Sunday, September 19, 2021

දුර්වලතා දක්ෂතා බවට

 ඔව් අදත් කතාව පටන් ගන්නේ යොහානිගෙන්. පේනවනේ ඇයව කොච්චර හිතට කාවැදිලද කියලා. ඇයට තියෙන්නේ ඇයටම ආවේනික ගායනා විලාශයක්. මම මුල්ම වතාවට රසවිදි ඇගේ 'මට ආලෝකේ ගෙනදේවි' මෑශ් අප් කවර් එකෙන්ම ඒක මට පැහැදිලි උනා. මුල් ගායනයට වඩා විශාල වෙනස්කම් ඇගේ ගායනයේ ඇති බව මම සංගීත හදාරපු නැති කෙනෙක් වුනත්, මට අවබෝධ වුණා. එදා මට හිතුන දෙයක් තමයි මෙයා ඇගේම සිංදුවක් කරොත් එය බෙහෙවින් සාර්ථක වේවි, අන් අයගේ සින්දු කියන එකට වඩා ‍යන බව.

දින කීපයට කලින් මට ඉඟියක් ලැබුණා ඇගේ ගායන ශෛලියේ වෙනස්කම සම්බන්ධයෙන්. ඒ ඇය හා නුවන් කළ 'සයුරේ' යන මෑශ් අප් එක අහද්දි. මෙතැනදී ඇය සයුරේ, අඹ යාළුවෝ, උන්මාද වූ යන ගීත තුනෙන් කොටස් ගායනා කරනවා. ඒ ගීත තුනම මම බෙහෙවින්ම ප්‍රිය කරන ගීත. සමහර ගීත අපේ මතකයේ රැඳිලා තියෙන්නේ ඒ ගීතය මුලින්ම ගායනා කළ ගායිකාවගේ හෝ ගායකයාගේ හෝ කට හඬත් එක්ක. ඇගේ අඹ යාලුවෝ ගීතයේ කොටසට මම කැමැති වුණත්, අනිත් ගීත දෙකේ මුල් ගායන ශිල්පිනියන්ගේ ගායනය වඩාත් හොඳ බව මට හිතුනා. නමුත් නුවන්ගේ ගායනයට මම කැමති වුණා. ඔන්න එතකොට ප්‍රශ්නයක් මතුවෙනවා,  'ඇයි යොහානිගේ ගායනයන් මම ප්‍රිය කරන නමුත් මේ ගායනය මගේ හිතට ඇල්ලුවෙ නැත්තේ?'. නුවන්ගේ ගායනය හරිම සුමටයි. ඔහු ගායනා කරගෙන යද්දී වචන අතර එයාගේ හඬ වෙනස් වීම සුමටයි, අඛණ්ඩයි,  මට සිලිටුයි. නමුත්, යොහානිගේ ගායන අලංකාර ගනිද්දී හඬෙහි අසන්තත බවක්, රළු බවක්, වෙන් වූ බවක් තියෙනවා. ඇයගේ ගායනයේ එකපාරම හඬ උස් පහත් වන අවස්ථා එමට තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් ගායකයෙක් හෝ ගායිකාවක් හෝ එවන් ගායන ශෛලියක් අනුගමනය කරන්නේ නැහැ. උදාහරණයක් විදියට අපි භාෂාවක උච්චාරණ විලාසය පැත්තෙන් හිතුවොත්; සුමට ඇමරිකන් ඉංග්‍රීසි කතා විලාශයයි, ටිටක් රළු ඔස්ට්‍රේලියානු ඉංග්‍රීසි කතා විලාශයයි වගේ. ගණිතයෙන් හිතුවොත්; සාමාන්‍යයෙන් ගායක ගායිකාවන්ගේ ගීත ගායනයේදී හඬ උස් පහත් වීම හරියට නිකන් ගලාගෙන යන්නේ සයිනාකාර තරංගයක් වගේ, නමුත් යොහානිගේ ගායනයේදී හඬ උස් පහත් වන්නේ හරියට නිකං හෘද ස්පන්දනය ප්‍රස්තාර ගත කළා වගේ.

ඉතින් එයාගෙ මේ වෙනස නිසා සමහර විට එයා වෙන කෙනෙක්ගෙ ගීතයක් ගායනා කරද්දී, එය මුල් ගායනයට වඩා හොඳ හෝ නරක හෝ වෙන්න පුළුවන්, ඒ ගීතයේ ස්වභාවය අනුව. උදාහරණයක් විදිහට සතීශන්ගේ 'මැණිකේ මගේ හිතේ' ගීතය, ඔහු ඉතා සුමට විදියට ගායනා කරනවා. නමුත් එම ගීතයම යොහානි ගායනා කරන විදිය වෙනස්. ඇය ක්ෂණික හඬ උස්පාත් කිරීම් වලින් ගන්න තානාලංකාර නිසා ඒ ගීතයේ රසවින්දනය  සෑහෙන්න ඉහළ නැංවෙනවා. ඒ ගීතය මෙච්චර ප්‍රසිද්ධ වුණේ  ඒ හින්දයි. ඉතිං මම තීරණය කරා ඇයගේ ගායන ශෛලියට ගැලපෙන ගීත ගායනා කල විට ඉතා සාර්ථක මුළු ලෝකයක් ආදරේ කරන නිර්මාණ වන වග.

අපි අපේ දක්ෂතා/දුර්වලතා අඳුරගෙන ඉන්න එක හරි වැදගත්. මගේ ඇති ගති ලක්ෂණයක් සාමාන්‍යයෙන් දුර්වලතාවයක් ලෙස සැලකුණත් එයම මගේ දක්ෂතාවයක් කරගන්න එක මගේ වැඩක්. උදාහරණයක් විදියට මේ කතා ලියන එක හරි කම්මලි වැඩක්. ඒ නිසා මං පුරුදු වෙනවා එහි රසය පවත්වා ගන්න ගමන්ම සංක්ෂිප්තව ලියන්න. එතකොට මගේ කාලයත් ඉතුරුයි, බලන කෙනාගේ කාලයත් ඉතුරුයි. 


මෙත්මා

2020 සැප්තැම්බර් 19









3 comments:

  1. ඇත්තටම යොහානිගේ කටහඬ unconventional.. ලංකාවේ බහුතර ගායක ගායිකාවන් උත්තර භාරතීය සංගීත පුහුණුව ලබල ඔවුන්ගේ හඬ ඉතා සුමට ලෙස ගීත වල භාවිතා කරනවා.ඒ conventional පුහුණුව නිසාමදෝ ඔවුන් අතර යම් ඒකාකාරි බවක් තියෙන්න ඇති. ඒත් යොහානි ඒක උඩු යටිකුරු කරනවා.. ඇයගේ unconventional කමම වෙන්න ඕන ඇයගේ මේ ජනප්‍රියත්වයට හේතුව

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒකම තමයි මගෙත් අදහස.

      Delete
  2. ඒක ඇත්ත , තමන්ගේ දක්ෂතාවය හඳුනා ගැනීම

    ReplyDelete