Sunday, September 12, 2021

සිංහල ජාත්‍යන්තරයට ගිය වගයි

 පොඩි වචනයක් කියන්නේ හිතුනා යොහානි සහ එයාගේ කණ්ඩායමේ කට්ටිය ගැන. මෑතකාලීන ප්‍රසිද්ධියට පත්වූ මේ ගායිකාව ගැන නොදන්න කෙනෙක් නැති තරම්. මට ඇගේ ගායනයක් මුලින්ම අහන්න ලැබුණේ මීට වසර කීපෙකට කලින්. ඒ, 'මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ'යන මෑශ් අප් එක. ඒක මගේ හිතට ගොඩක් වැදුනා. මම එක ක්ෂණයකින් ඇගේ රසිකාවියක් වුණා. එයාගෙ ගායනය මුල් ගායනයත් එක්ක බලද්දි යම් යම් වෙනස්කම් තිබුනත් මම ඒකට ගොඩක් කැමති වුනා. ඇගේ කටහඬට වශී වුණා කිව්වොත් නිවැරදියි.  එයාගේ ගායනය, රංගනය, මුහුණේ ඉරියව්, ඇදුම් ආයිත්තම්, සහ ඒ දෘශ්‍යමානයට එකතු කරගත් දේ, ඒ ගීතයට ලොකු සාධාරණයක් ඉෂ්ට කළා. නිර්මාණශීලීත්වය උපරිමයි. මේ කෙල්ලට සීමා මායිම් නෑ, සීමා දාලා නවත්තන්නත් බෑ. දවසක ඇය ලෝකය ජයගන්නා බව මගේ හිතේ තදින්ම ලියවිලා තිබුනා.

ඇගේ මධුර ගායනය, විශිෂ්ට නිර්මාණශීලී බව, හා කැපවීම, අපේ මේ මව් භාෂාව වන සිංහල භාෂාව ලෝකයට අරන් ගියා. අපි කාටවත් කරගන්න බැරි වෙච්ච මේ වැඩේ එයා කරා. ඒ ගැන බොහොම ආඩම්බරයි . ලංකාව කිව්වාම ලෝකෙ මිනිස්සු දන්නෙ නෑ මොන භාෂාව ද  අපි කතා කරන්නේ කියලා. මුලින්ම හිතන්නේ ශ්‍රී ලාංකික භාෂාව කියලා. පස්සේ මතයක් ඉදිරිපත් වෙනවා ආ දෙමළ නේද එහේ තියෙන භාෂාව කියලා. මේක මම පෞද්ගලිකවත් අත්දැකලා තියෙනවා. ඔයාලා ටිකක් අවධානයෙන්  බැලුවොත් පෙනෙයි, යොහානිගේ 'මැණිකේ මගේ හිතේ' යන නිලමය cover වීඩියෝවට ප්‍රතිචාර වශයෙන් පිටරැටියන් විසින් කළ වීඩියෝ වල දී, ඒ අය මුලින්ම භාෂාවක් විදිය ලාංකිකයන් කතා කරයි කියලා අඳුර ගන්නේ දෙමළ භාෂාව. එක අතකට ඒක ඛේදජනකයි. රටේ වැඩිපුර ප්‍රමාණයක් කතා කරන්නේ සිංහල භාෂාව වුණත් එහෙම භාෂාවක් තියෙනවද කියලවත් ලෝකෙ මිනිස්සු දන්නේ නැහැ. ඒක අපේම වැරැද්ද. නමුත් දෙමළ කියන භාෂාව සාමාන්‍යයෙන් මිනිස්සු දන්නවා. දකුණු ඉන්දියානුවන් කතාකරන්න දෙමළ කියන එක දන්නවා. ඉතින් අපි කතා කරන්නේ දෙමළෙන් වෙන්න ඇති කියලා එයාලා උපකල්පනය කරනවා. ලංකාව කියලා රටක් තියෙනවා කියන එක ලෝකේ බොහෝ දුරට දන්නවා. නමුත් සිංහල භාෂාව තාම ලෝකෙට ගිහින් නෑ. ඉතින් අපේ මේ සුන්දර භාෂාවෙන් නොයෙක් පිටරැටියන් ගීත රසවිඳිනවා දකින එකම කොච්චර සතුටක් ද. මම බලාපොරොත්තු වෙනවා යොහානි සහ කණ්ඩායම තව තවත් සිංහලෙන් ගීත ගායනා කරාවි, ලංකාවේ මේ සිංහල භාෂාව ජාත්‍යන්තරයට ගෙන යාවි කියලා. එතකොට මිනිස්සු අපි ගැන අපේ මේ භාෂාව ගැන හොයන්න පටන් ගනීවි, කතා කරාවී, ඉගන ගනීවී. 

තවත් සුවිශේෂි දෙයක් කියන්න ඕන. මම ඕන තරම් අහලා තියෙනවා සිංහල ගීත මැද්දට ඉංග්‍රීසි භාෂාවෙන් රැප් කෑලි දාලා කරපු ගායනයන්. නමුත් පළවෙනි  වතාවට මම ඇහුවා මේ අය කරපු ඉංග්‍රීසි ගීතයක්, මැදින් දාපු රැප් එකේ තියනවා ලස්සන සිංහලෙන් යන තැන්. ඒකනම් හීනයක් වගේ. මං කැමතියි මේ වගේ ගීත තව තවත් එලියට එනවා නම්. සඳරුත් මේ වැඩම කරලා තියෙනවා. ඔහුටත් මගේ ආචාරය.

