Thursday, January 28, 2021

වරද කාගේද?

ඒක මහ අඳුරු දවසක්. පිටු පසින් සුදු හුණු ගෑ බිත්තියක්, දකුණු පසින් වහලයේ උසටම සරි මනාසේ නොබැඳි වේල්ලක්, කොරිඩෝවට එහායින් පළාතම වසා ගත් විශාල කොස් ගහක් උරුම කරගත් දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලය අන්තිමටම පිහිටි අපේ පන්ති කාමරේ කළුවර නැත්තේ මොන දවසටද? පියන් රහිත තරමක් විශාල ජනෙල් කවුළු, කම්බි දැලකින් ආවරණය කර තිබුනේ එය අලංකාර පිණිස ද දරුවන්ගේ ආරක්ෂාව පිණිස ද කවුරුත් නොදත්හ. පාසලේ සියළුම පංති කාමර ආලෝකමත් කිරීමට මේ ස්භාවික ක්‍රමය පිටුවල් වුවත්, මේ එකම ආලෝක ප්‍රභවය අපේ පංතිය හමුවේ පසුබෑවේ හපුත්ලේ කන්ද නඟින ගැලක බැඳි ගොනෙක් සේය. විශේෂයෙන්ම අඳුරු වැසි සහිත දින වල දී අප පොත් වල ලියූ අකුරු උඩ ඉන්න දෙවියන්ට වත් කියවීමට හැකි වූවාදැයි සැක සහිතය. ජන්ලෙයට ආසන්නම අසුනේ උන් මට ඉතා කලාතුරකින් දිනක, කුඩා කඩල ඇට තරමේ හදිසි අයිස් වැසි වැටීමේ සුන්දර දසුනේ පැහැදිලි දර්ශනයක් දැක ගැනීමේ භාග්‍ය හිමි විය. අනේ ඒත් සුළං වැසි වසින සීත දවසට මගේ දකුණු පසින් පිණිබිදු මා සොයා ආවේ හිරි ගඩු පූප්පමින් දෙන්නං ජම්බු කියාගෙනය. 

පිරිමි ළමුන් සිටියේ කොරිඩෝව පිහිටි පැත්තේය. එනම්,  ගැහැණු ළමුන් සිටියේ වේල්ල පැත්තෙම ය. ගැහැණු ළමුන්ගේත්, පිරිමි ළමුන්ගේත් පේළි හතර බැගින් පන්තිය සැදුම් ලත්හ. මේ එක් පෙළක ළමුන් හතරක් හෝ පහක් හෝ සිටිති, නමුත් ඒ කොයි පෙළකත් ඩෙස් තිබුණේ හතරකි. උස ගැන නොසිතා, අවසාන පේළියේ සිටීමට මා නිතැතින්ම කැමති වුයේ පුටුව පිටුපසට ඇල කර නිදහස් ඉරියව්වෙන් සිටීමට හැකි මහඟු අවස්ථාව නිසාමය. කෙසේ හෝ වේවා ජනේලෙ ළඟ උන් මට එහා පැත්තෙන් තව ළමයි තුන් දෙනෙක් සිටී. මා ළඟ සහ ඊට එහායින් සිටි ළමුන් දෙදෙනා මා දැන සිටියේ දෙක වසරේ සිටය. නමුත් ඒ දිනවල අප අතර දැඩි ඇසුරක් නොතිබිණි.

මනා සේවයක් ලබා ගැනීමේ අරමුණින්, රජයේ සේවකයන්ගේ සේවා ස්ථානය මාරු කිරීම නම් වූ ලාමක වැඩපිළිවෙළින් බැට කෑ ගුරුවරුන්, නමයෙන් දහයට එනවිට ළමුන් මාරු කර පන්තිවලට දැම්මේ කූඨ උපක්‍රමයෙන් අපේ ප්‍රගතිය වැඩිවේ යැයි බොරු බලාපොරොත්තු තබා ගත්තෝය. නමුත් එය හැමෝටම එක ලෙස බලපෑවේ නැත. වහා කතා කළ සැනින් යහළුවන් යෙහෙළියන් බවට පත්වීම මගේ ක්‍රියා කලාපය නොවේ. අනිත් ළමුන්ට සාපේක්ෂව ලඟ යහළුකමක් ඇති කර ගැනීමට මට දිගු කාලයක් ගත වේ. එය විටෙක මාස 6ත් අවුරුද්දත් අතර කාලයක් ගනී. වසර ගණනක් තිස්සේ අපිට ආදරෙන් ඉගැන්වූ ගුරුවරුන්ට, පණ මෙන් උන් අපි තුන්දෙනා පන්ති තුනකට දැමීම සුළු දෙයක් විය. මේ අදුරු පන්ති කාමරයේ ගත කළ 10 වසරේ මුල් භාගයේ දී මගේ සිතට දැනුන තනිකම ගැන ඔවුන් දශමයකුදු දැන නො සිටියහ. 

