දුරස් වූ හෝ සම්බන්ධතා දිනකින් දෙකකින් අමතක කළ හැක්කේ කාටද? 'බැඳීම්' යනු මෙලොව පවත්නා තවත් එක් විශ්මය ජනක දෙයකැයි මට නිතර සිතේ. මා පියාණන් මෙලොව හැර ගියත් මට ඔහු අමතක කළ හැකිද? තවදුරටත් මා පියාණන් යැයි අයෙක් මෙහි ජීවත් නොවූවත්, ඔහු මගේම පියාණන් නොවන්නේද? ඒ අපූරුතම සම්බන්ධකම එතනින් හමාර වී ද? ඒ අයුරින්ම, කලක මා හා ආදරෙන් වෙලී සිටි අයෙකු අද මගෙන් ඈත්ව දුරස්ව ජීවත් වන දා, එදා ඒ ඇති වූ සම්බන්ධතාවය කුඩා කැබලි වලට බිඳී විසිරුණු වීදුරුවක් මෙන් සදහටම බිඳුණු එකක් විය යුතුද? ආලෝකයෙන් අඳුරටත් අඳුරින් නැවතත් ආලෝකයටත් ගලා ගෙන යන ජීවිත වල ඇති වූ ඇති කරගන්නා වූ ඇති වන්නට නියමිත වූ ඇතිවේයැයි බලා හිඳින්නා වූ බැඳීම් වලින් තොර ජීවිතයක් ගැන අපට සිතීමටවත් හැකිද?

ගෙයි ඉස්සරහත් පැත්තෙනුත් පිටිපස්සෙත් සරුවට වැඩුණු අලිපේර ගස් පුංචි පුංචි ලා කහ පාට මලින් වැසී ගත් කල, ඒවා තවදුරටත් තද කොළ පාටින් ඈතට පෙනෙන අලිපේර ගස් නොව, සුන්දර මල් ගස් මෙන් බැබළුණු කාලය දැන් අවසන් ය. කොහේදෝ  සිට පැමිණි මීමැසි දඬුවැල්බෑමැසි බඹරුන් ගේ ගුමු ගුමු නාදයත් ඒ අපූරු මල් සුවඳත් මට තාම මතකය. ඒ මල් මෙන්ම ඒවායෙන් හටගත් මුන් ඇට තරමේ සිට කඩල ඇට තරම් පුංචි පුංචි ගෙඩි බොහෝමයක් අලි පේර ගස් යට වැටී තිබුනේ මා හඳ කම්පා කරවමිනි. කුඹුරුයාය පැත්තේ සිට විටින් විට හැමූ සුළඟ ඊට වගඋත්තරකරුවා ලෙස මා හඳුනාගත්තද, මට කළ හැකි කිසිවක් නොවීය.  මා දැලට අසු වූ කුරුල්ලෙකු මෙන් අසරණ විය. ඒ බාධා සියල්ල මැඩගෙන ඉතිරි වූ අලි පේර ගෙඩි දැන් හොඳින් පැසී ඉදෙන්නටත් ආසන්නය. අදම ඒ ගෙඩි නොකැඩුව හොත් කුරුල්ලන් කපුටන් වැනි අහසින් එන සතුන්ගෙන් බේරා ගැනීම ලේසි කාරණයක් නොවේය.

