Thursday, December 24, 2020

අනේ ටීච ගහන්න එපා

 මේක මීට වසර එකොළහකට විතර කලින් සිදු වෙච්ච සිද්ධයක්. මම නිෂ්පාදන ඉංජිනේරු ලැබ් එකේ ළමයින්ට ප්‍රැක්ටිකල් එකක් කර කර හිටියේ. මට පේනවා මංජුල සර් එයාගෙ ඔෆිස් එකේ ඉඳලා මං class එක කරන දිහා බලාගෙන ඉන්න බව. පස්සේ වෙලාවක සර් මට කතා කරලා කියනවා, "මෙත්මට හොඳට උගන්නන්න පුළුවන්නේ, බලාගෙන ඉන්න ආසයි" කියලා. මංජුල සර් බොහොම ලස්සනට උගන්නන ලෙක්චරර් කෙනෙක්. ඒ දවස්වල අපේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වුනෙත් ඔහු යි. කාලයක් යනකොට මට ඒ දෙපාර්තමේන්තුවේම lecturer කෙනෙක් විදිහට පත්වීම ලැබුණා. මම දේශන කීපෙකුත් කරලා තියෙනවා. ඒත් ඒ දවස්වල මට හරියාකාරව උගන්නන්නෙ කොහොමද කියලා ට්‍රේනින් එකක් හම්බ වෙලා තිබුනේ නැහැ. ලංකාවේ කථිකාචාර්යවරුන්ට අනිවාර්යෙන් කරන්න ගුරු පුහුණු වැඩසටහනක් තියෙනවා. නමුත් මම ඒක කලේ නැහැ මොකද මම අවුරුද්දක් වගේ කාලෙකින් රැකියාවෙන් අස් වෙලා එක්සත් ජනපදයට වැඩිදුර අධ්‍යාපනය සඳහා ගිය නිසා. 

මට පුංචි කාලේ ඉඳන්ම ඕන වුණේ ටීච කෙනෙක් වෙන්න. මට මතකයි තුන වසරේදී ඇහුවත් ඒ ලෙවල් මැත්ස් ක්ලාස් එකේ දි ඇහුවත් මම කිව්වේ, මට ටීච කෙනෙක් වෙන්න ඕනේ කියලා. කොහොම වුණත් ගුරුවරයෙක් කියන්නේ කවුද? කොහොමද හරියට ලෙක්චර් එකක් කරන්නේ? උගන්නද්දි ඇතිවන අභියෝග වලට මුහුණ දෙන්නෙ කොහොමද? වගේ ප්‍රශ්න රාශියකට මම පිළිතුරු හොයා ගත්තේ මගේ අත්දැකීම් වලින්ම යි. ඇමෙරිකාවට ගියාම මුලින්ම අපිට කරන්න තිබුනේ international teaching associate workshop කියන වර්ක්ශොප් එක ට සහභාගි වෙන්න. ඒකෙන් අපිට කියලා දුන්නා කොහොමද ළමයින්ට තේරෙන්න කතා කරන්න ඕන කියලා. මෙහිදී විශේෂයෙන්ම අපිට කිව්වා පන්තිය දිහා බලාගෙන කතා කරන්න, මොකද ළමයට වඩාත් පැහැදිලිවම කියන දේ ඔලුවට යන්නෙ ගුරුවරයා ගේ කට දිහා බලාගෙන ඉන්නකොට යන වග.  විටින් විට ළමයින්ගෙන් තේරුණාද, ප්‍රශ්න තියෙනවද, කියලා අහන්නත් උපදෙස් දුන්නා. මුලින්ම අපිට ලැබුණේ tutorial ක්ලාස් කරන්න. ළමයි ඉන්නේ ටික දෙනයි ඒ උනාට හරි අමාරුයි හැන්ඩ්ල් කරන්න, අපි උගන්වන වෙලාවේ ඒ ගොල්ලන්ගෙ වෙන වෙන කතා. එපා කිව්වට අහන්නෙත් නෑ ඒගොල්ලන්ට බනින්නත් බෑ. හොඳට වැඩ පුළුවන් අය තමයි වෙලාවකට කරදරම. පිරිමි ළමයින්ට වඩා ගෑණු ළමයි තමයි මෙල්ල කරන්න අමාරු. නමුත් මම lectures කරන කාලේ ඒ ගතිය ටිකක් අඩු වෙලා ගියා. සමාසිකයේ අන්තිම සතියේ teacher evaluation තියනවා. ගුරුවරයා කොච්චර හොඳද නරකද කියලා නොයෙක් කැටගරි යටතේ අපිව ළමයි evaluate කරනවා. මුල්ම සැරේ මට කියලා තිබුණා "කියන දෙයක් තේරෙන්නේ නෑ", "හොඳ කෙනෙක් ඒත් පන්තිය එච්චර intresting නෑ" ආදී වශයෙන්. ඉතින් ඒවා බලලා අපි ඉගෙන ගත්තා මොනවද වෙනස් වෙන්න ඕන කොහොමද වෙනස් වෙන්න ඕන වගේ කරුණු. මම ඉගැන්නුවේ උපාධි අපේක්ෂක දරුවන්ට ගණිත විෂයන්. එක semester එකක දී ළමයි හතළිහක් වගේ ඉන්න පන්ති දෙකක් මම ඉගැන්නුවා. වැඩිපුරම ඉගැන්නුවේ ත්‍රිකෝණමිතිය. එක සැරයක් ළමයෙක් evaluation වලදී මට ලියලා තිබුණා

