Friday, February 19, 2016

ගොයම් කවි

හේමමාලී භාග්‍යා නඟා ලියු අපේ පැත්තෙ ගොයම් වගාව III,  හා III කොටස් සියල්ල කැටිකර මගේ මතකයන්ද අවදි කරමින් ලියවුනු කවි...
 
  
  දිය දමලා බේත් අනල යාං                  කරන්නේ
  මුල් ඇදලා ගොනුවීලා පැලවී               එන්නේ
  ගොණු ලිහලා වෙන් කරලා වෙලට   ගේන්නේ
  බිම සකසා වතුර බැඳල තවන්           කරන්නේ

   බිම කොටලා බිම හාලා වතුර     බඳින්නේ
  උස බලලා හැඩ කරලා ලියදි     හදන්නේ
  මඩ තියලා වැඩ දාලා වේලි       බඳින්නේ
  දිය බැඳලා මඩ කරලා පෝරු      ගාන්නේ

   කල් බලලා මුල් නොකඩා පැල     ගලවන්නේ
  වතුර දමා දිය කරලා මඩ              සෝදන්නේ
  ගොණු කරලා මිටි බැඳලා ගොයම් දිලෙන්නේ
  මඩේ එරිලා ලියදි පුරා ගෙනත්        තියන්නේ

  එකතුවෙලා හිනහ වෙලා මඩට      බහින්නේ
  බුදුන් වැඳල දෙවි සිහිකර වැඩ       අරඹන්නේ
  පැල අරගෙන දෙකට නැමිල හදන්න ගන්නේ
  වමතෙ තියා දකුණු අතින් ගොයන්    හදන්නේ

  දෙකට නැමිල පැල හිටවල කොන්ද    රිදෙන්නේ
  වතුරෙ ඉදල සීත වෙලා කිබුහුම්              යන්නේ
  උදේ ඉඳල අව්වෙ ඉඳල අපි             කරවෙන්නේ
  මඩේ එරිලා එපා වෙලා එතන         වැටෙන්නේ

  තේ හදලා රොටී හදල අම්මා            ගේන්නේ
  ඇය දැකලා  සතුටු හිතිලා ගොඩට ඇදෙන්නේ
  වෙහෙස වෙලා වැඩ කරලා විවේක    ගන්නේ
  තේ බීලා හිනා වෙලා ආයි               හදන්නේ 

  කොක්කු රෑන මාන බලල කෑම       සොයන්නේ
  හවස් වෙද්දි ගොයම හදල ඉවර         කරන්නේ
  උදේ ඉඳල මඩේ එරිලා කකුල්           රිදෙන්නේ
  නැවිල ඉඳල කොන්ඳ කැඩිලා වගේ  දැනෙන්නේ

  පඳුරු ගහල නිලට නිලේ ගොයම  දිලෙන්නේ
  කුඹුරු දිහා දිගට බලා ඉන්න        හිතෙන්නේ
  වල් හැදිලා ගොයම් ගහට උඩින්    පේන්නේ
  වල් ගලවා විසි කරලා එන්නට         යන්නේ

  ගහ හැදිලා බන්ඩි ගොයමෙ මල්     පීදෙන්නේ
  කිරි වැදිලා  කරල් දිලී හිත්           සැනසෙනේ
  කරල් පැහිල රන්වන් වී බිමට     නැමෙන්නේ
  හතර වටින් කුරුළු කොබෙයි රෑන් ඇදෙන්නේ


 ප.ලි. : නඟාගෙ ලිපිවලට අදහස් දක්වන්න ගිහින් ලියවුනු කවි. 

Tuesday, February 16, 2016

එකොළොස් වැන්න: ග්වංහේ

ආයුබෝවන්!



          චරිත දෙකක් සිතුවම් කල 'හොවජොං' ටෙලි            නාටකයේ
          තුන්වැනුවට සිතුවම් කල ඒ චරිතෙයි අද             ගෙනෙන්නේ
          රජෙක් වෙලා කිරුළු පැලන් උන්නු 'ග්වංහෙ' ගැන    කියන්නේ
          'චා සොන් වොන්' තමයි ඔන්න මේ චරිතෙට පණ පොවන්නේ