අපි මේ දරුවා එන කල් කොච්චර නම් කාලයක් තිස්සේ බලාගෙන හිටියද? මාස ගණනකට කලින් ඔය අලි පේර ගස් මලින් වැසී ගිය අවධියේදීත් මීට කාලෙකට කලින් ඒ අලි පේර ගස් මුලින්ම පීදුනු අවධියේදීත් මේ දරුවා අපිව සොයා ගෙන එයි කියලා අපි බලා සිටියෙමු. ඇත්තටම කිව්වොත් ඔය අලි පේර ගස් පුංචි සංදියේ ඉඳලා මේ දරුවා අද එතැයි හෙට එතැයි අපි බලාපොරොත්තුවෙන් සිටියෙමු. ඒත් දැන් වාර ගණනාවක් තිස්සේ මේ ගස් අපිට ඵල ලබා දුන්නත්, දරු පැටියා ගැන හාංකවිසියක්වත් දේ අපිට ආරංචි නොවිණි. මේ කාලය පුරාවටම අපේ ගේ ඉදුණු බත් එක හා සමාන විය. අපගේ සිත්වල රැඳුනු කාන්සිය සැමදා එක සේ විය. තනිව හැසිරෙන පූසෙකුගේ මෙන් අපේ ජීවිතත් ඒකාකාරී විය. මාත් මා ප්‍රිය ස්වාමියාණනුත් හැරුණුකොට  අපගේ ගෙයි විසුවෙක් තවත් නොවීය. උදෑසන මල් පැණි බොන්න පැමිණි කුරුල්ලන්ගේ කිචි බිචි හඬත්, වරින් වර අප නිවස අසලින් ගමන් ගත් මිනිසුන්ගේ කථා හඬත්, වරෙක උස් ස්වරයෙනුත් වරෙක පහත් ස්වරයෙනුත් අවිවේකීව හඬන රූපවාහිනියේ හඬත් හැරුනුකොට වෙනින් හඬක් අප ගෙයි නොවීය. නිවාඩු දිනයක් නිසා හෝ වේවා අසනීපයක් නිසා හෝ වේවා සතියේ දිනක දී ගෙදරට වී සිටින්නට වුව හොත් හිතට දැනෙන පාළුව තනිකම මෙතකැයි වචනයෙන් කීමට නොහැකි තරම්ය. ඒ නිසාවෙන්දෝ නොයෙකුත් ආකාරයේ විනෝදාංශ කීපයකටම අපගේ ගෙයි දොර විවර වූයේ නිතැතින්මය.

මා සමඟ එකට පාසල් ගිය මාගේ යහළු යෙහෙළියන්ගේ ජීවිත බොහෝ සේ වෙනස් වී ඇති ආකාරය ඔවුන්ගේ හැසිරීමෙනුත්  කතාබහිනූත් මට පසක් විය. බොහෝ කලක පටන් නොවෙනස් වූ මගේ ජීවිතය හා සසැඳි කළ ඔවුන් බෙහෙවින් පරිණත වී ඇති සේ මට හැඟෙයි. මොන්ටිසෝරි ගමන අවසන් කළ දරුවන්ට අලුත් පාසලකුත් 5 වසර ශිෂ්‍යත්වය විභාගය ලියූ දරුවන්ට අලුත් පාසලකුත් සොයන්නට මගේ යහළු යෙහෙළියෝ වෙහෙසුනේ ඔවුන්ගේ ළදරුවන් කරපින්නා ගෙනය. ඒ අතර අඩු වයසින් විවාහ පත් වූ තවත් මිතුරියක් ඇගේ දරුවකුට උසස් පෙළ සඳහා අලුත් පාසලක් ගැන සිත යොමු කරමින් සිටින්නීය. ඒත් මේ දරුවාට වූයේ කුමක්දැයි නොදත් අපි තවමත් අද අදම පැමිණේ යැයි බලාපොරොත්තුවේ දෑස් දල්වා සිටිමු.

අලි පේර කඩද්දි බිම වැටිච්ච අතුකොළ, සුළඟට වැටුනු රතු පාට ඉදුණු අලිපේර ගෙඩි, සුනඛයින් බළලුන් වැනි සිවුපා සතුන් බාගෙට කා දමා ඉතිරි කර ගිය ඇටය සහිත ගෙඩි කැබලි එකක්වත් පේනතෙක් මානයකවත්  දැන් නැත. බිම වැටිච්ච ඇට වලින් පැලවෙච්ච අලිපේර පැළ ගොන්නක් කාලෙකට කලින් පෙනෙන්න තිබුණත් දැන් එයින් සරුවට වැඩුණු පැළ තුන හතරකට වඩා සොයා ගැනීමට අසීරුය. මේ අලි පේර ගස් වල මල් සියදාස් ගාණක් පිපුණත්, ඒ කීයකටද හැකිවුණේ සරු ඵලයක් වෙන්නට.  ඒවගෙනුත් කීයෙන් කීයද ආයෙ පැළ වුණේ. ඒ පැළ වලිනුත් අතේ ඇඟිලි වලටත් අඩු ගානක් නොවැ සරුසාරව දළු දාලා හොඳින් වැඩුණේ. සොබාදහම හරි අපුරුයි. 

