ගැර්ම්පියන් ජාතික වන උයන බලා 2
ගෑන්ඩ් කැනියන් වලින් එළියට ආ අපි, ආයිත් අපි යන්න ආ ගමන යන්න පටන් ගත්තා. මේ සැරේ අපිට තියෙන්නේ ගල් තලාව මතින් ඉහළට යන්න. මුල් හරියෙ පොඩි පඩි පෙළ් කීපයකුත් තිබුනා. අපි පඩි හතරක් විතර උඩට යනකොට, නැගෙනහිර ආසියානු සම්බවයක් තියෙන දෙන්නෙක් අපිව පහුකරගෙන පහළට බැහැගෙන ආවා. අනේ අන්තිම පඩියෙදි ඒ ගෑණුකෙනා දඩාං ගාලා ඇදගෙන වැටුනානේ. මගෙ හිතේ මහන්සියට වෙන්නැති. අනේ ඒයාට කරදරයක් නොවේවා කියලා හිතාගෙන අපි ආයිත් ඉහළට ඇදෙන්න ගත්තා. නොයෙක් ආකාරයේ කැටයම් සහිත මනරම් ගල් කුළු කීපයක් පහු කරගෙන අපි යනවා යනවා, නොයෙන් ආකාරයේ සුන්දර තැන් අපිට හමුවෙනවා හමුවනවා ඉවරයක් නෑ. ගමන හරිම සුන්දරයි.
එන්න එන්නම අපිට මහන්සි දැනෙනවා. අපිත් ඉතිං, ඉබි ගමනෙන් හිමීට හිමීට අමාරුවෙන් පඩිය පඩිය ඉහළට නගිනවා. ඒ අතරේ අපිට පිටුපසින් එන හැමෝම අපිව පහුකරගෙන යනවා හරියට කවුරුහරි පස්සෙන් පන්නනවා වගේ. අපිත් ඉතිං සැලෙන් නෑ යන කෙනෙක්ට යන්න කියලා අපේ වේගය තවත් අඩු කරගන්නවා, තවත් හිමින් යනවා. දර්ශනට පින්තූර ගන්නත් ඉඩක් දෙන්න එපැයි, නැත්නම් එයාගෙ හිත රිදෙනවනි.
මෙල්බන් නගරෙයේ ලෝකෙ විවිධ රටවල් වලින් ආ මිනිස්සු බොහොමයක් ජීවත්වෙන්වා. නොයෙකු ජාතීන් වල, නොයෙකුත් තරාතිරම්වල, නොයෙකුත් වයසින් යුත් මිනිසුන් අපිට මේ ගමනේදි හම්බ උනා. වයස අවුරුදු තුන හතරෙ පුංචි ළමයින්ගේ ඉදලා අවුරුදු හැට හැත්තෑවෙ ආච්චිලා සීයලත් මේ පරිසරයේ සුන්දරත්වය අත්විදිමින් මේ දුෂ්කර ගමනට එක් වෙමින් හිටියා. අපි මේ ඉන්නේ වසන්ත සමයේ නිසා, පුරාම ලස්සන ලස්සන මල් පිපිලා. වැඩිපුරම තිබ්බේ කහ පාට මල්. ඒක ටිකක් විසාල පඳුරක හැදෙන මලක්. ලොකු ගස් යට යටි රෝපනයක් වගේ මේ පඳුරු හැදිලා, ඒවගේ මල් හැදිලා සිත්ගන්නාසුළුයි. දැක්කද අර මට පිටිපස්සේ පසුබිමේ හැම තැනම ඒ මල් පිපිලා තියෙන විදිය.
අපිට පුංචි දිය ඇල්ලක් වගේ තැනකුත් හම්බඋනා. ඒක දැක්කහම මතක් උනේ ඔස්ටින්වල (එක්සත් ජනපදයේ) තියෙන හැමිල්න්ටන් ඇල්ල. එකක් මේ වගේ, හැබැයි මීට වඩා ගොඩාක් ලොකුයි, හරීම ලස්සනයි. ඒ දිය ඇල්ල ඇස්සෙන් ලොකූ ගුහාවක් වගේ තියෙනවා. දැන් නම් මට හරිම මහන්සියි. මම හිතාන හිටියේ අපි මේ නැගගෙන ආ කන්ද උඩට ආවම එතනින් ගමන ඉවරයි කියලා. මොන, තව හෙන දුරක් යන්න තියෙනවා. ඒ පාර හදලා තියෙන්නේ පිනකල් පොඉන්ට් එකට යන්න පුළුවන් දුරම විදියට. දැන්නම් දාඩියත් දාගෙන එනවා. මොනා කරන්නද දැං ඇති කියල ආයෙ හැරෙන්ඩයැ, ආච්චිලත් අපිව පහුකරගෙන ඉදිරියටම යනවා. අපිත් ඉතින් හා කමක් නෑ ගිහින් බලමුකෝ කියලා ආපහු හැරුන්නෑ, දිගටම ගියා. එතකොට අපිට තවත් ලස්සන තැනක් හම්බ උනා, එතනට කියන්නේ 'නිසොල්මන් මාවත' කියලා. වාව් එතන නම් පට්ට ලස්සනයි. හරියට ගල් කන්දක් මැදින් කපලා, පුංචි අඩි පාරක් හදලා වගේ. ඇත්තටම එහෙම පාරක් හැදිලා. ඒක මැදින් අපිට යන්න තියෙන්නේ. දෙපැත්තේන්ම ගොඩක් උසට විසිතුරු ගල් කදු දෙකක්, ගොඩක් දුරට විහිදිලා තියෙනවා. සමහර තැන්ල්වලි හරි පටුත් එක්ක. ටිකක් මහත කෙනෙක් ආව නම් යන්නේ කොහොමද කියලත් හිතුනා. ගොඩක් තැන් වලින් එක සැරේට යන්න පුළුවන් එක්කෙනාටයි. බලන්නකෝ,
ඔය ඈත ලා නිල් පාටට එළියක් පේන්නේ, අන්න එතනින් මේ මාවත ඉවරයි. එතනින් අන්තිමේදි ඉහළටයි යන්න තිබ්බේ, එතනත් ගොඩක් පටුයි. එතනට ආවට පස්සේ "අම්මෝ දැන් නම් ඇති, තවත් නම් බෑ" කියලා නැවතුනා. "තව වැඩි දුර නෑ" කියල පහළට බහින අය අපිව දිරිමත් කලා. වෙලාවට, නැත්තං අපි තාම එතන. අපි එතනින් පොඩ්ඩක් ඉහළට එනකොට මෙන්න මේවගේ ලස්සන ගල් කීපයක් අපිව සාදරයෙන් පිළිගත්තා.
