Tuesday, December 29, 2020

උපාධියක් ගන්න ආ කත 1

අද කියන්න යන්නේ එක්සත් ජනපදයේ ඉන්න දවස් වල ගුරුවරියක් විදියට මට ලැබිච්ච අමතක නොවන අත්දැකීමක් ගැන.

ටෙක්සාස් ටෙක් විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක ශිෂ්‍යයන්ට ගණිත විෂයන් ඉගැන්වීම තමයි මං ඒ වකවානුවේ කළේ. මේ විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙන ළමයි මොන ක්ෂේත්‍රයේ උපාධියක් කරන්න අවත් ගණිත විෂයන් දෙකක් කරලා පාස් වෙන්න ඕන. මම වැඩිපුරම ඉගැන්නුවේ ත්‍රිකෝණමිතිය. ඉතින් මගේ මේ පන්තියේ නැටුම් කරන ළමයි, ශාරීරික අධ්‍යාපනය කරන ළමයි වගේම ඉතිහාසය පිළිබඳ උපාධි කර ළමයිනුත් හිටියා.


 2013 වසරේ ගිම්හාන සෘතුවේ මට හම්බුනේ college algebra යන වීජ ගණිතය විෂයය. ගිම්හාන සෘතුව නිසා සති හතරයි සම්පූර්ණ කාලය. සතියේ දින පහේම පැය දෙකක් පන්තිය තියනවා. කොයිතරම් තාක්ෂණ ක්‍රමවේද තිබුණත් ගණිත විෂයක් උගන්නන්න පුළුවන් හොඳම ක්‍රමය කළු ලෑල්ල සහ හුණු පාවිච්චි කරලා. මම ඒ ළමයි ට ඉගැන්නුවෙත් එහෙමයි. රසායන විද්‍යා ගොඩනැගිල්ලේ තිබිච්ච මේ පන්තියේ නම් තිබුනේ සුදු ලෑල්ලක්.  


ඒ අධ්‍යාපන ක්‍රමය ගැන පොඩ්ඩක් කියනවා නම්, ළමයි සල්ලි ගෙවලා තමයි ඉගෙන ගන්ඩ ඕන. සමහර වෙලාවට ශිෂ්‍යත්ව හම්බ වෙනවා සමහර ළමයින්ට. ඒවගෙන් පොඩි සහනයක් ලැබෙනවා එයාලට. අති විශාල සල්ලි ප්‍රමාණයක් ඒගොල්ලො විශ්වවිද්‍යාල වලට ගෙවනවා. ඒගොල්ලො බැංකුවකින් ණයක් අරගෙන තමයි ඒ සල්ලි ගෙවන්නේ. මොකද ඒ තරම් විශාල මුදලක් ගෙවන්න පුළුවන් හැකියාවක් තියෙන දෙමව්පියෝ ඉන්නේ 3% ක ටත් අඩුවෙන්. එතකොට අපි පන්තියක උගන්වනේ ඒ විෂය සම්බන්ධයෙන් ලියපු කඩෙන් ගන්න තියෙන පොතක් (text book) පාවිච්චි කරලා. ඉතින් ළමයි ඒ පොත සල්ලි වලට ගන්න ඕන. මොකද අපි පොතේ තියෙන අභ්‍යාස තමයි කරන්න දෙන්නෙ. තව දෙයක් තමයි ඕන කෙනකුට ඕනෑම විෂය ධාරාවකින් අධ්‍යාපනය ලබන්නට විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන්. මං දන්න විදියට විභාගයක් තියෙනවා, ඒ විභාගෙට ගන්න ලකුණු අනුව එයාලා කරන්න ඕන විෂයන් මොනවාද කියලා තීරණය වෙනවා. බොහොම සරල තැන ඉඳලා උගන්නන්නවා. college algibra කිව්වා ම 10-11 වසරෙදි වගේ ලංකාවේ උගන්වන වීජ ගණිතය හා ඊට චුට්ටක් එහාට ගියේ විජ ගණිතය වගේ තමයි තියෙන්නේ.