ගෙට පැත්තෙන් තියෙන අලි පේර ගහ ලඟින් උඩට ඇවිත් අලි පේර ගහට ඉහළින තියෙන ගල් වැටියේ තියන ටිකක් ලොකු සමතලා ගල උඩින් මම වාඩි වුණෙමි. එය තවත් අපේ වත්තේ තියෙන මම ආසම තැන් වලින් එකක්. ඊට අඩි දෙක තුනක් එහායින් තියෙන මී පෙට්ටියේ මැස්සන් එහෙ මෙහෙ යන විධිය මට මෙතනට හොඳට පෙනෙයි. අවුරුද්ද පුරාවට නොයෙක් සුවඳ මල්වලින් පැණි එකතු කරන මීමැස්සෝ, මී වදයක් බැඳලා ඊට පැණි පුරවන මීමැස්සෝ, ඒ පැණි ආහාරයට අරගෙන ඒ වද වල පිලව් හදන මී මැස්සෝ,  එකින් එකා මී පෙට්ටියෙන් එළියටත් ආයිත් ඇතුළතත් වශයෙන් විවේකයක් නැතුව රුං හඩින් පියඹන මීමැස්සෝ. අලි පේර ගස් ආයෙත් පීදෙන්නයි හදන්නේ. තව ටික දොහකින් අපිට හැකිවේවි අලිපේර මල්වලින් ගත් පැණි වලින් තැනූ ඒ අපූරුය මී පැණි රස බලන්නට. අලිපේර මල් පිපෙන කාලෙට හදන මීපැණි හරිම සුවඳයි. ඒවායේ පාටත් රසත් නොයෙක් වර්ගයේ මල්වලින් ගත් පැණි වලින් හදන මීපැණි වලට වඩා වෙනස් වෙයි. සාමාන්‍යයෙන් මීපැණි ලා කහ වර්ණයෙන් යුක්ත වේ නමුත්, මේ කාලෙට හදන මීපැණි රතට හුරු දුඹුරු පැහැයක් ගත් තද වර්ණයකින් යුක්තයි. ගිනියම් අව්වේම මා සිටි තැනින් නැඟිට හීනියට හමන සීතල සුළඟත් එක්ක අත්වැල් පටල ගනිමින් මම හීන් සීරුවේ ගෙදරට බැහැගෙන ආවෙමි.

සිත අදහා ගන්නත් බැරි පුදුමයක් මේක. කාලයක් තිස්සේ අපි මගබලාන උන්න දරු පැටියා අනේ දැන් අපි ළඟට ඇවිල්ලා. ජීවිතේ පළවෙනි වතාවට පියඹන මේ මුළු අහසම මගේයි හිතන පුංචි කුරුල්ලෙකු මෙන්, මුළු මුහුදම මගේ කියල සිතන පුංචි මාළුවෙකුගේ මෙන් මගේ සිතට දැනෙන සතුට අපමණයි. ඒත් ඒ අහසේ දී හෝ ඒ මුහුදේ දී හෝ වෙන්න පුළුවන් අනතුරු නම් කොතෙක්ද?  මෙසේ හටගත් සතුට අභිබවමින් මසිත බයෙන් තෙත් වී ඇත්තාක් සේයි. අනේ කලින් වතාවේ වගේ, මේ දරුවත්  අනිත් පැත්ත හැරිලා ඇහැපියාගෙන යන්න යාවි ද? අහෝ දෙවියනි නැවතත් එසේ නොවේවා. අලිපේර ගස් පුංචි සන්දියේ සිට කවදාක හෝ මේ දරුවා අපවෙත එතැයි මා දැන සිටියා කොයි කාලයක් ගත වුවත්. ඒත් මට නිතැතින්ම සිහියට එන්නේ කලින් වතාවේ සිදුවූ ඒ අභාග්‍යවන්ත සිදුවීමමයි. උපන් මොහොතේම වරකුදු තම මෑණියන් දෙස හෝ පියාණන් දෙස හෝ නොබැලූ,  වරකදු හීන් හඬින් හෝ නොහැඬූ මෙලොව හැරගිය ඒ පුංචි දරුවා බේරා ගැනීමට කිසිවකු ද නොපොහොසත් වූවෝය. ඉඳින් රෝසමල් පියල්ලක් බඳු වූ මේ මොළකැටි සිඟිත්තා, පිච්ච මල් පොහොට්ටුවක් බඳු වූ ඒ ළපටි සිඟිත්තා බේරාගෙන පිනිමත දිලෙන දිය බිඳක් බඳු වූ මේ සිඟිති ජීවිතය රැක ගැනීම අපගේ පරම අරමුණ වූයේ ය. ගන්න එක හුස්මක් හුස්මක් පාසා ගතවෙන එක් තත්පරයක් තත්පරයක් පාසා මොනයම්ම හෝ කරදරයක් හිරිහැරයක් වේදෝයි අවධානයෙන් අවදියෙන් මා ද මා ස්වාමියා ද පසුවෙති. ගෙදර දොරේ මොන යම් වැඩකටයුතු තිබුණ ද, ඒ සියල්ල පසෙකලා මගේ සිත නිරන්තරයෙන්ම යොමු වන්නේ දරුවා මාරක බන්ධනයෙන් කෙසේ හෝ ගලවාගෙන අපගෙන් ඈත් වී යා නොදී,  එකම සෙල්ලම් බෝනිකී කිසිසේත් අත නොහරින පුංචි දැරියක මෙන්, මාගේ ග්‍රහණේම තබා ගැනීමටයි.