 

"ඇය අපිට ගණන් බෑ කියලා බනිනවා" 


කියලා. ඒක ටිකක් ලොකුවට මගේ ඔලුවට වැදුනා. මට මතකයි ඒ සිද්ධිය. මම ළමයින්ට දුන්න mid term එක්සෑම් එක ට අඩුවෙන් ලකුණු ගත්ත ළමයින්ට, ප්‍රශ්න පත්‍රයේ ගෙදර ගෙනියලා වැරදිච්ච ගණන් වලට උත්තර ආයෙත් හදාගෙන එන්න කීවා, ඒවටත් ලකුණු දෙන්නම් කියලා. එක ළමයෙක් මට පේපර් එක ගෙනත් දුන්නා. පිටු පෙරලා බලද්දි ගණන් කීපයක් ඒත් හදලා නැහැ. මං බැලුවා අනේ ගෙදර ගිහිල්ලා හදන්න කියලා සහනයක් දුන්නත්, ඇයි මේ ළමයා කරගෙන ඇවිල්ල නැත්තේ කියලා. මම එයාට පොඩි සද්දයක් දැම්ම ගණන් හැදුවේ නැත්තේ ඇයි කියලා. මම කරපු මෝඩ වැඩේ බරපතලකම දැනගත්තේ පස්සේ. ඇත්ත නේද ළමයට ගණන් බෑ කියලා ගහලා හරි බැනල හරි වැඩක් නැහැ නෙ. මේ වගේ ළමයින් ගෙන් මට ලැබිච්ච ප්‍රතිචාර එක්ක මම හැම සැරේම වෙනස් වෙන්න ගත්තා. ඊ ළඟ සැරේ මං මීට වඩා හොඳට උගන්නනවා කියලා හිතාගත්තා. 

මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී කරපු පන්ති අවසානයේදීත් teacher evaluation form දෙනවා ළමයින්ට පුරවන්න. හැම අවස්ථාවේදීම වගේ හැම කරුණකටම ළමයි පුරවලා තිබුණේ strongly agree යන පිළිතුර. අදහස් මොකුත් දක්වලා තිබුණේ නැහැ. ඇමරිකාවෙදි ළමයි එහෙම නැහැ, තමුන්ට ඇත්තටම හිතෙන දේ ට අනුව ෆෝම් එක පුරවනවා. එයාලට හිතෙන අදහසුත් ලියනවා. සමහර වෙලාවට සමහර කරුණු වලට තදින්ම විරුද්ධ බව දක්වනවා. උදාහරණයක් විදියට ඒක සැරයක් එක ළමයෙක් "The instructor presented the information clearly" කියන කරුණට strongly disagree කියල තෝරලා තිබුනා. ඉතින් ඒවා දකින කොට හිත කීරි ගැහිලා යනවා. ඒ ළමයා ගැන දුක හිතෙනවා, පව් මං හින්දා මේ ළමයට ආසාධාරනයක් උනේ. ඊ ළඟ  සැරේ එහෙම නොවෙන්න මගේ උපරිමයෙන් මම උත්සාහ කරනවා.


