Sunday, February 4, 2018

හමුවූවත් හැමදාමත්...

හමුවූවත් හැමදාමත් - අපි නෑ හමුවන්නේ
වෙන්වූවත් හැමදාමත් - අපි නෑ වෙන් වන්නේ

සසරක අතර මගකදී  - අපි හමුවෙන්නේ
පැතුමක බලය වැඩියි - නෑ වෙන් වෙන්නේ

කඳුලක් හංගාගෙන - දෙතොලින් හිනැහෙන්නේ
සුසුමක් ලෙස ඇවිත් - තුරුලට වී ඉන්නේ

මෙත්මා 
2005 අගෝස්තු



මේක මම වසර 12කට විතර කලින් ලියපු ගීතයක්. මගේ පළවෙනිම ගීත රචනය. බොහොම අමාරුවෙන් මතක් කරලා තමයි අන්තිම පද හතර මතක් කරගත්තේ. ඒ දවස් වල මම මේ ගීතය ලීවත් මගේ ලඟ අදටත් එහි පිටපතක් නම් නැහැ. සමහර විට අපේ ගෙදර මගේ පොත් අස්සෙ තියෙන්නත් පුළුවනි. නොතිබෙන්න සම්බ්හාවිතාවය තමයි වැඩි. ඒ කොහොම වුනත් අඩුතරමේ මේ සැරේ ලංකාවට ගිය වෙලාවවත් මට ඒ ගැන හොයලා බලන්න බැරි උනා. ඒ නිසා කොහොම හරි අමාරුවෙන් පද මතක් කරන්න මට සිද්ධ උනා. පළවෙනි සහ දෙවනි කොටස් දෙකනම් ඒ විදියටම මතකයි. නමුත් තුන්වෙනි එකනම් සමහර විට මම මුලින් ලියපු එකට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්නත් පුළුවන්. මට මතක විදියට හතරවෙනි කොටසකුත් තිබුනා. ඒ ගැන නම් කිසිම මතකයක් නෑ වගේ. 

සමහර විට කෙනෙකුට මොනා පිස්සුවක්ද මේකෙ ලියල තියෙන්නෙ කියලා හිතෙන්න පුළුවන්. මම මේ ගීතයේන් අර්ථවත් කලේ මොකද්ද කියල කියන්න කලින්, තව එක පාරක් ඒක කියවලා බලන්නකෝ. ඒ කරලා අදහසක් එකතු කරන්නකෝ ඔයා කොහොමද මේ ගීතය විස්තර කරන්නේ කියලා. 

හොඳයි එහෙනම් මෙන්න මේකයි කථාව. බැලූබැල්මට මේ ගීතයේ පෙනෙන්නේ ආදරය උනත්, කියාගන්න බැරි වේදනාවක් එහි ගැබ්වෙලා තියෙනවා.  ඒ වගේම ඒ වේදනාව යටකරගෙන මතු වෙච්ච සන්තෝෂයක් ගැනත් කියවෙනවා. එයා කියනවා, 'හමුවූවත් හැමදාමත් අප නෑ හමුවෙන්නේ', ඒත් එක්කම කියනවා 'වෙන්වූවත් හැමදාමත් අපි නෑ වෙන් වෙන්නේ' කියලත්. 
මේ පද දෙක වෙන්වෙන්ව අර්ථ දක්වන්න අමාරුයි. එකටමයි අර්ථ ගලපන්න ඕනි. නිතරම හමුවන සහ ඒ හමුවෙන හැම අවස්ථාවකම වෙන් වෙන්න සිදුවෙන දෙදෙනෙක්ගේ සම්බන්දතාවයක් ගැනයි මේ කියන්නේ. ඒයාට දැඩි උවමනාවක් තියෙනවා, මේසේ නිතර හමුවෙන-වෙන්වන මේ චක්‍රය බිදලන්නට. ඒ කියන්නේ යම් කිසි දිනක් ඒවි අපට වෙන්වීම නවත්වාලිය හැකි, එනයින් නැවත හමු නොවන. එහෙමත් නැත්නම්, යම් දිනක් ඒවි  නැවත හමු නොවන සේ වෙන්ව යන. මේ කොටසින් විතරක් අපිට හරි අදහසක් ගන්න බෑ එයාට ඕනි ඇත්තටම වෙන්වීමක් නැති එක් වීමක්ද නැත්නම් නැවත හමුවීමක් නැති වෙන්වීමක්ද කියලා. 