කෙනෙක් හිතන්න පුළුවන් අනේ මෙයාලා අපේ සංස්කෘතිය කනවා කියලා. ඒකට මම එක හෙලාම විරුද්ධ වෙනවා.  අපි රැප් කරන එක ගැන කතා කරමුකෝ. රැප් කරන එක අලුත් දෙයක් නෙවෙයි අපේ ලාංකිකයන්ට. බොහෝම ඉස්සර කාලේ අපේ අය කිව්වා සී පද වර්ගක්. ඒවට කිව්වේ ටීකා සී පද කියලා. නර්තනය ඉගෙන ගෙන තියෙන අය නං ඒ ගැන අහලා ඇති මීට කලින්. අපි දන්නවනේ සී පද කියන්නේ ලස්සනට බොහෝ ඇදලා තාලෙට. නමුත් ටීකාව කියන්නේ ඉක්මනින් ඉක්මනින්. සී පදයේ පද අතර තමයි ටීකා කියන්නේ. ටීකාවයි  සී පදයයි ගත්තම එකම දෙයක් ගැන  දෙවිදියකට අදහස් දැක්වීමක් කෙරෙනවා තාල දෙකකට. මම බොහෝම කැමතියි  ඒවට. ඉතින් රැප් එකක් එක්ක සිංදුවක් කියද්දිත් වෙන්නේ ඒ දේම තමයි. 

සංස්කෘතිය ගැන කියන්න ගිය නිසා තව දෙයක් කියන්නම්. කෙනෙක් අඳින පළඳින විදිය,  එයා කොණ්ඩෙ කපන/සරසන විදිය, ඒක එයාගේ කැමැත්ත. අපි ගායිකාවක් හෝ ගායකයෙක් ගැන විචාරය කරද්දී කතා කරන්න ඕන එයාගෙ ගායනය මොනවගේද, එයාගේ නිර්මාණශීලීත්වය කොයිවගේද කියන එක. ගුරුවරයෙක් ගැන කතා කරද්දි බලන්න ඕන දැනුම ලබාදීම වශයෙන් එයා මොන තරම් දක්ෂද කියන එක. වෛද්‍යවරයෙක් ගැන කතා කරද්දි බලන්න ඕනි එයා ලෙඩ්ඩුත් එක්ක කොහොමද එයාගෙ ගණදෙනු කරන්නේ කියන එක. ඒ ඒ අයගේ පෞද්ගලික විස්තර වලින් අපිට වැඩක් නැහැ. 


ටීකා සීපදයක්

හෙමින් හෙමින් …

තවද ... ඌරන්ට, ගෝනුන්ට, මුවන්ට සාවුන්ට වෙඩි තියන්න වල් පාරක් දිගේ කිට්ටු කරන් යන්නා වාගේ ...

හෙමින් හෙමින් ...  මම ගේකට ... යන කලට ...

එකෙක් ඇවිත් ...

තවද ... අත්තා, මුත්තා, පනත්තා, කත්තා, කිරිකිත්තා, සෝලියා, පාඞයා කාලේ මහා උස් කණාටු පොල් ගසකින් ගෙඩි පනහක් සීයක් සිඳහෙලන්නා වාගේ ...

එකෙක් ඇවිත් ... දුන්නයි මගේ ... පිට මැදට...

එගුටි කකා ...

තවද ... නැන්දා මාමාගේ ගෙදර ගොස් හොඳ හොද්දක් බතක් මාළුවක් පින්නක් කෑවා වාගේ ...

එගුටි කකා ... මං පිට වී ... යන කලට ...

මම්ම මටම ...

තවද ... නැන්දා, මාමා, ආච්චී, ආතා, හූරා නෑනා කෙනෙක් සමඟ සංතෝස වේලාවකදී කොක් හඬලා සිනාසෙන්නා වාගේ...

මම්ම මටම ... ඉල ඇට නැත ... හිනැහෙන්න ...





5 comments:

  1. මේ සියලුම අදහස් සමඟ එකඟයි! ඇත්තටම සිංහල භාෂාව මෙහෙම ජාත්‍යන්තරයට ගිහින් පැසසුම් ලබනවා අහන්න පුදුම ආසයි.
    සී පද සහ ටීකා ගැන විස්තරයටත් ස්තූතියි! මට ඒක අලුත් දැනුමක්.

    ReplyDelete
    Replies
    1. ටීකා සීපදයක් අහල බලන්න ඕං

      https://youtu.be/ppzqNieGteI

      Delete
  2. සිංහල මැදට ඉංග්‍රීසි රැප් දාපු සින්දු හරියට තියෙනවනේ , මෙයාගෙත් අර ගිටාර් එක ගගහ කියන සින්දුව ලස්සනයි

    ReplyDelete
  3. ස්තුතියි. ඉන්ටරෙස්ටින් , ඉන්ෆොමටිව් පෝස්ට් එකක් කෙටියෙන් ලියල. දුලබ හැකියාවක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රා ජේ. මම හිතන්නේ මගේ රැකියාවත් එක්ක තමයි මට ඒ හැකියාව ආවේ කියලා.

      Delete