 එක ළමයෙක් මෙයා හරිම හොද ටීච කෙනෙක් කියලා ලියද්දි තව කෙනෙක් එයා එච්චර හොඳ නෑ අපිට තේරුම් නෑ වගේ evaluations දීලා තිබුණා. එකෙන් තේරුම් ගත් දෙයක් තමයි ළමයි එක් එක් විදිහට තමයි තේරුම් ගන්නේ යන වග. පන්ති කාමරයක දී ළමයි හැමෝටම තේරෙන්න ඕන ළමයි ඔක්කොම පාස් වෙන්න ඕන කියන මානසිකත්වයෙන් අපි ඉගැන්නුවත්, ඒක එහෙම වෙන්නේ නැහැ. 

ශ්‍රී ලංකාවේ පාසල් වලත් teacher evaluation system එකක් තියනවා නම් ගුරුවරුන්ගෙ සේවාවේ ගුණාත්මක භාවය තවත් ඉහළ දාන්න පුළුවන් වේවි කියන මතය මට තියෙනවා. 

පොඩි කාලේ ඉඳන් ම මට වැඩ ටිකක් පුළුවන් හින්දා ගුරුවරුන්ගෙ ආදරේ මට හැමදාම ලැබුණා. ගුරුවරයෙක් අතින් හිත රිදීච්ච සිදුවීම් නැති තරම්. නමුත් දහතුන් වසරක පාසල් අධ්‍යාපනය තුළ දී ඉස්කොලේ වැඩට දුර්වල ළමයින්ට සිදුවන අඩන්තේට්ටම් කම් දැකල තියෙනවා. අපේ රටේ ළමයින්ට වගේම ගොඩක් වැඩිහිටියන්ටත් තියෙන අයිතීන්, මම කියන්නේ මානව අයිතිවාසිකම්, ගැන දැනුම අඩුයි. ගුරුවරුන්ට හෝ දෙමව්පියන්ට හෝ අයිතියක් නැහැ දරුවන්ට පහර දෙන්න, දරුවන් මානසිකව වැටෙන විදියට කතා කරන්න හෝ බනින්න හෝ අඩන්තේට්ටම්කම් කරන්න. 

යහපත් මානසික මට්ටමකින් යුතුව පන්ති කාමරයක් තුළ අධ්‍යාපනය ලබන්න, සිසුන්ට අයිතියක් තියනවා. ඒත් ගුරුවරයෙක් පන්තියට එන්නේ "මේක තමයි මට හම්බවෙච්චි ජරාම පන්තිය" කියාගෙන නම්, එවන් මානසික මට්ටමක් දරුවන් ගේ හෝ ගුරුවරයා ගේ සිත් තුල ඇති වේවි ද? ආයතනයක වැඩ කරන සේවකයෙකු ට නිරවුල් මානසික මට්ටමක් තියෙන්න ඕන රාජකාරි හරියට කරන්න. ඒක එයාගෙ අයිතියක්. නමුත් බොහෝ විට මිනිසුන් තමුන්ට පහළින් ඉන්න සේවකින් තළා පෙළනවා අපි ට අහන්න දකින්න ලැබෙනවා. මේ දේවල් සම්බන්ධයෙන් කෙනෙකුට නීති මාර්ගයෙන් කටයුතු කරන්න පුළුවන්.