එහා පන්තියේ උගන්වන දේ විටෙක අපට හොඳන් ඇසෙයි. ඊට එහා පන්තියේ උගන්නන දේත් විටක ලාවට ඇසෙයි. හොඳට කට සද්ද ගුරුවරයෙක් නං ඊටත් එහා පන්තියේ උගන්නන විටත් අපට ඇසෙයි. එහා පන්තියේ ඉංග්‍රීසි ටීච 

"Do you understand?"

"Yyyyyeees"

ප්‍රශ්නය මෙන් ම පිළිතුර ද ඇගේ ම ය. 

කුමක් හෝ කාරණයක් හේතුවෙන් අපේ පන්තියේ ගුරුවරයා/ගුරුවරිය මේ කාලච්ඡේදයේ පන්තියට නො පැමිණ ඇත. පන්තියේ ළමුන් අමන්දානන්දයට ලක් කළ නිදහස් කාල පරිච්ඡේදයක් ලෙස අපි එය හඳුනා ගත්තෙමු. ළමුන් එකිනෙකා හා කතාවට යුහු සුළු වෙයි. අලුත් නවාතැනකට පියඹා යන මී මැසි රංචුවක් මෙන් ගුමු ගුමු ඝෝෂාවක් දසත පැතිරී යයි. ඒත් එහෙමට යාලුවෙක් නොසිටි මම ඔහේ පාඩුවේ ම සිටිමි. ඒ අවස්ථාවේ එහා පන්තියට ඉගැන්වීම සඳහා මා ඉතා හොඳින් දන්නා අඳුරන වසර ගණනක් ආශාවෙන් අධ්‍යාපනය ලැබූ ආදරණිය ගුරුවරයෙක් පැමිණ සිටි. සාමාන්‍යයෙන් එහා පන්තියට හෝ අපේ පන්තියට ඉගැන්වීමට මෙම ගුරුතුමා නොපැමිණෙයි. අපේ පන්තියේ ඝෝෂාව මැද්දෙන් ලාවට ඔහු උගන්නන හඬ මට වරෙක ඇසෙයි. ඒ කටහඬ ඇසීමත් ප්‍රියජනක ය. 

ටිකක් කට සැර වුවත්, ෆෝර්මියුලා තරග පිටියක සේ වූ ඝෝෂාව කපාගෙන හයියෙන් ටික වේලාවක් කතා කර, හෙම්බත් වූ ගුරුතුමා වහා අපේ පන්තියට කඩා වැදුණහ.

"ළමයි උඹලා ඔහොම කෑ ගහනකොට කොහොමද  බං මං එහා පන්තියේ උගන්වන්නෙ? වැඩක් නැත්නම් පොතක් බලාගෙන පොඩ්ඩක් ශබ්ද කරන්නේ නැතුව ඉන්න."

යි රතු නිවේදනයක් නිකුත් කළේය. ළමුන් මීයට පිම්බාක් මෙන් ක්ෂණිකව නිශ්ශබ්ද විය. 

මේ ආදරණීය ගුරුවරයාගේ දහසක් බලාපොරොත්තු කඩකරමින් ඒ නිහඬතාවයේ ආයු කෙටි විය. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ළමුන් එකිනෙකා හා කතාව නැවත ඇරඹූවෝය. ටික මොහොතකින් එය කලින් වූ ඝෝෂාව මෙන් ම දරුණු ඝෝෂාවක් විය. "යකෝ මුන්ට කියන දෙයක් අහන්න බැරි හැටි" යි කෝපාවිෂ්ට වූ ගුරුවරයා පන්තියට පියමනින වේගයෙන්ම නිහැඬියාව ද පන්තියට ආවේය.

 "උඹලට මං ආයෙ කියන් නෑ, පාඩුවේ ඉන්නවද නැත්තං මගෙන් ගුටි කනවා ද? මම හොදින් කියන්න අන්තිම වතාව. එකෙක් හරි අහුවෙයන්කො මට."