ඉතින් මගේ මේ පන්තියේ ළමයි තිහක් විතර හිටියා.  ඒ පන්තිය ට ආවා ටිකක් උස මහත ටිකක් වයසිනුත් වැඩිමල් කාන්තාවක්. සාමාන්‍යයෙන් එහෙම ළමයි එක්කෙනෙක් දෙන්නෙක් පන්තියක ඉන්න පුළුවන්. ඉතින් මේ පන්තිය මම අර කලින් කිව්වා වගේ ගිම්හාන සෘතුවේ තියෙන එකක් නිසා ටිකක් ඉක්මනට ඉක්මනට වැඩ යනවා. මං එයාලට දවස ගානේ කරන්න ගෙදර වැඩ දෙනවා. මම උගන්වන්න පාවිච්චි කරන පොතේ තියෙන අභ්‍යාස කීපයක් තමයි කරන්න දෙන්නෙ. හැම සතියෙම අවසානයේ විභාගයකුත් දෙනවා.


ඉතින් කොහොමහරි පළවෙනි දවසේ පංතියෙන් පස්සේ මේ කාන්තාව ආවා මාත් එක්ක මගේ කාර්යාලයට. ඇවිත් දැන් මාත් එක්ක කතාව. ඇය බොහොම ආර්ථික අපහසුතා තියෙන කෙනෙක් බවයි මුලින්ම ප්‍රකාශ කර සිටියේ. එයාට අපි පරිශීලනය කරපු text book එකක් ගන්න සල්ලි නැහැ කියලා, එයා මගෙන් ඇහුවා මගේ පොත එයාට පන්තිය ඉවර උනාට පස්සේ ගන්න පුළුවන්ද කියලා. ඉතින් දැන් හැමදාම මෙයා පන්ති ඉවර වෙලා මාත් එක්ක මගේ කාර්යාලයට එනවා. කොහෙන් හරි වාඩිවෙලා එදා දවසෙ මං කරන්න දුන්නු ගණන් ටික හදලා ඒක මට බාර දෙන්වා ඊට පස්සේ එයා යනවා. දැන් මට හරි ආසයි මෙයා ගැන දැනගන්න. එක දවසක් එයා මට එයා ගැන ටිකක් විස්තර කිව්වා. 

"මෙත්මා, මට අවුරුදු 35 ක් වෙනවා. මම ඉස්කෝලේ ගියේ අවුරුදු 12ක් වෙනකං විතරයි."

එයා ඉස්කෝලේ යන කාලේ අධ්‍යාපනය අවසන් කරලා නැහැ. එයා ජීවත් වුන සමාජ වටපිටාව අනුව වැඩි කල් යන්න කලින්ම විවාහ වෙලා තියෙනවා. දැං ඕං මට එයාගේ ගෙදර අය ගැන විස්තරේ කියනවා. 

"මෙත්මා, මට ළමයි හත්දෙනෙක් ඉන්නවා: ලොකු එක්කෙනාගෙ වයස විසි නවයයි, දෙවෙනියාට විසින් හතයි, තුන්වැනියට 25 යි, .... හත්වැනිය ට 12 යි." 

"හෝව් හෝව් හෝව් හෝව් පොඩිඩක් ඉන්න. ඔයාට 35 යි ලු ළමයි හතක් ඉන්නව ලු ලොකු එක්කෙනාට 29 ලු. එහෙම වෙන්නේ කොහොමද?" කියලා හිත හිත දැං මං අන්දුං කුන්දුං වෙලා බලාගෙන ඉන්නවා.


"නෑ නෑ මං ගියේ කලින් විවාහ වෙලා ළමයි ඉන්න කෙනෙක් එක්ක."


"ඒක මිසක්" දැන් මං හිතින් හිතනවා.