          'චා සොං වොන්' හරි දක්ෂයි ඒවගේම         හැඩකාරයි
          පෞරුෂත්වයෙන් ඉහළයි ග්වංහේ චරිතෙට  ගැලපෙයි 
          ග්වංහෙ කුමරුවන් නිපුණයි උපායඥානෙන්       සපිරියි 
          රට පාලනයට සූරයි රටවැසියට හරි                 අදරෙයි


          තරුණ වයසෙ ඈයො හින්ද මම ඇන්ඳේ දිගින්  දිගට
          මැදි වයසේ ග්වංහෙ ඇන්ඳා ඉදිරි පියවරක්    හැටියට
          ගාම්බීර පෙනුම එක්ක ග්වංහෙ ඉන්න       උජාරුවට
          මේං මේක තමයි ඕං තෝරගත්තෙ මං            අඳින්ට





          පරිමාණය ඉහළ දැම්මෙ තොප්පිය මුදුනෙන් කැපුනත්
          පුංචි පුංචි විස්තර පොඩි ඔපමට්ටම් දමන         නිසාත්...
          දකුණට ගත්තේ රූපය සමබරතාවය              බිදුනත්
          වම් පැත්තට හැරුණු මුවට ඉඩ පොඩ්ඩක් ඕනි  නිසත්...

          කැමරාකරණයේ රහස් කියනවනම් තවත්       ටිකක්
          පින්තූරේ හරි මැද ඇති දකුණැස හරි හැඩයි     නේද...
          කඩදාසියෙ තුනෙන් එකක් ඉහළ සිටත් දකුණෙ සිටත්
          තියෙනා තැන ඇති සැරසිල්ලේ ලස්සන      පේනවාද...

          රවුම් නහය ඒ විදියට ඇවිත් තියේවියි            හිතෙනව
          ඇස් වල, ඇහි බැමි වල හැඩයත් හරියැයි මට හැගෙනව
          මුවෙහි රැඳුනු සිනහ රැල්ල, කම්මුල් හැඩවී    පෙනෙනව
          ලස්සන හැඩ රටා සපිරි ඇදුම අගේමැයි         දැනෙනව

          තොප්පියෙ ලස්සන ස්මතු කරනා ඒ           සැරසිල්ලේ
          ඉගනගමින්, හැඩ දමමින්, ඇන්ඳෙ නිවී     හැනහිල්ලේ
          තොප්පියෙ වර්ණ දමනා විට අයියෝ එය බොඳව  ගියේ
          ආයි අඳින්නට ගත්තේ බනිමින් මටම            මෝඩියේ

          ඇස්වල හැඩය ආවත්  විස්තර         මදිය 
          මුනුණේ රැවුල් ඇන්ඳත් පිළිවෙලක්  නැත
          මුව ලස්සනයි හිතුනත් එහි වැරදි      ඇත
          කොච්චර මොනා කෙරුවත්   අඩුපාඩුමය

          අපේ.. නංගියෙක් කීවේ සිනහ         සලා
          සිතුවම්වල ඇස් අගනේමැයි          කියලා
          චීන ඇසුත් මම ඇඳලලු නියම          විනා
          ඔබටත් සිතෙන්නෙයි එය ඇත්තක්ය කියා?