පන්තියේ ආයෙත් නිහැඬියාව රජයයි. මා අසල උන් ළමයි සමග වචනයකුදු කතා නොකළ මටනම් දැන් අම්බ කම්මැලි ය. නමුත් හිමින් හිමින් ළමුන් තම අසල වුන් එවුන් හා කතාවේ යෙදෙති. අයෙක් තම ළඟ සිටි සගයාට කියන්නට ඇති සියල්ල කියා අවසන් වූ පසු, තම අසුනින් නැගිට, පන්තියේ වෙනත් තැනක උන් කෙනෙක් සමඟ කතාවට වැටෙයි. පන්තියේ ළමුන් කීපදෙනෙක් සිටගෙන සිටින අතර බොහෝ දෙනා වාඩිවී සිටී. මට වමෙන් උන් ළමයා එයාට වමෙන් උන් ළමයා සමඟ බර කතාවක. මම උන් පෙළට ඉදිරියෙන් මැදි පෙළ අසලම හිටියේ  කලින් සිට හඳූනන මගේ ආදරණීය මිතුරියකි. 

"මම යනවා මෙයා ලඟට, ඒකල්ලා හිමීට රහසින් මොකක් හරි කියලා එනවා. කොහොමත් මේ ගුරුවරයා ආය ආවොත්, පන්තියේ අයිනේ ඉන්න ළමයිට පේනවා නේ, ඉතින් අනිත් අය වගේ මාත් ටක් ගාලා ඇවිත් වාඩි වෙනවා මගෙ පුටුවෙන්" යි 

බලාපොරොත්තු දල්වා මා පුටුවෙන් නැගිට, මා මිතුරිය ළඟට යෑම ඇරඹුවෙමි. අපහසුම කර්තව්‍ය වුයේ, අප පේළියේ මැදි පෙළ ළඟම උන් මා එතරම් නොදන්නා ළමයා පසු කර යෑමයි. මාගේ මේ ගමන ඈට නොරිස්සුම සහිත විය. කන්දක් තරම් බාධක පසුකර මා කලින් කී මිතුරිය ළඟට ආ පසු ඈ නිහඬය. ඇය මා හා එකදු වචනයකුදු කතා නොකළා ය. ඉතින් මා ද නිහඬය. නමුත් පන්තියේ අනිත් ළමුන් එසේ නොවීමෙන් ඉතා දැඩි ඝෝෂාවකින් නැවතත් පන්තිය ගිගුරුම් දුන්නේය. 

පිරිමි ළමුන් සිටි පැත්තේ කොරිඩෝවට යාබද ව තිබුණේ අඩි තුන හමාරක් පමණ උස් වූ බිත්ති කොටයකි. මෙලෙස පන්ති කාමර සැලසුම් කළ නිර්මාණකරුවා බලාපොරොත්තු වූයේ පිරිමි ළමුන්ගේ අවධානය නිතැතින්ම වෙනතක යොමු කිරීමට දැයි වරෙක මට සිතෙයි. එහි අපට ද ප්‍රයෝජන නැත්තේම නොවෙයි. 

හිටිහැටියේම තම සුපුරුදු අසුනෙන් ඈත්ව තැන තැන සිටගෙන උන් ළමුන් ඩෙස් පුටු පෙරලා තම අසුන කරා එහෙන් මෙහෙන් උඩින් යටින් දිව ගියේ, කිසිවෙකුටත් මෙල්ල කළ නොහැකි රා කළ හතක් පෙවූ නාලාගිරි ඇතා පසුපස හබන්නාක් මෙනි. ඒත් සමඟම ෆෝමියුලා රේස් කාර් එක එක එහි ගමන අවසන් කර ඝෝෂාව අඩුවෙනවා මෙන්, පන්තිය ද මේ සැරසෙන්නේ නැවතත් නිහැඬියාවට ය.

දුර ඈත පිහිටි තම ආදරණිය අසුන සොයා යෑම දුෂ්කර වූ සමහරෙක් ලඟම ඇති අසුනක අසුන් ගත්හ. ඉතින් මෙතෙක් සිටගෙන සිටි මා ද මගේ අසන සොයා යන්නට යුහු සුළු වූයේ, මාස ගානකින් නොදුටු තම පෙම්වතිය සොයා යන පෙම්වතෙක් විලසිනි. අහෝ ඒත් මගේ ගමන ගැඹුරු කිඹුලන් සහිත ගඟක් තරණය කරනවා ක් මෙන් දුෂ්කර විය. ගුරු මේසය තිබුණේ ගැහැණු ළමුන් සිටි පැත්තෙම නිසා, ගැහැණු ළමුන්ගේ පේළි අතර ඉඩ ඇහිරී තිබුණි.

