ආයුබෝවන්!
මාස ගානකට පස්සේ මට ඉඩපාසුව හම්බ උනා චිත්‍රයක් අඳින්න. මේ සැරේ ඇන්ඳේ කුමුදු අක්කව. මම මෙතුවක් කල් ඇඳපු චිත්‍ර දැකලා එයාට ආස හිතිල තියෙනවා මට කියල චිත්‍රයක් ඇඳගන්න. ඉතින් ඒකෙ ප්‍රතිඵලයක් හැටියල තමයි මේ චිත්‍රය අඳින්න ගත්තේ. අපි ඒක බලලා ඉමුකො ඉස්සෙල්ලා.
මේ පින්තූරය අඳින්න මම බාවිතා කල වර්ණවත් පින්තූරය මෙතනින් ගිහින් බලන්න පුළුවන්. මේ පින්තූරෙ අඳින්න නම් එච්චර කාලයක් ගත උනේ නෑ. අඩුපාඩුනම් ගොඩක් ඇති ඒත් මම මේ පින්තූරෙට ගොඩාක් කැමතියි. ඒ මට ඕනි විදියට ඒක ඉක්මනින්ම ඇඳගන්න පුළුවන්විච්ච නිසා. ඔයාලා මුල් පින්තූරය ඉතා හොඳින් නිරීක්ෂනය කරොත් පෙනේවි, කුමුදු අක්කාගේ මූහුණ සුමට එකක් නෙවෙයි කියලා. එයාගෙ ඒ මුහුණේ නියම ස්භාවය කොහෝම හරි අරගන්න මට ඕනි උනා. ඉතින් මම ඔක්කොම වැඩ ඉවර උනාට පස්සේ පටන් ගත්තා එයාගෙ වලවල් සහ බිබිලිටික ස්මතු කරන්න. මම හිතන්නේ එයානම් ඒ වැඩේට එච්චර කැමති වෙන එකක් නෑ. මගේ හිතට බයකුත් දැනෙනවා. කොහොම උනත් මගේ උත්සාහය එතරම්ම සාරථක නොවුනත් මේ පින්තූරයේ අවසන් නිමවුම ගැන මම තෘප්තිමත්. මම වෙනද වගේම වැඩිපුරම කැමති එයාගෙ කොණ්ඩෙට ඒවගේම මට අමාරුම උනේ ඇඳුම නිවරදිව අරගන්න.
පහුගිය මාසෙ ලංකාවට ගිය වෙලේ මගේ මේ චිත්‍ර අඳින එක ගැන දුමින්ද මල්ලී ගොඩක් වැදගත් ප්‍රශ්නයක් යොමුකරා,
"අක්කේ හොමද අනේ ඔයා මේ චිත්‍ර අඳින්නේ? විස්තර එකින් එක පෙන්නන්න ගියාම සෑහෙන වෙලාවක් යනවා නේද? මට නම් බෑ එහෙම අඳින්න. එපා වෙනවනේ අනේ. "
"ඔව් වෙලා යනවනම් තමයි ඒත්..." මම එකපාරට කරකලා අතැහැරිය වගේ. දුමින්ද අහපු ප්‍රශ්නෙට හරි පිළිතුරක් දෙන්න හැකි උනේ නෑ මට, යාන්තමට ජාමෙ බේරගන්නවා මිසක්.
"ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ මටත් එපා වෙනවා චිත්‍ර අඳින්න ගියාම. මම ආස නෑ කුඹුරුවල එහෙම චිත්‍ර අඳින්න. එකින් එක අඳින්න ගියාම සෑහෙන වෙලාවක් යනවා, එතකොට ඉතින් ටිකක් වෙලා යනොටම එපා වෙලා අතහැරලා දානවා." මම කීවෙ ඉස්සර මතකයන් අවදි කරමින්.
මම ලංකාවෙ ඉන්න ටික දොහට චිත්‍ර අඳින්න කියල ඕනි කරන හැමදේම ගෙනියලා තිබ්බත් චිත්‍ර ඇන්ඳෙත් නෑ, චිත්‍ර අඳින්න ඕනි උනෙත් නෑ, ආසාවක් තිබ්බෙත් නෑ. නමුත් ආයි මම මෙහෙ ආවට පස්සේ, මට චිත්‍ර අඳින්න ඕනි උනා, ගොඩක් චිත්‍ර අඳින්න ඕනි උනා, ඒ විතරක් නෙවයි ඇන්ඳත් එක්ක. ඒ කොහොම වෙතත් උත්තරයක් දීගන්න බැරිව තිබ්බ දුමින්ද ප්‍රශ්නෙ මගේ හිතේ රැවුපිළි රැව් දුන්නා. මටත් ඒක ප්‍රශ්නයක් උනා. හැබැයි ඉතින් මහෙ ඇවිත් දවසක් දෙකක් යනකොට උත්තරේ නිකන්ම ආවා.
"අපි මෙහෙ ගෙවන්නේ බොහෝම තනිවිච්ච ජීවිත; කැම්පස් එකට යනවා, වැඩ කරනවා, ගෙදර එනවා. ගෙදර හිටියත් ඇතුලෙමයි ඉන්නේ, කරන්න කියලදේකුත් නෑ, කථාකරන්න කියල ගොඩක් කට්ටියත් නෑ (එක්කෙනයි නෙ ඉන්නෙ). අන්න ඒකයි මට පුළුවන් උනේ පැය ගනන් වැය කරලා චිත්‍ර අඳින්න. තනිකම පාළුව නැති කර ගන්න තමයි මේ චිත්‍ර අඳින්නේ. ලංකාවෙදි නම් මේ වගේ දෙයක් කරන්න කොහෙත්ම වෙලාවක් නෑ. පුළුවන් කමකුත් නෑ."
අන්න ඒකයි ඇත්ත උත්තරේ.
කුමුදු අක්කට දීර්ඝායු වේවායි පතමින් අදට නවතිනවා.