කිසිකලෙකත් අත්නොවිඳි අපූර්වතම අත්දැකීමකි මෙය. මා පුංචි ළදරුවෝ ඉදිකටු මලකින් අනින තරමේ හෝ වේදනාවක් නොදී මව් කිරි උරා බොන අයුරු මොනතරම් අපූරුද? මා එය හඳුනාගෙන තිබුණේ වේදනාකාරී අපහසු ක්‍රියාවක් ලෙසයි. මගේ ඒ මෝඩ නොමේරූ සිතුවිලි ගැන සිතන විටත් දැන් මුහුණට සිනහවක් නැඟෙයි. සිය අත්දැකීම් සමග මහත් වන අපගේ දැනුම් සම්භාරය, අප ඇසූ දුටු අන් අයගේ අත්දැකීම් සමග එලෙසට තර නොවෙයි. ඒවා මේවා කුමක් වුවත් දැන් අපට ඇති එකම කාර්යය නම් මේ දරුවාගේ පණ කෙන්ද රැක ගැනීමේ මහ සටන මැයි ආයෙත් මා සිත වෙලා ගනියි.

එය තවත් එක් සිදුවීමක්ම නොව, ජීවිතේ තවත් එක් සන්ධිස්ථානයකට පෙර ගමනක් වැනිය. අපගේ වෑන් රථයේ නැගී කොහේදෝ ගමනක් අපි යන්නෙමු. කාරණාව හරි හැටි මට පැහැදිළි නොවූ නමුත් අපගේ වාහනය නතර කෙරුනේ ඉදිරියෙන් පැමිණි බස් රථය නවත් වනවාත් සමගම ය. මෙලෙස මේ වාහන නැවැත්වූයේ ඒවා පොලිස් භටයන්ගේ පරීක්ෂාවකට ඉදිරියේ දී ලක් වීමට නියමිත නිසා යැයි දැන් මට පසත් කාරණාවකි. මෙතෙක් මා තුරුලේ සැපසේ නිදා සිටි  සිඟිත්තා මා ප්‍රිය ස්වාමියා අත තබමින් මම වාහනයෙන් එළියට ආවෙමි.  බස් රථයේ සිටි කිසිවෙක් අපගේ වාහනය දෙසට එනවා ලාවට මෙන් මට පෙනුණි. මොහොතකට පසු මා නැවත වාහනය තුළට යන විට දරුවා රහිත ස්වාමියා දැක මම කලබල වීමි. ක්ෂණයකින් එන්ජිම පණගැන්වූ රියදුරා වාහන ධාවනය පටන්ගත්තේය. සිදුවූයේ කුමක්දැයි සිත අදහාගත නොවූ මා දරුවාට වූයේ කුමක්දැයි විමසුවේ විලාප තබමිනි. බස්රියේ සිට පැමිණියේ මාගේ කලින් විවාහයේ ස්වාමියා බවත්, ඔවුන්ට මුරපොල හරහා යෑමට දරුවා අත්‍යාවශ්‍ය බවත්, පවසා දරුවා රැගෙන ගිය බවත්, නැවතත් මුරපොල පසුවූ විට අපට දරුවා ලැබෙන බවත් ස්වාමියා පැවසීය. ඒ කතා කුමක් වුවත් අපි ළඟ නැති අතරේ දරුවාගේ සියුම් පණ නල රැකෝ දෝ සිත බියෙන් වෙව්ලුවේ පූස්  දන්ඩේකුගේ අතට අසුවු පුංචි මී පැංචෙකු මෙන්ය.

අප වාහනය පසුපසින් පැමිණි ඔවුන් පොරොන්දු වූ පරිදි නැවතත් දරුවා අපිට ගෙනත් දෙන්නට විය. සිඟිති දරුවා යහමින් සිටිනවා දැක හිරු එළිය වැටෙත්ම අඳුර පහවෙන්නාක් මෙන් මසිත බිය දුරු වී, හිරු එළිය සමඟ මල් පිබිදෙන්නාක් මෙන් මසිතට සතුට ගලන්නට විය.

