ඒ වන විට වයස අවුරුදු තිස් හයක් පමණ වූ, දරු මුණුබුරෝ ගණනාවකින් වත් පොහොසත් වූ, විද්‍යා උපාධියක් ගන්න ආ කත සම්බන්ඳයෙන් ලියන ලිපි පෙළේ අවසන් කොටස.
මම කලින් කීවා වගේ, මගේ කලනය පන්තියේ අවසන් කාලයේ දවසක ළමයි ගේ උනන්දුව මදි, මං දෙන ගණන් හදලා නෑ යනා දී වශයෙන් මම පන්තියට පොඩි (අනවශ්‍ය ) දේශනයක් කලා. ඊට පස්සේ පන්තියෙ එහෙන්මම ඉවර වුණා. ළමයි නැගිටලා ගියා, නමුත් අර කාන්තාව නැවතුනා. එයාගෙ මුහුණත් එක්ක රතු වෙලා ඇස් දෙක කඳුළු වලින් පිරිලා.
"ඇයි මෙත්මා ඔයත් මෙහෙම මට බනින්නේ. කාගෙන්වත් සැනසුමක් නෑ මට. දැන් මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ."
නිතරම විඩා බරිතව පන්තියට සහභාගි වූ මේ කාන්තාවන්ගේ අභ්‍යන්තරයේ ඇති වූ පීඩනය දරා ගන්නම බැරි තැන එකපාරම කඳුළුත් එක්ක ඒ සියල්ල එලියට පැන්නා.
"මේ පාඩම් කරගන්න මට වෙලාවක් නෑ. ගෙදර ගිහිල්ලා මම රෑට කෑම මේසේ හදන්න ඕන. මට ඉන්නවා නව යොවුන් වියේ ළමයි. එයාල බලන්න ඕනේ. දන්නවනේ ඒ වයසේ ළමයින්ගේ ස්වභාවය. එයාලව බලා ගන්න එක හරි ම අමාරුයි. මම වෘත්තියෙන් පාසල් බස් රියදුරියක්. මගේ බස් එකේ යන්න ළමයි කතා කරන්නේ අමු තිත්ත කුණුහරුපයෙන්. වැඩිහිටියෙක් නේද මේ ඉන්නේ කියලා එයාලට කිසි ගානක් නැහැ, කිසිම ගරු සරුවක් නැහැ. රියදුරු රස්සාව කරන්න හිතේ හොඳ මානසික ඒකාග්‍රතාවක් තියෙන්න ඕන. මට මේ ළමයිගෙ කුණු කතා ඇහෙද්දි ඒක කරන්න බෑ මෙත්මා. ඒක හරිම අවදානම් රස්සාවක්. මම ඒ ළමයි ගේ ජීවිත වලට වගකියන්න ඕන. කොයි වෙලේ වාහනේක හැප්පෙයි ද කියලා මගේ හිත හරි බය යි. මං මේ වැටිලා ඉන්නේ මහාම මහා අමාරුවක."
මට උහුලගන්න බැරි වේදනාවක් දැනුණා. එයා අඬනකොට මටත් ඇඬෙන්න එනවා. ඒත් ගුරුවරියක් හැටියට, මැය මට වඩා අවුරුදු ගානකට වැඩිමල් උනත්, මම එයාගේ හිත කොහොම හරි හදන්න ඕන.
"අනේ ඩියර්, එහෙම කියන්න එපා. මං කියන්නේ දැන් ගණන් හදන්නේ නැතුව ඉස්හසරහට යන්න අමාරුයි නේ, ඒකයි."
"කොහොමද ගනන් හදන්නෙ, තේරෙන්නේ නැත්නම් මෙලෝ දෙයක්? මම හිතුවට වඩා ඒක ගොඩක් අමාරුයි මෙත්මා."
"අනේ ඔයාගේ ත්‍රිකෝණමිතිය දැනුම දුර්වල නිසා, ඔයාට මං කියන දේ තේරෙන්නෙ නැහැ කියල මම දන්නවා. ඒත් මට මොකද්ද කරන්න පුළුවන්." එයාගේ අවධානය වෙනතකට යොමු ඕනි කියලා හිතාගෙන මම ඇහුවා. "කොහොමද එතකොට ඔයා ගන්න අනිත් විෂයයන්?"