ඔන්න දැන්නම් අපි කන්ද මුදුනටම ඇවිත් තියෙන්නේ. අවට හරිම ලස්සනයි. ගොඩාක් දුරට පේනවා. පහළින් ජනාවාස කීපයකුත් පේනවා. බැලූ බැල්මට අවටින් පේන කදු සියල්ල වගේ මං හිතන්නේ ගැර්ම්පියන් ජාතික වන උයනටයි අයිතිය. බිම් මට්ටමට වඩා ගොඩාක් උස නැති උනත්, අවට හරිම ලස්සනට පේනවා. මට එකපාරටම මතක් උනේ ඇල්ලේ ගල. එතන නම් ගොඩාක් උස තැනක්. දවසක ඒ ගමන් විස්තරෙත් ලියන්නම්කෝ. අපේ වාසනාවට මීදුම තිබුනේ නැති තිසා හිත පුරා පරිසරයේ සුන්දරත්වය විදගන්න අපිට පුළුවන් උනා.
පොඩි බඩගින්නක් ඇවිල්ලා අපි ගෙනා බිස්කට් කීපයකටත් වගකියන්න අපිට සිද්ද උනා. එතන නරඹන්න ඇවිත් හිටපු හැමෝම වගේ මොන මොනා හරි කමින්, එක් එක් ඉරියව් වලින් පින්තූර වලට සහභාගී වෙමින්, ඉතා විනෝදයෙන් කාලය ගත කරමින් හිටියේ හැම දේම අමතක කරලා දාලා, හරියට විභාග ඉවර උනාම ළමයිට හැමදේම අමතක වෙනවා වගේ. මේ විදියට අපි මොහොතක් විනෝදෙන් ගත කරලා පහළට බහින්න පටන් ගත්තා. මේ තරම් දුර ඇවිද්දේ ගොඩාක් කාලෙකින් හින්දා මගේ ගතට හරිම වෙහෙසයි. වැඩිපුරම තිබ්බේ කකුල් රිදෙන එක. මේ කකුල් රිදිල්ලත් එක්ක පහළට බහින එක ටිකක අපහසු උනත් අපි පහළට රූටලා ආවේ ඉස්සර ඉස්කෝලෙ පඩිපෙළ් වල අයිනේ තියෙන ගැටියේ බුරුස් පදිනවා වගේ ඉක්මනිනට. හමුවෙන හැමෝම පහුකරගෙන ටක් ටක් ගාලා අපි පහළට බැහැගෙන ආවා. ඒකට බඩ ඇතුලේ පණුවේ බොක්සින් ගහන එකත් ලොකු රුකුලක් උනා. යනකොට පින්තූර සීයක් විතර ගත්තත් එද්දි ගත්තේ එකම එකයි. ඒ මේ බෝඩ් ලෑල්ලත් එක්ක.
කන්ද උඩට යන්න පැය දෙකක් විතර ගියත් අපි විනාඩි විස්සට පහළ. ආපු ගමන් ඩුක් ගාලා වාහනේ දොර ඇරියා, කෑම ටික ගත්තා, කාගෙන කාගෙන ගියා, ඊට පස්සේ තමයි හුස්මක් ගත්තේ. ඒකත් නිකං හරියට ඉස්සර අපේ ගෙදරට කවුරු හරි නෑදෑ ළමයි එනවනං, කන්ද උඩ ඉදල උවගෙන දුවගෙන එන පිම්ම නවතින්නේ අපේ ගෙදර මිදුලේ තිබ්බ නාරං ගහ උඩට නැගලා, ගෙඩි කීපයක කෑවට පස්සේ වගේ.
අපි කෑම ටික පැක් කරගෙන පටන් ගත්තේ ඊලඟ නැවතුම බලා යන්න. අදට නවතින්නම්, ඊලඟ සැරේ බලමු අපි කොහේටද ගියේ කියලා.