" මට මුනුබුරු මිනිබිරියෝත් හත්දෙනෙක් ඉන්නවා. අපේ ගෙදර අය කවුරුත් එහෙම ලොකුවට ඉගෙන ගත්ත අය නෙමෙයි. පවුලෙ වැඩිහිටියා විදිය ට පවුලේ ආච්චි විදිය ට මගේ දරුවන් ට එයාලගේ දරුවන් ට ආදර්ශයක් විදියට විශ්ව විද්‍යාලයට ඇවිල්ලා උපාධියක් ගන්න මම පටන් ගත්තා. මගේ ළමයි තුන් දෙනෙක් විවාහ වෙලා ඉන්නවා. ඒ දෙවැනි දූ මුකුත් රස්සාවක් කරන්නේ නැහැ. එයාල ට ජීවත් වෙන්න අපහසු යි කියලා අපේ ගෙදර එන්න හදනවා. මෙත්මට කියන්න මම බොහොම අමාරුවෙන් තමයි එයාලට එන්න නොදී ඉන්නේ.  මම එයාලට කරලා පෙන්නනවා මට මේක කරන්න පුළුවන්නම් ඇයි ඔයාලට බැරි කියලා."


 තමන්ගේ පවුලේ අයට වචනෙන් නෙමෙයි ක්‍රියාවෙන් කරලා පෙන්නන්න මේක බැරි දෙයක් නෙවෙයි කියලා, තමයි මෙයා මේ ආයෙත් අවුරුදු ගානකට පස්සේ ඉගෙන ගන්න ඇවිල්ල තියෙන්නේ. එයාගෙ පවුලෙ වෙන කවුරුත් විශ්ව විද්‍යාලයකින් අධ්‍යාපනය හදාරන්න ඇවිත් නැහැ කලින්.


මට මේ කාන්තාව ගැන හොඳ පැහැදීමක් ඇති වුණා. විශාල පීඩනයක් එක්ක තමයි එයා එයාගේ අධ්‍යාපන කටයුතු කරගෙන ගියේ. එයාගෙ ස්වාමියාගේ කලින් විවාහයේ ළමයිටත් එයා කිව්වේ මගේ ළමයි කියලා. මම අදටත් දන්නේ නැහැ එයාගෙ කුසින් ළමයි කීදෙනෙක් ඉපදුනා ද  යන වග. මොකද එයාට ඒ ළමයි ඔක්කොම එයාගෙම ළමයි. බලන්න එයාගේ හිත කොච්චර ලස්සනයිද කියලා. එයා මේ උපාධිය කරන්න ආවේ ඒක කරන්න තියෙන අසීමිත ආසාව නිසා. 


එයා හොඳට වැඩ අල්ලගත්තා.  හරි උනන්දුවෙන් දෙන වැඩ ඉක්මනටම කළා. කොහොමත් එයාට ගෙදර ගිහිල්ලා පොතක් බලන්න වෙලාවක් නැහැ. දේශනවලට සහභාගි වෙලා අනිත් වැඩත් ඉවර වෙලා ගෙදර යන්නේ ආයෙ තව රස්සාවකුත් කරලා. 


මේ එයාගේ විශ්වවිද්‍යාලයේ පළවෙනි වසර. එයාට වැඩ කරගන්න පුළුවන් වෙයිද කියලා ඒත් මගේ හිතේ සැකයකුත් තිබුණා. හොඳට වැඩ කරා. වාර අවසානයේ සම්පූර්ණ ලකුණු 81ක් අරගෙන B+ සාමාර්ථයක් සමඟ එයා ඒ විෂය සමත් වුණා. මට හරි සතුටුයි එයා ගැන. අනිත් රටවල් වල වගේ නෙමෙයි, A සාමාර්ථයක් ලබා ගන්නා ලකුණු අනූව ට වැඩියෙන් ගන්න ඕන එහෙදි. 