Tuesday, February 9, 2016

සුරංගගෙ ඇඩ් කයියට කොමෙන්ට් කයියක් ඇඩ්එකක් විදියට


             බ්ලොග් ලියන්නට ගත්තේ මේ දෙසැම්බරේ

             චිත්‍ර ටිකක් ගෙන ආවා සැරින්          සැරේ

             යාං හෑලි ලියන සුරං                    රත්නපුරේ

             රසම රසට කයි ලියලා මෙදා              සැරේ



             කයි කීවම මොනවා කන්නද            බැලුවා

             ශ්‍රංගා කාපූ කෑමක් වත් දෝ             බැලුවා

             එකක් දෙකක් කියවනකොට පද        ඇදලා

             තියේ බොලේ කවියෙන් ඇඩ් හැඩ     දමලා



             පුංචි කාලෙ උනු විත්තර ලියන             එකා

             කයියක් ගොතා ගෙයි විස්තර කියනු     සිතා

             ටීවී එකේ ඇඩ් ගැන ඇඩ් එකක්            දමා

             මැව්වා සිනා සාගරයක් අපෙ             ශ්‍රංගා



             ශ්‍රංගා කියයි හැඩ දා ලස්සන            කරලා

             ඇඩ් හොඳයිලු නාටකයට වඩා           මෙදා

             ගිහිංබලන් ඇඩ් කියන්නෙ මොනා      කියා

             හිනා වේවි බඩ අල්ලං අනේ                ඔයා



             කයිත් ඇහුව මේ වගෙ කයි අහල       නැතා

             කවිත් ලීව මේ වගෙ කවි ලියල          නැතා

             ඇඩුත් බැලුව මේ වගෙ රස දැනිල      නැතා

             හෑලි හොඳා කවි ඊටත් වැඩිය            හොඳා



             කීවේ නෑ කියල ආයේ කියනු               එපා

             ඇඩ් විස්තරේ තව කොටසක් දානු     හොඳා

             චූටි මැණිකෙ හා සමගින් පවුල්           කකා

             ඉනුමැන සුරං ඇඩ් බල බල හිනා        වෙලා






Thursday, February 4, 2016

අපේ නිදහස් උත්සවය

ආයුබෝවන්!

අද (2016 02 04) අපේ නිදහස් දිනයයි. ලංකාවේ සෑම තැනකම වාගේ නිදහස් උත්සව ඉතා උද්‍යෝගයෙන් යුතුව පැවැත්වෙයි. අපේ සුන්දර ලංකාවෙන් පිට, පිට රටක දැනට ජීවත්වන මා, නිදහස් උත්සවයකට කිසියම්ම හෝ සම්බඳවීමක් නොවූ එකම වසරද මෙයයි. අද මම මුහුණු පොතේ පිටුපෙරළන අතර මට නිදහස ගැන අපූරු සිතුවිලි පහළ වෙන්නට පටන් ගත්තා. ඒ සිතුවිලි අපූරු මල් ඔස්සේ ඔබ වෙත දිගහරින්නත් සිත් උනා. මේ දින කීපය ඉතාමත් කාර්‍යබහුල උනත්, මගේ ආචාර්‍ය උපාදියේ 'යෝග්‍ය වීමේ වාර්ථාව' ලියාගන්න ප්‍රමාණවත් කාලයක් නැතිව ආතතියෙන් පෙළුනත්, ඒ ඔක්කොම අමතක කරල දාල, මේ ලිපිය අද කොහොමහරි ලියන්ඩ ඕනි කියල ලියන්න පටන් ගත්තා.


මේ පින්තූරය ලබා ගත්තේ රන්ජන් රාමනායක ඇමතිතුමාගේ පුහුණු පොතෙන් 

"මොකද්ද මේ 'නිදහස' කියන්න?"


"හරිම සරල ප්‍රශ්නයක් නේ, නිදහස් කියන්නේ අපිට ඕ...නි විදියට ජීවත් වෙන එකනේ. "


"හරි එතකොට මොකටද නිදහස 'සමරන්නේ'?"


"හ්ම්ම්.... ඒකනම් ටිකක් වැදගත් ප්‍රශ්නයක් වගෙයි. ආ ඒ සමරන්නේ අපි හරියටම මීට වසර 68කට කලින් යටත් විජිතයක්ව තිබුන අපේ රට ඉංගීසි ජාතිකයන්ගෙන් බේරගෙන අපේ නිදහස නැවත ලබා ගත්ත නිසානේ."


"ඒක හරියට පැහැදිලි උනේ නෑ. හරි, නිදහස ලබාගත්තා කියල අපි මොකටද ඒක 'සමරන්න'?"


"අයියෝ හරි සරලයිනේ. අපිට නිදහස ලබා ගත්ත එකට සතුටු නිසානේ සමරන්නේ."


"එකකොට ඇත්තටම අපිට නිදහස ලැබුනද?"


"ඒක ටිකක් කල්පනා කරන්න ඕනි ප්‍රශ්නයක්...."


නිදහස සමරනව කියල අපි මොකද්ද කරන්නෙ? නිදහස් උත්සවේ දෙකට කඩාගෙන හරි ඒ ස්මරණය කරන එකේ තියෙන ප්‍රයෝජනය මොකක්ද? එය හුදෙක් අපේ නිදහස අපිට අගෙයි කියා ලෝකයට පෙන්වීමක්ද? නැතහොත් තවත් එක් පාටියක් පමනක්ද? මීට වඩා කරන්න කියල අර්ථ සම්පන්න දෙයක් ඇත්තෙම නැද්ද?


මේ ආදී නොයේක් සිතිවිලි ගණනාවකින් මගේ හිත පිරිල ගියා. 