දෙවනි කොටසින් එයා කියනවා, 'මේ සංසාරෙ ගමන් කරනකොට අපි දවසක හමුවුනා. ඒ හමුවීම ආදරණීයයි, හිතේ ලොකු පාර්ථනාවක් තියෙනවා, කවදාවත්ම වෙන් නොවෙන්න යැයි කියා'. ඒ කියන්නේ එයාට ඕනි වෙන් වෙන්න නෙවෙයි එකතු වෙන්න. ඒත් එක්කම මෙතනින් තව දෙයක් කියවෙනවා, මේ සම්බන්දය කැඩී බිදී ගිහින් මේ අය විරසක වීමේට ඉඩකඩ බොහොමයි. ඒ නිසයි එයා අපි වෙන්වෙන්නේ නෑ, මගේ පාර්ථනාව බලවත් කියලා, එයාගෙ හිත හදාගන්න උත්සාහ කරන්නේ. මේ කියන දේ ඊලඟ කොටසින් තවදුරටත් තහවුරු වෙනවා. එයා හිනාවෙන්නේ, කඳුලක් හංගගෙන, තුරුලට වෙලා ස්තුටින් අද හිටියත් ඒ ඉන්නේත් නොපෙනෙන වේදනාවක් හිතේ කොනක හිර කරගෙන. මොකද එයා හිතෙන දුක්වෙනවා කවදාවත්ම නැවත හමු නෙවන සේ වෙන්ව යන දවසක් ඒවි යැයි කියා.

මේවන් අර්ථයත් එක්ක තමයි මේ ගීතය රචනා වෙන්නේ. ඒ අර්ථය විදියටම ඔයාට පේනවාද, එහෙමත් නැත්නම් වෙනත් අර්ථයක් පේනවද කියලා අදහසක් එකතු කරන්න. මම ඒවා ගොඩාක් අගය කරනවා. මෙ ගීතයේ අඩුපාඩු යමක් තියේ නම් ඒ ගැනත් සදහන් කරන්න. මේ ගීතයට හරි හැටි තනු නිර්මාණයක් වෙලා නැහැ, ඒ වගේම එහි ගායනයකුත් තාම නැහැ. කවුරුන් හෝ ඉන්නවා නම් එයට තනුවක් නිර්මාණය කර ගයන්නට, ඔවුනට ඉඩ කඩ. නමුත් මාව සබන්ද කරගන්නටත් අමතක නොකරන්න.

ජය වේවා!



9 comments:

  1. පළමුවෙනි වර්ස් එක හරිම අර්ථවත්. දෙවෙනි වර්ස් එක හොඳයි, හැබැයි ටිකයි. තුන්වෙනි එක සාමාන්‍යයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්. වෙලාවට හතරවෙනි වර්ස් එකක් තිබ්බේ නැත්තේ, තිබ්බනම් ඉතින්ඉ ඒක අන්තිමයි කියයි... හි හි හි

      Delete
    2. හෙහ් හෙහ් . ඔව්. ඒත් මේක draft එකක් විදිහට සලකල කීප පාරක් edit කරන්න. එතකොට පළමුවෙනි වර්ස් එක ලඟට අනික් දෙක ගන්න පුළුවන් වේවි. එහෙම edit කිරීමෙන් එන පුරුද්ද ඊලඟ ඒව ලියනකොට අඩු ගණනකින් ලියන්න පුළුවන් වේවි. You have lot of nice thoughts as you have shown with english poetry. I am sure you would be able to do a great song as well.

      Delete
    3. මේ පෝස්ට් එක යට තියෙන ගීත දෙක බලන්න. ඒකෙ පලවෙනි ගීතය තමයි අන්තිම product එක. දෙවෙනියට තියෙන්නෙ අතරමග draft එකක්. ඒදෙකේ වෙනස බැළුවොත් තේරෙයි මුල draft එක කොච්චර වෙනස් වෙලාද අන්තිම එකට එනකොට කියල.

      Delete
    4. https://lankanian.blogspot.com/2015/10/blog-post_12.html#more

      Delete
    5. Thank you Ian. I will try to polish it. But, I am not sure how far I can go, because, I need a strong mood with one extreme feeling to write a poem/song. Now, I don't have the feeling that I had 12 years ago. So let's see how it goes. Thank you again for all your supports.

      Delete
    6. Both of your songs are really nice, I didn't listen them yet, only read the lyrics. The idea of the first version has changed when it comes to the second version. The story of the first version is amazing. But, the second version is really smooth, wow, I like it more.

      Delete
    7. Thanks Methma. The reason I gave the link is to show how a final version evolves through many stages. Unless the experience is personal one does not need to be in the mood. Keep working on the 'thought' or the seed of the first verse.

      Delete