"බයෝ ක්ලාස්සුත් හොඳටම අමාරුයි. මෙලෝ දෙයක් තේරෙන් නෑ. මං දැං මොකද කරන්නේ මෙත්මා?"
මේ වන විට ඇය සිටියේ දෙවැනි වසරේ. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයක පළවෙනි වසර එච්චර අමාරු නැහැ, මොකද ඒ විෂයයන් සරල නිසා. නමුත් දෙවෙනි වසර තමයි ඉතාම අමාරු. දෙවැනි වසරේදී තමයි ක්ෂේත්‍රයට අදාළ විෂයයන් හඳුන්වලා දෙන්නේ. ඉතිං මේ කවදාවත් කලින් ඉගන ගත්තේ නැති විෂයන් ඉගෙන ගන්න ලොකු වෙහෙසක් මහන්සියක් කෙනෙක් දරන්න ඕන. තුන්වෙනි වසර වෙනකොට ඒ අපහසුකම ටිකක් අඩු වෙනවා.
"දැන් මේ ඔයාගේ දෙවෙනි වසර නේද? ඒක තමයි විශ්වවිද්‍යාල ජීවිතේ අමාරුම හරිය. කොහොමහරි ඔයා එක විඳ දරාගෙන ඉන්න. ඊට පස්සෙ කාලයත් එක්ක හැමදේම හරි යනවා. ඔයා ඒ ගැන වැඩිය හිතන්න එපා."
"හිතන්නේ නැතුව ඉන්නෙ කොහොමද මෙත්මා? මම බැංකුවෙන් ගත්ත ණය! කොහොමද අපි ඒක ගෙවන්නේ. මම දන්නවා මම දුර්වලයි පන්තියේදී. මට මේ උපාධිය කරගන්න බැරි වෙයි කියලා හරි බයයි මෙත්මා. බැංකුවෙන් ගත්ත ණය ගෙවන්න අපිට වත් කමක් නෑ, අපි ජීවත් වෙන්නෙත් හරිම අමාරුවෙන්. උපාධිය කරලා හොඳ රස්සාවක් ලබාගෙන ණය ගෙවන එක තමයි තියන එකම ඔක්ෂන් එක. ඒත් දැන් ඒක කරගන්න බැරි වෙන හැඩක් තමයි තියෙන්නේ. මං ගොඩ එන්න බැරි මහා ලොකු අමාරුවක වැටුණේ." ඇගේ දුක්ගැනවිල්ලේ අවසානයක් නැහැ.
"ඔයා පසුතැවෙනව ද ඉගන ගන්න ආපහු ආපු එක ගැන?"
" අනේ ඔව් මෙත්මා ඉස්සර මං කොච්චර සතුටින් සැහැල්ලුවෙන් හිටිය ද? මට ඒක දැන් හීනයක් වගේ. මං මේ මහා ලොකු අඳුරු අගාධයකට වැටිලා ඉන්නේ ගොඩ එන්න ක්‍රමයක් නැතුව."
"එහෙම කියන්න එපා. ඔයාට කාලයක් යනකොට හැමදේම හරියයි. බලන්න ඔයාගේ හිතේ තියෙන හයිය. අද ඔයා දුක් වුනත් කවද හරි දවසක ඔයා සතුටු වෙයි."
"මං යන්නම් මෙත්මා. මං අපරාදෙ ඔයාගේ කාලෙත් කනවා."
"එහෙම එකක් නෑ. හැමදේම හරියයි ඔයා හොදින් ඉන්න."
එයා එහෙම වෙන් වෙලා ගියත්, අපි කතා කරපුවා ගොඩක් අදටත් මතකයි මට. අවසන් විභාගය ට දුර්වල විදිහට තමයි එයා මුහුණ දීලා තිබුනේ. පන්ති අතරතුරදී දුන්න ගෙදර වැඩ වලට, විභාග වලට සාමාන්‍ය ලකුණු ප්‍රමාණයක් තිබුනත්, සමස්ත ලකුණු 50 ක් වගේ තමයි එයා කලනයට අරගෙන තිබුණේ. එයාට මම දුන්නේ D සාමාර්ථයක්. ඒක එයාට ප්‍රමාණවත් නැහැ. එයා කලනය දෙක කරන්න ඕන නිසා මේ විෂය අසමත් වුණු හැටියට තමයි ගණන් ගැනෙන්නේ.