අද අපි පිරිස් වශයන් එකතු වෙනව, නිදහස ලබාගත්ත එක සිගිකැඳව ගන්නව, ඒ ගැන යම් යම් කථා ටිකක් කරනව, ඊට පස්ස බෝජන සංග්‍රහයක් තිබ්බොත් ඒකත් බුක්තිවිදල ගෙදර එනව. ආයෙ හෙට වෙනකොට ඒ ඔක්කොම අමතකයි, ආයි මතක් වෙන්නෙ ඊලග අවුරුද්දෙදි.


1815 ඉංගීසි ජාතිකයන්ගේ යටත් විජිතයක් උන, ස්යංපෝෂිතව තිබූ අපේ රට, අද තුන්වෙනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින (නොදියුණු) රටක් වෙලා. ඇයි අපිට එහෙම උනේ? මීට වසර ගණනාවකට ඉහතදී අපිට වඩා දිලිඳු රටවල් අද අපිව පහුකරන් ගිහින් (උදාහරණයක් විදියට කොරියාව). එදා අපි නොදියුණු ගම්මාන වලට කොරියාව කියල කීව, දැන් අපේ රටේ මිනිස්සු පෝලින්ගැහිල කොරියාවෙ යනව රස්සවල් හොයන්. කාලයක් තිස්සෙ මම මේ ගැන කල්පනා කලා.  


කොරියාවෙ නිශ්පාදනය කරන ටෙලි නාට්‍ය බෙහෙවින්ම සිත් ඇදගන්නා සුළුයි. මම කාලයක් තිස්සෙ ඒව බලන්න ඇබ්බැහි වෙලා හිටිය. ඒ කථා මම ගොඩා...ක් රස වින්ද. ඒත් එක්කම මම ගොඩා...ක් දේවල් ඉගන ගත්තා. එයින් එකක් තමයි මම මේ කියන්න යන්නෙ.


මම දැඩිවම විශ්වාස කරනවා අපේ රටට අද මෙවන් විපතක් සිදුවූයේ, අපි 'වසර 133ක් යටත් විජිතයක්ම' සිටි නිසාමයි කියල. ඔවුන් අපේ රට යටත් කරගෙන අපේ උරුමයන් විනාශ කලා, අපේ ජීවන රටාව වෙනස් කලා, අපේ පැරණි තාක්ෂනික දැනුම නැතිකරල දැම්මා. මෙවන් දීර්ඝ කාලයක් ඔවුන් යටතේ හිටි අපි නිදහස ලබාගන්නකොට, අපේ රජ පරපුර නැත්තටම නැතිවෙලා, කලින් අපි රට පාලනය කරපු විදිය හොයා ගන්නවත් නැහැ. ඒ නිසා අළුතින් බිහි උන නායකයින්ට සිද්ද උනා, අපිට අපේ ක්‍රමයට රට පාලනය කරන එක පැත්තකට දාල, අපේ පැරණි ජීවන රටාවෙන් වෙනස් වෙලා, ඉංගීසි ජාතිකයින් ස්ථාපනය කළ ක්‍රමයට රට පාලනය කරන්න, ජීවත් වෙන්න. අද අපිට මේ පාලන ක්‍රමය තිත්ත වෙලා නේද? අනේ අපිටත් රජ්ජුරුවො කොනෙක් හිටියනම් මෙහෙම කලකිරීමක් ඇතිවෙන එකක් නෑ කියල මට හිතෙනව. 


 ඉතින් අපිට සැබවින්ම නිදහස ලැබිලද?



අපේ දැණුම අපෙන් ඔවුන් ඈත් කලා. අපේ තිබුන දියුණු තාක්ෂනික ක්‍රමවේද, නොයෙක් කලාවන් යනාදිය අපිට නැති උනා. මීට වසර 201කට කලින් හිටිය මිනිස්සු ජීවත් උනේ කොහොමද කියල අද ඉන්න කාටවත් හිතාගන්නවත් බැහැ. සමහර විට අපෙන් ගිලිහුනේ මොනාද කියලවත් අපි දන්නෙ නෑ. ඉතින් අපේ දෙයක් කියල දෙයක් අපිට නැති නිසා, අපිට සිද්ද උනා ඔවුන්ගේ ක්‍රමයට ජීවත් වෙන්න. ඔවුන්ගේ අධ්‍යාපනය ලබා ගන්නට. ඔවුන්ගේ පාලන ක්‍රමවේද අනුගමනය කරන්නට. කොටින්ම කියතහොත් ඔවුන් මත යැපෙන්නට. 