කාමරයේ ජනේලයෙන් මම අලි පේර ගස දෙස බලා හිඳිමි. හොඳින් පැසුණු අලි පේර ගෙඩියක් බාහිර පරිසරයේ කිසිදු බලපෑමකින් තොරව හදිස්සියේ නටුවෙන් ගිලිහි බිම වැටෙන්නාක්  මෙන්, නොපැසුණු ළපටි අලි පේර ගෙඩියක් සුළඟකුදු රහිතව නිස්කලංක පරිසරයෙම හිටිහැටියේ බිම පතිත වූයේ මසිත කළඹවමිනි. ඈත අහසේ සිට පාව එන සුදු වලාකුළුත් අඳුරු වලාකුළුත් විටින් විට ඉර මුවා කරමින් ආලෝකයේ රශ්මිය මවෙතින් ඈත්කර සීතල පරිසරයක් මවමින් සිටී. ළපටියාණෝ සුරංගනා ලෝකයක අතරමං වූවා සේ  සුව නින්දේ පසුවෙයි. පුංචි බබා අපිත් එක්ක තව දින කීපයකට වඩා නොඉන්නා සේයි. යමක් මගෙන් හෝ වේවා මා ප්‍රිය ස්වාමියාණන්ගෙන් හෝ වේවා යම් කිසිවෙක් ඉල්ලා ආ කල එය නොදී සිටීමේ පුරුද්දක් අපට නොවෙයි. අනික ජීවිතයට මේ තරම් සමීප වූ කෙනෙක් දෙයක් ඉල්ලූවිට නොදීම උගතුන්ගේ අපවාදයට ලක් වන කරුණක්ය.

තනිව ජීවත් වෙන මගේ කලින් විවාහයේ ස්වාමියා අපේ පුංචි දරු පැටියා ඔහුගේ සෙවනේ හදා වඩා උස් මහත් කර ගැනීමට ආයාචනා කරයි. ඉතින් අපි ඔහුගේ ඉල්ලීම කෙසේනම් අහක දමන්නද? උඩහගෙදර ඉන්න පුංචි පූස් පැටියාගේ ආච්චි අම්මා පුංචි කාලේ ඉඳන් අපි මේ දරුවා එනතුරු මගබලන් හිටි බව ඔහු නොදන්නවා විය යුතුය.  එසේ දන්නේ නම් මෙතරම් අමාරුවෙන් අප සොයාන ආ කිරිකැටියා නොඉල්ලනවා නිසැකය. ඔය දරුවා ඉල්ලන්න ඔහුට ඇති සුදුසුකම කුමක් දැයි හෝ, අපේ දරුවා ඔහුට දෙන්නේ කුමකටදැයි හෝ, ආයෙත් අපකරා දරුවෙකු නොපැමිණේවිදැයි හෝ, දරුවාට අයහපතක් වේවිදැයි කියා හෝ කිසිදු ප්‍රශ්නයක් නොනැඟ ඔහු ඉල්ලන දේ දීමට මා ප්‍රිය ස්වාමියාණෝ අබ මල් රේණුවකුදු අකමැත්තක් නොපෙන්වයි. 'මේ සියුමැලි ළපටියාණන්ගේ කවුද ඔහු?', 'මා කුමන බැඳීමක් නිසා මේ දරුවා දෙන්නේ ද  ඔහුට?' කියා නොයෙක් ආකාරයේ ප්‍රශ්න රාශියක් මසිත පහළ වී,  සිය මියගිය පුත් මට්ටකුණ්ඩලී වෙනුවෙන් හැඬු මසුරු සිටාණන් සේ ලොවටම ඇසෙන තරම් හයියෙන් මම හඬන්නට වීමි.

අලි පේර ගසක් ආසන්නයේ ගසේ වපසරිය ඉවරවෙන තැන ලා කොළ පාට ළපටි කොළ කීපයකුත් ලා රතු පැහැයෙන් අව්වේ බැබලෙන දල්ලකින් යුත් සරුවට පැළවුණු අලිපේර පැලයක් ස්වභාවිකව හටගත් තැනින් උගුල්ලා වත්තේ තවත් කෙළවරක මම පැල කළෙමි. තව ටික දොහකින් ආයිත් මේ අලි පේර ගස් මල් වරාවි ඵල හට ගනීවි, ආයෙ ආයිත් ඔයි ආකාරයෙන් මල් ද ඵල ද හටගනීවි.  ඒත් එක්කම දිනක අපි හොයාන පින්වන්ත දරුවෙක් කොහේ හෝ සිට පැමිණේවි මේ දීර්ඝ කාන්සිය පාළුව මගහරින්නට.