අපේ අය හිතන දෙයක් තමයි ළමයා හදාගන්න නම් ගහන්නම ඕන කියලා. නමුත්  හොඳට හිතලා බැලුවොත්, ගොඩක් වෙලාවට ළමන්ට පහර කන්න සිදුවෙන්නේ වැඩිහිටියන් ගේ ද්වේශයේ ප්‍රතිඵලයක් විදිහට. ඉතින් ලේසියට එක්කෝ බනින්නවා නැත්තං දීලා අදිනවා. පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා කල්පනා කරලා බැලුව නම්, ළමයාගේ හිත තලන්නේ නැතුව වැරදි වලින් මුදවා ගන්න පුළුවන් ලේසියෙන්ම. ඇමරිකාවේ ඔස්ට්‍රේලියාවේ ළමයිට අතක් උස්සන්න තහනම්. එක වසරේ ඉන්න ළමයා පවා දන්නවා තමුන්ගේ අයිතිවාසිකම් එයාලා පොලිසියට කතා කරොත් ගුරුවරයා ට හෝ අම්මා ට හෝ තාත්තා ට හෝ තදින්ම නීතිය ක්‍රියාත්මක වෙනව  මේ රටවල් වල. ලංකාවෙත් ඒ නීතිය එහන්මම  තියනවා. නමුත් අපේ ළමයි තාමත් ගුටි කන්වා?


ඉස්කෝලේ ගිහිල්ලා ඇත්තටම අපි ඉගෙන ගන්න ඕන පුහුණු කරන්න ඕන කොහොමද යහපත් විදිහට සමාජයේ ජීවත් වෙන්නේ? අනිත් මනුස්සයාගේ හිත නොරිදවා කොහොමද අපේ වැඩි කරගන්නේ? අමාරු situations handle කරන්නේ කොහොමද? වගේ කොයි කාටත් නිරන්තරයෙන් ම අවශ්‍ය වන දේවල්. 


මගේ කතාව මෙතනින් ඉවර නැහැ. අද කතාව මෙතනින් ඉවර කරනවා. සංවාදයට විවෘතයි.



4 comments:

  1. ඕනම දෙයක් සාර්ථක වෙන්න නම් ඒ පුද්ගලයාට අවසාන ඉලක්කය ගැන අවබෝධයක් සහ ඒ ඉලක්කයට යාමට ඕනෑකමක් තියෙන්න ඕනේ කියල මම හිතනවා. මේක කුඩා පන්තිවල ලමයින්ට ගැලපෙන්නේ නැතිවෙන්න පුළුවන්. ඉහල පන්තිවලට ඒ ලමයින්ට ඕනෑ කරන ඉලක්කය දැනගෙන ඒ කරා යාමට ලබා ගතයුතු දැනුම ගැන කලින් අවබෝධයක් දෙන විදිහක් තියෙනවනම් පාසැලේදී සහ ඉන්පිටදී ඒ දැනුම සොයා යන්න ඔවුන් පෙලඹෙනවා. මේ වෙනුවට අද තියෙන්නේ ඊලඟ වසරට සමත්වීම හෝ යම් කිසි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට වගේ ඉලක්ක.

    එහම ක්‍රමයක් තිබෙනවානම් ඉහල පන්තිවලට උගන්නන ගණිතය වගේ දේවල් ඉගෙනගන්න වෙන්නේ ඒ සම්බන්ධ උපාධියක් හෝ රැකියාවක් ලබා ගැනීම ඉලක්ක කරන අයට විතරයි.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව හරියටම හරි ඉයන්. මං දැන් ඉන්න රට නම් 10 වසර ළමයින් ඉලක්ක කරගෙන නොයකුත් programmed තියනවා. නොයෙක් විෂයන් පිළිබඳ දැනුමක් ඒ ළමයින්ට ලබලා දෙන්නවා. මම විශ්වාස කරනවා ඒ ළමයි අධ්‍යාපනයේ යෙදෙන යම්කිසි ඉලක්කයක් සහිත ව කියලා. අපේ කැම්පස් වල හැම වසරකම open day කියලා දවසක් තියෙනවා. එදාට සාමාන්‍ය ජනතාවට විශ්වවිද්‍යාලය විවෘත වෙනවා. විශේෂයෙන්ම ඉලක්ක වෙන්නේ උසස් පෙළ කරන ළමයි සහ එයාලගේ දෙමව්පියන්. ඉතින් කැම්පස් එකේ තියෙන එක එක degree programs ගැන වගේම විද්‍යාලයේ තියෙන පහසුකම් ගැන, විශ්වවිද්‍යාල දරුවන්ගේ නොයෙකුත් ක්‍රියාකාරකම් එදාට ඒ අයට දැකබලා ගන්න පුළුවන්.

      ලංකාවෙ මිනිස්සු නම් විභාග පාස් කරවන්න බොරුවට තරගයක යෙදෙනවා යි මට නම් හිතෙන්නේ. සාමාන්‍ය පෙළ ළමයින්ට උගන්වන ගණිත දැනුම, ලංකාවේ හැමෝටම එක වගේ ඕන වෙන්නේ නැහැ කියන එකයි මගේ මතය. අපේ අම්මලාගේ කාලේ තිබිච්ච ක්‍රමය සෑහෙන හොඳ එකක් කියන එකයි මට හිතෙන්නේ. කලා කරන අයට අට වසරෙන් පස්සේ වීජ ගණිතය තිබුණෙ නැහැ ලූ.

      පාසලෙන් සාමාන්‍ය ජීවිතේට ද ලැබෙන දැනුම මදි කියන මතය තමයි මට තියෙන්නේ. රටේ නීතිය ගැන, අනිත් අයත් එක්ක යම් යම් ගණදෙනු කරන්නේ කොහොම වගේ දේවල් පිලිබද ළමන්ට දැනුමක් පාසල ලැබෙන්න ඕන කියලයි මගේ අදහස.

      Delete
  2. එංගලන්තයේ දී උගන්වන විධිහේ හොඳ කම තමා ළමයින්ට අපහස කිරීමක් , වැඩ බැරි ළමයි වගේ දේ නොකීම . හැබැයි ළමයින්ව සෙට් වලට දානවා . හොඳම සෙට් එක , ඊළඟ සෙට් එක වගේ. ඉගෙන ගන්න ඕන ළමයි හොඳ සෙට් එකට යන්න ට්‍රයි කරනවා . ලංකාවේදී පහේ පන්තියේ ගුරුතුමෙක් මට හොඳින් ඉගැන්වුවා අනිත් ළමයි ඉගෙන ගත්තේ නැති නිසා. හැබැයි මම දැකපු දෙයක් තමයි ගුරුවර ගුරිවරයන්ගේ ළමයින්ට අනිත් ගුරුවරු හොඳින් සලකන බව. ඒවා මේ රටවල එපමණට නැහැ.

    ReplyDelete
  3. ගුරුවරු අනිත් ගුරුවරු ගුරුවරියන්ගේ ළමයින්ට ටිකක් හොඳට සලකන බව මමත් අත්වින්දා. මමයි මගේ යාළුවෙකුයි පහ වසරේදී ඉස්කෝලේ ඉවර වෙලා ටීචර්ට උදව් කරන්න නැවතුනා ඉදිරියේ දී එන ප්‍රදර්ශනයට අත්වැඩ හදන්න. දැන් ඒ ටීචර්ට වගක් වත් නැහැ මං ගැන. අනිත් ළමයාට අනේ ඔයාට හොඳට පාට ගලපන්න පුළුවන් නේ ඔයා මේක කරන්න කියනවා, එයා ගැන ලොකු අවධානයක් දෙනවා මේ ගුරුතුමිය. මට ඉතිං හරියට දුක හිතුනා. ඒ වෙලාවේ තමයි තේරුනේ එයා ගුරුවරියක් දුවක් නිසා තමයි මේ කියලා.

    ReplyDelete