එයා අසමත් කළ එක ගැන මම පසුතැවෙන්නේ නැහැ. අවශ්‍ය දැනුම නැති නිසා එයාට ඊළඟ විෂය ඉගෙන ගන්න බැහැ. ඉතින් එයා අසමත් වුන නිසා මේ විෂයට ආයිත් ලියාපදිංචි වෙලා ආය සැරයක් කරන්න ඕන. එතකොට එයා ආපහු වැඩිපුර සල්ලි ගෙවන්න ඕන. ඒ ගැන නම් දුකයි ඉතින්. ඒ විශ්ව විද්‍යාලයේ මේ කලනය තමයි ගොඩක්ම අමාරුයි කියලා ළමයි කියන්නේ. හතරවෙනි හෝ පස්වෙනි වතාවටත් කලනය ඉගෙනගන්න ආපු ළමයි ගැන මං අහල තියෙනවා යාළුවන්ගෙන්.
කොහොම නමුත් ඊට පස්සේ මට මේ කාන්තාව හම්බ උනේ නැහැ. ඇත්තටම එක දවසක් මං එයාව දැක්කා නමුත් කතා කරන්න විදිහක් වුණේ නැහැ. ඇය මාව දැක්කෙ නැහැ.
2020 වසර ගෙවිලා යන්න තව දවස් දෙක තුනයි ඉතුරු (දැන් නම් 2021 ත් වෙලා ). ඉතින් ඔයාලට මේ කතාව කියන්න මම අදහස් කළාට පස්සෙ, ඇයට මොකද උනේ, ඇය දැන් මොකද කරන්නේ යන වග මට දැනගන්න ඕන වුණා. මං ඇමරිකාවෙන් ඇවිත් දැන් අවුරුදු පහකටත් වැඩි යි. ළමයි දහස් ගානකට නොයෙක් අවස්ථාවලදී මම ඉගැන්නුවා. මට එයාගේ නම හරියටම මේක කියලා මතක තිබුණෙ නැහැ. මම ඉස්සෙල්ලාම ඇයගේ නම හොයා ගත්තා, මගේ පරිගණකයේ ගබඩා කරල තිබුණ තොරතුරු පීරලා බලලා. දැන් මට හරි ආසයි මෙයා මොනාද කරන්නේ කියල දැනගන්න. එයාගේ නම ගුගල් එකේ සර්ච් කරා. ඒ නමින් ෆේස් බුක් පිටු ගොඩක් තිබුණා. ඒත් එයාගෙ එකක් තිබුනෙ නැහැ. එවන් කාර්‍ය බහුල ජීවිතයක් ගත කල ඇය ෆේස් බුක් වගේ සමාජ ජාල වලට විත් කාළය කා දමාවි ද?
මෙහෙම හොයාගෙන හොයාගෙන යනකොට මට හමුවුණා අපේ ටෙක්සාස් ටෙක් විශ්ව විද්‍යාලයෙන් 2017 වසරේදී ඇය හා ඇගේ දියණිය ක් ගැන ලියපු මනරම් ලියවිල්ලක්. එහි මාතෘකාව වූයේ, 'ශිෂ්‍යත්ව වලට පින් සිදු වන්න, මහන්සි වී වැඩ කල, නොගිල්විය හැකි ආත්මයක් ඇති අම්මාට කියන්න පුළුවන්:
"මම විද්‍යාඥවරියක් වෙන්නයි යන්නේ!" '.
ඒක හරිම විස්තරාත්මක ලිපියක්. ඇයගෙයි දුවගෙයි හරිම ලස්සන පින්තූර ගොඩාක් එකේ තිබුනා. ඒ වගේම ඒ ගොල්ලො වීඩියෝ එකකුත් කරලා තියෙනවා, ඒක යූටියුබ් එකේ තියෙනවා. ඒ දවස්වල එයා ඉඳලා තියෙන්නේ එයාගේ අවසන් වසරේ.