නිමි.

මේක තමයි මම ලිව්ව පළවෙනිම කෙටිකතාව. ඔයාලගේ අදහස් යෝජනා මට ගොඩක් වටිනවා, ඒනිසා මොනවා හරි ලියලා යන්න.

11 comments:

  1. Replies
    1. අදහසට ස්තුතියි. ඒත් සරලව ලියන්න ගියොත් මට එපා වෙයි කියලා හිතෙනවා. මී කතාව මගේ හිතට ආවම් මම ලියන්න ගත්තා. අන්තිමේදි මෙහෙම තමයි ලියවුනේ.

      Delete
  2. පලවෙනි කතාව වුනාට ඉතාම හොඳින් කතාව ගලාගෙන ගිහිං තියෙනවා. සාමාන්‍යයෙන් හිතට එන්නේ නැති ආකාරයක ප්ලොට් එකක් . කතාවට අවශ්‍ය ලෙසට දෙබස් යෝදාගත්තානම් හොඳ බවයි මගේ හැගීම . මොකද එහෙම නොවුනම වාර්තා ස්වරූපයක් ගන්නවා .
    ඒ ඇරෙන්න සාර්ථක උත්සාහයක් . ඉදිරිය වඩා පැහැබර බව පේනවා , ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉවාන්. ‌ක‌ෙටි කථා හ‌ෝ නවකථා හ‌ෝ කියන හ‌ෝ ලියන එක මම සාමාන්‍ය‌ෙන් කරන එකක් ‌න‌ෙව‌ෙයි. කවියක් ලියනවා මිසක් කවදාවත් ක‌ෙටි කථාවක් ලියයි කියා මම සිහින‌ෙන්වත් න‌ොසිතුව‌ෙමි. නමුත් දිනක මා දුටු සිහිනයක් එය කවියක් න‌ොව ක‌ෙටි කථාවක් බවට පත් කිරීමට මා ප‌ෙළබ‌ෙව්වේය. ඔබ කියනා කාරනාව සත්‍යය. ද‌ෙබස් න‌ොමැති විට වාර්තා ස්වරූපයක් ගන්නාා බව නම් සැබෑය. ඉදිරිය‌ේදී දිනක ආයිත් කථාවක් ලියන්න‌ේ නම් සුළුවශය‌ෙන් හ‌ෝ ද‌ෙබස් එකතු කරන්නට වගබලා ගන්නම්.

      Delete
    2. ඔයාගේ මේ පිළිතුර බැලුවමත් පේන්නේ ඔයා ලියන්න ගියාම ටිකක් විතර සීරියස් වෙනවා , එහෙම වෙන්න එපා , සැහැල්ලුවෙන් ලියන්න . ලියපු එක දිහා බලන්නේවත් නැතුව දවස් දෙක තුනක් ඉන්න , ආපහු බලනකොට අඩුපාඩු පේනවා . එතකොට හරිගස්සන්න පුළුවන්

      Delete
    3. ඔයා කියන එකෙත් ඇත්තක් නැත්තෙම නෑ. මොනා හරි ලියන්න ගියාම මම ටිකක් විතර සීරියස් වෙන ගතියක් තියනවා තමයි. ටිකක් සැහැල්ලුවෙන් ලියන්න බලන්නම්.

      Delete
  3. මම කැමතියි ඔයාගේ තේමාවට. කියවගෙන යද්දි තේරුනා එකම කාරනය කීපවතාවක් ලියවෙනවා වගේ. තව ටිකක් වාඛ්‍ය කෙටි කරන්න පුලුවන් නම් සාර්තකයි කියල හිතෙනවා. මම ඉතාම සතුටුයි ඔයා ක්ශේත්‍රයෙන් පිට මේ වගේ ලියන එක ගැන නන්ගි. දිගටම ලියන්න. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා. මගේ ලියවිල්ල ගැන අදහස් දක්වපු එකට මට ගොඩාක් සතුටුයි. මේක මගේ ක්ශේත්‍රයෙන් බාහිර නිසා ටිකක් විතර අමාරුයි. දිරිගැන්වීම් නිසාම තමයි තවත් කතාවක් ලියනවානම් ලියන්න්නේ.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete