මීට වසර ගාණනාවකට කලින් මම යනවා එක්තරා දොස්තර වරයෙක් මුණ ගැසෙන්න. මම ආ කාරණාව පැත්තකට දාලා, එයා මට ලෙක්චර් එකක් දෙනවා සමාජයේ බහුල දක්නට තියෙන මාරාන්තික ලෙඩ, ඒවා ඇති වීමට හේතු, රෝග ලක්ෂන මතුවන අවස්ථව, ඒවා වලක්වා ගත හැකි ක්‍රම ආදී දේවල් සම්බන්ධයෙන්.
"ආනේ බලන්නකෝ, මේ හොඳට හිටිය කෙනා නේ, එක පාරටම හාට් ඇටෑක් එකක් ඇවිත්නේ නැති වෙලා තියෙන්නේ"
" පෙණහලු දෙක ගන්නම දෙයක් නැහැලු, හොඳටම සවුත්තු වෙලා කියන්නේ"
මෙවන් වදන් අපිට ටිකක් හුරුපුරුදුයි නේද? හාට් ඇටෑක් ඒමත් පෙණහලු නරක් වීමත් එක පාරට වෙන දෙයක් බව සමාජය හිතන්න පුරුදු වෙලා ඉන්නේ, මේ දේවල් මතුවට එන බවට කිසිම ලක්ෂණයක් කලින් නොපෙන්වන නිසා බව මේ දොස්තර මට දැන් දිගින් දිගටම පැහැදිලි කරනවා.
උදාහරණයක් විදියට කියනවා නම්, හර්දයේ රුදිර නාල එක පාරටම අවහිර වෙන්නේ නැහැ, කාලයක් තිස්සේ අපි ගන්න ආහාර පාන වල බලපෑම නිසා, ටිකෙන් ටික බොහොම හිමින් තමයි අවහිර වේගෙන එන්නේ. ඒත් රුදිර නාලය සම්පූර්ණයෙන්ම වාගේ අවහිර උනාම තමයි හාට් ඇටෑක් එක එන්නේ. එතෙක් කල් මෙවන් දෙයක් අපේ ශරීරය තුල සිදුවෙමින් පවතින බවට අපිට කිසිම රෝග ලක්ෂණයක් පෙනෙන්නේ නැහැ.
පෙණ්හල්ලත් එහෙම්ම මයි. එයින් 95% ක් විතර අකර්මණ්‍ය වෙනකල් අපිට කිසිම රෝග ලක්ෂණයක් පෙන්නන්නේ නැහැ. ඉතින් අපි අවුලක් නෑනි කියලා හිතලා තවත් දුම් බිබී කැහැ කැහැ විනෝද වෙනවා. නමුත් ලෙඩේ අඳුර ගන්නකොට වෙන්න ඕනි ඔක්කොම වෙලා ඉවරයි. එය සුවපත් කරන්න බැරි තැනට පත් වෙලා. එතකොට අපි පරක්කු වැඩියි.
"අනේ අපේ රටට මොකද්ද මේ එක පාරටම උනේ, හොඳට තිබ්බ රටනේ?"
"අපේ අම්ම මුත්ත කාලෙවත් මෙහෙම පෝලිම් තිබ්බද?"
"කොයි ආණ්ඩුවකදි වත් මේ තරම් බඩු මිල වැඩි වෙලා නෑ"
මට පේන්නේ රටක් වුනත් හැසිරෙන්නේ හරියට පෙණහල්ලක් වගේ රුධිර නාල වගේ. අපි කවුරුත් හිතුවේ අපේ රට සංවර්ධනය වෙමින් පවතින, කිසීම ප්‍රශ්නයක් නැති රටක් කියලා. ඔන්න දැන් එයා අපිට පෙන්නවා රට කඩාගෙන වැටෙන ලක්ෂන. පේන හැටියට ජන ජීවිතේ එන්න එන්නම අඩාල වෙන්නයි යන්නේ. මේ ප්‍රශ්නයට විසදුමක් පේනතෙක් මානෙක නෑ.
මතුපිටින් බලලා හිතන්න එපා, අපේ රට එක පාරටම කඩා වටුනා කියලා. ආර්ථිකය කඩා වැටුනේ ටිකින් ටික. රුපියලේ අගය අඩු වුනේ ටිකින් ටික. කර්මාන්තය ශාලා එකින් එක වැහීගෙන යනකොට, ආනයන වැඩි වෙනවා. කාලයක් තිස්සේ ණය අර ගෙන කාලා බීලා ජොලි කරපුවගේ රඟ දැන් කාට කාටත් දැනෙන්න අරන්.
රටක් සංවර්ධනය කරන එක පහසු වැඩක් නෙවෙයි. ඒකට උනන්දුව, කැපවීම්, දේශීය නිෂ්පාදන, කර්මාන්ත සහ ව්‍යාපාර නගා සිටුවීම, නාස්තිය අවම කිරීම, උපාය ශීලී බව වගේ ගොඩක් කරුණු අත්‍යාවශයයි. බොහොම සතුටින් හිතේ සැනසීමේ ජීවත්වන මිනිසුන් ඉන්න රටක් වේනම්, ඒ රටේ මිනිස්සු එතරම් හොඳින් ඉන්නේ කාලයක් තිස්සේ බොහො මිනිසුන් කල කැපවීම් මහන්සි වීම් වල ප්‍රතිඵලයක් වශයෙන්. රටක් වැටෙන එකත් එහෙම්මම්යි.
අපේ රටේ දක්ෂයෝ ගොඩක් ඉන්නවා. ඒත් ඒ අයගේ දක්ෂතා වලට එලියට එන්න ඉඩ දෙන්නේ නෑ, ඔවුන්ට අත දෙනවා වෙනුවට බිමට ඇදලා දනවා. නාස්තිය උපරිමයි, දේශීය දේට අගයක් නෑ. ඉතිං අපේ අය එයාලට අගයක් දෙන පිට රටකට එයාගේ දැනුම විකුණනවා.
2022 අප්‍රේල් 22
No comments:
Post a Comment