හ්ම්ම් බරපතල වැඩිද මන්ද....?


මම හිතනව ඒ නිසයි, අද අපේ රටේ බහුතරයක් ජනතාව අපේ රටට ආදරේ නැත්තෙ කියල. රටට අදරේ නැති නිසාමයි  රට විනාශ කරන්නෙ, පරිසර වාර්ථා වලට අනුව ක්‍රියාත්මක නොකලයුතු ව්‍යාපෘති (උමා ඔය ව්‍යාපෘතිය, හම්බන්තොට ගුවන්තොටුපල, විල්පත්තු වන් විනාශය, ආදී) නොනවත්වාම කරගෙන ගියෙ/කරගෙන යන්නෙ. රටට ආදරේ නැති නිසාමයි රටට අවනම්බුබන දේ කරන්නෙ. රටට ආදරේ නැති නිසාමයි මෙච්චර ලස්සන, ජීව්ත් වෙන්න ඉතාමත් සුදුසු ස්වාවික පරිසරයකින් හෙබි අපේ සුන්දර ලංකාව හැරදාල පිටරට පදිංචිවෙන එක අගය කරන්නෙ.  දැන් ඉතින් කෙනෙක් අහන්න පුළුවන්, 'අපේ රටේ  ජීවත් වෙනවට වඩා සුපෝඛබෝගී ජීවිතයක් වෙන රටකදි ගෙවන්න පුළුවන් නිසානෙ අපි රට පදිංචියට යන එක අගය කරන්න, ඒකෙන් කොහොමද කියන්න අපි රටට ආදරේනෑ කියල?' කියල.  එහෙමනම් මට කියන්න, ස්වාමියෙක් මොනතරම් තමුන්ගෙ බිරිදගෙ අඩුපාඩු තිබුනත් ඇයටවඩා  ගුණවත්, නැණවත්, ලස්සන කාන්තාවන්, ඇය ඉදිරියේ වර්ණනා නොකරන්නෙ ඇයට තියෙන ආදරේ නිසාම නොවේද?


අතුරු කථා නිසා කියන්න ආ කාරනේ අමතක වේගෙනත් යනව. මට මෙතනම නින්ද යන්න කලින් කියන්න ඕනි කියන්න ආ කාරණය.


රට විනාශ වෙන්නෙ රටට ආදරේ නැති නිසා. රටට ආදරේ නැත්තෙ අපේ දේ අගයක් නැති නිසා. අපේ දේ අගයක් නැත්තෙ අපි අපේ දේ නොදත් නිසා (උදාහරණ විදියට: පැරණි තාක්ෂනික ක්‍රම (වාරි මාර්ග, ඉන්ගිනේරු,), අපේ හෙළ වෙදකම, සටන් කලාව, පැරැන්නගේ දැනුම, ආදී). කරන්න ඕනි මොකද්ද කියන එක දැන් හරිම පැහැදිලියි නේද?


මම හිතන විදියට අපි මුලින්ම කරන්න ඕනි අපේ දේ අපි දැනගන්න එක. අපේ පැරැන්නගේ ශිල්ප කොහොන් හෝ අප සොයා ගන්න ඕනී. අපි අපේ තාක්ෂනය දියුණු කරන්න ඕනි. අපි අපේ දේට ආදරේ කරන්න ඕනි, හැමදේම පිට රටින් එනකං බලන් ඉන්නෙ නැතිව. අපි අපේ දේ අගය කරන්න ඕනි, පිටරට වල සංකෘතීන් වැළඳ ගන්නෙ නැතිව. කොටින්ම කියත හොත් අපි අපේ විදියට ජීවත් වෙන්න ඕනි.


මට හැගෙන පරිදි මෙවන් දේ නොවේද අපි මෙවන් දිනයකදී කථා කලයුත්තේ, සොයා යා යුත්තේ, කරන්නට ඉටා ගත් යුත්තේ, නිදසස් උත්සව වලදී මෙවන්දේ කරන්නෙ කෙසේද කියා නොවේද සාකච්චා කල යුත්තේ?


මේ ගැන හිතන්න යමක් කරන්න ඔබට බාරයි.


තෙරුවන් සරණයි!