"දරිද්‍රතාවයෙන් හැදී වැඩුණු ඔබ විශ්ව විද්‍යාලයට යාම ගැන කවදාවත් නොසිතයි, ඔබ සිතන්නේ මම කෑම මේසය මත තබන්නේ කෙසේද? මම ගෙවල් කුලිය ගෙවන්නේ කෙසේද?" යැයි ඇය එහි කියා තිබුනා.
මේ ලිපියෙන් මට දැන ගන්න ලැබුණු දේවල් ටිකකුත් කෙටියෙන් කියන්නම්.
ඇගේ දුව හය වසරේ සිටින විට ඇයව කැඳවා තිබුනා ටෙක්සාස් ටෙක් විශ්වවිද්‍යාලය තවත් සංවිධාන සමග එකතු වී, සංවිධානය කල "මව්-දියණිය" වැඩ සටහනට. මෙම වැඩසටහන මඟින් හයවන ශ්‍රේණියේ ගැහැනු ළමයින් ඔවුන්ගේ පවුල්වල විශ්ව විද්‍යාල ප්‍රවේශ ලබන පළමු පරම්පරාව වනු ඇත. මව්වරුන් මෙම වැඩසටහනේ අනිවාර්ය අංගයක් වන අතර ඔවුන්ගේ දියණියන් සමඟ වෘත්තීය විකල්ප ගවේෂණය කිරීම, ස්වේච්ඡා සේවය කිරීම සහ TTU කැම්පස් සංචාරය කිරීම සඳහා සහභාගී වේ.
දුවට විශ්ව විද්‍යාල ජීවිතය ගැන කියා දෙන්න කම්පස් එක සංචාරය කරන්න ආ අම්මා කියනවා
"අපි භූ විද්‍යා අධ්‍යයනාංශයට ගිය විට මම වැඩසටහනට ආදරය කළෙමි. මගේ දුව සමඟ ඛනිජ හඳුනාගැනීමේ ව්‍යායාම කිහිපයක් කිරීමට මට හැකි වූ අතර, මම කුඩා ගැහැණු ළමයෙකු මෙන් සිනාසෙමින් සිටියෙමි."
"ඒ වගේම මම හිතුවා, මට මේක කරන්න පුළුවන් කියලා. මම මේකට කැමතියි."
ඉතින් එතන දි ඇති වෙච්ච ආසාව නියා එයා ට හැකි වෙලා තියෙනවා භූ විද්‍යාවේදී උපාධිය සඳහා ලියා පදිංචි වෙන්න.
ඇය ප්‍රමාණවත් නොවේ යැයි යන්න ද, භාර්යාව/වැඩ කරන මව/පූර්ණ කාලීන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් ලෙස ඇයට මුහුණ දෙන වෙන අභියෝග පිළිබඳව වූ බිය ද, පසක දැමූ ඇය එම අවස්ථාව ප්‍රයෝජනයට ගත්තාය.
ඇයට නොයෙක් ආකාරයේ ශිෂ්‍යත්වය ගොඩාක් ලැබුන හෙයින්, ඇයට අනිත් ළමයිට මෙන් විශාල ණය බරකට අසු නොවී බේරෙන්න හැකි වූ බව ඇය පවසයි.
ඒකෙ තව ගොඩාක් විස්තර තිබුණා. ඒත් මේ ටික මගේ ලිපියට ඇති කියලා හිතනවා.
මම තව හොයාගෙන යනකොට මට එයාගේ linkedin profile එක හම්බුනා. එයා දැන් උපාධිය අවසන් කරලා. රැකියාවක් කරනවා එයා ඉගෙන ගත්ත ක්ෂේත්‍රයේ. මගේ සතුට මෙච්චරයි කියලා කියන්න බැහැ.
එතනින් මට දැන ගන්න හම්බ වුනා, කැම්පස් කාලේ විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර හා බාහිර සංවිධාන අටක ඇය සාමාජිකාවක් වූ බවත්, නොයෙක් නායකත්ව වැඩ සටහන්වල නිරත වූ බවත්.
ඉතින් මම ඇයගේ සංවේදී තොරතුරු බොහොමයක් මේ ලිපි වලින් කිව්ව නිසා, ඈ කවුද යන වග හෙළි කරන්නේ නැහැ.
මෙවන් ධෛර්යමත් කාන්තාවන් පිරිමින් ලෝකෙටම ආදර්ශයක්!