එයාගේ බලාපොරොත්තුව වුණේ විද්‍යා උපාධියක් කරන්න. ඉතින් ඒක ට එයා ගොඩක් ගණිත විෂයන් කරන්න ඕන. college algebra වලින් පස්සේ ත්‍රිකෝණමිතිය හරි precalculus කරන්ඩ ඕන. Precalculus කියන්නේ කලනය ඉගෙන ගන්න කලින් ඒ සඳහා ළමයි පුහුණු කරන්න, එයාල ට අවශ්‍ය අනෙකුත් මූලික දැනුම ලබා දෙන විෂයක්. ඒ මූලික දැනුම ලැබුණ ට පස්සේ එයා කලනය 1 සහ ඉන් අනතුරුව කලනය 2 යන පංති දෙක ගන්න ඕනි. එතකොට එයාගෙ ගණිත විෂයන් ටික ඉවරයි.

මේ ගිම්හාන සෘතුවෙන් පස්සේ ආ සරත් සෘතුවේ මම ඉගැන්වූයේ  precalculus පන්තියක්. ඊ ළඟ ට ආව වසන්ත සෘතුවේදි ඔන්න මට කාලයක් තිස්සේ බලාගෙන හිටිය, කලනය 1 පන්ති දෙකක් කරන්න හම්බවුණා. මගේ කතාවේ කතා නායිකාව, උස මහත කාන්තාව මගේ මේ එක් පන්තියට ලියපදිංචි වෙලා තිබුණා. මට හරි සතුටුයි, එයාට ත් සතුටුයි.

7 comments:

  1. ටීචර් ටයි ගෝලයටයි දෙන්නටම සුබ පතනවා.....

    ReplyDelete
  2. අද දවසට මම මේ ලියන දෙවෙනි කමෙන්ටුව... ඒවගේම කාන්තාවන් ධනාත්මකව ජීවිතයට මුහුණ දීමේ අවශ්‍යතාව ගැනත් ලියන දෙවෙනි කමෙන්ට් එක. ඒ දෙකේදිම මට මතක් වුණේ නුගුගි වා තිඔන්ගෝ ගෙ පොතක්. ඒකෙ නම මට මතක නෑ. අමාරුවෙ වැටිලා ජීවිතය වරද්දගත්ත තරුණියක් දෙවෙනි පාරට ඉතාම ශක්තිමත්ව නැගී හිටින විදිහ ඒකෙ නිරූපණය වුණා. අන්තිමේ නුගුගි කියනවා,
    "සමාජයේ පහළින් ඉන්න ස්තරයේ කාන්තාවන් අති බහුතරය තීරණ ගන්නේ ලිංගේන්ද්‍රිය මුල් කරගෙන ය, ඒක මොළයෙන් තීරණ ගන්නා තත්ත්වයට ඒම තමයි වෙන්න ඕනෙ..."
    කියලා.

    ReplyDelete
    Replies
    1. වටිනා අදහසක් ඩැකී. මම් මීට කලින් දැන ගෙන හිටියේ නෑ නුගුගි වා තිඔන්ගෝ ගැන. කියවලා බලන්න ඔනි එයාගෙ පොතක්.

      Delete
  3. ++++++ really proud of this Sri Lankan lecturer.

    ReplyDelete
    Replies
    1. Thank you Ian. There is nothing much to proud about me. I just did my job.

      Delete
  4. ටෙක්සාස් ටෙක් විශ්වවිද්‍යාලය මම දන්න තරමින් ළමයි 45000 වගේ ඉන්න විශාල විශ්වවිද්‍යාලයක්. මම දන්න අපේ ගුරුවරු බොහෝමයක් ඔය විශ්වවිද්‍යාලයීයෙන් phd එක කරල තිබුනා සහා, වර්තමානයේ මම දන්න අයියලා අක්කලා කිහිපය දෙනෙකුත් phd එක කරනවා(teaching assistant විදියට වැඩ කරන ගමන්) , ගණිතය හා සංඛ්‍යානය යන විශයන් ඔස්සේ. අහම්බෙන් මේ බ්ලොග් එකට අවේ. සතුටුයි කියවන්න ලැබිච්ච එක ගැන. දිගටම ලියන්න මිස්.

    M.L.

    ReplyDelete