අනේ අනිත් ළමුන් දෙදෙනා ඔවුන්ගේ පුටු ඉදිරියට ඇද බඩ තද කරගෙන මට යෑමට ඉඩ සලසා මා එනතුරු බලා සිටියත්, අපේ පේළියේ මුළින්ම සිටි ළමයා මට මගේ ගමනට වල කැපුවා ය. මට තිබුණේ ඇය පසු කර යෑම පමණකි. ඇයව පෙරලාගෙන හෝ යෑමට උත්සාහ කලත්, ඇය ඉතා දැඩි සේ නොසෙල් වී සිටියේ "මේ මොන කරදරයක්ද" කියා සිතමින් විය යුතුය. අනිත් ළමුන් දෙදෙනා පුටුවකින් එහාට ගොස් මට සහයෝගය දැක්වූ වත්, මේ ළමයාට කොතරම් ඇවිටිලි කළත් ඒ සියල්ල නිශ්ඵල විය. සියල්ල සිදුවූයේ තත්පර කිහිපයක් ඇතුලත ය. නාලාගිරි ඇතා ටත් වඩා කෝපාවිෂ්ට වූ ගුරුවරයා අප පන්තියට පැමිණියහ. ළමුන් සියල්ල කොහේ හෝ තැනක අසුන්ගෙන මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්ද වී සිටී. පන්තියේ විශාල පිටුපස බිත්තිය ආසන්නයෙන් මා පමණක් අසරණව සිටගෙන සිටියේ කුඹුරු යායක් මැද හිටවූ පඹයෙක් මෙන් අකමැත්තෙනි. ඉතිං මේ පැමිණි ගුරුතුමා නැවතුනේ මගේ ලඟය.

"මෙත්මා මම දන්නවා ඔයා එහෙම කෙනෙක් නෙවෙයි කියලා, ඒත් මට වෙන කරන්න දෙයක් නෑ."

ඒ වචනත් සමඟම ඔහුගේ අත ඉස්සිනි. මගේ වම් කම්මුල රත් වූ යකඩයක් මෙන් රතු වී රත් වී ඇත. ඉන්පසු ඔහු කුමක් හෝ පැවසුවා දැයි මට මතක නැත. ගුරුවරයා පන්තියෙන් පලා ගිය පසු, අර ළමයා මගේ අසුනට යෑමට ඉඩ සැලසූවාය. මා මහත් අපහසුතාවයෙන් ඒ අසල මට ඉඳ ගැනීමට ඉඩ සැලැස්සූ අසුනේ ඉඳ ගත්තා නොව එයට වැටුණා කිව්වොත් නිවැරදි ය. මා ලඟ උන් අනිත් මිතුරියන් මා ගැන දුක් වූවෝය. ළමුන් සියල්ල තමුන්ගේ කට තදින් වසා එකදු වචනෙකුදු පිට නොකර සිටීමට වගබලා ගත්තෝය. පංතිය පුරා ඝන නිහැඬියාවක් පැතිර තිබේ. එකදු වචනයක් එළියක දැමීමට කවුරුන් හෝ ධෛර්යමත් නොවූවීය. දැන් ඒ ගුරුවරයා උගන්වන සියල්ල හොඳින් මට ඇසෙයි. නමුත් එහි අරුතක් නොතේරෙයි. ටික වෙලාවකින් සීනුව නාද කරපු නියාවෙන් ඔහු පන්තියෙන් බැහැර ගියහ. 

අප පන්තියේ සියලුම දෙනා ට, මං කිව්වේ 10වසර නෙවෙයි, ඊට කලින් පන්තියේ ළමයිට, මේ ගුරුවරයා ගැන ලොකු ආදරයක් සිත්වල තිබුණු බව මම දනිමි. "කෙල්ලනේ", "කොල්ලනේ" වැනි සියුම් බසින් ආදරයෙන් ඇමැතීමට ඔහු වගබලා ගත් බව මට තාම මතකය. ඔහුට මගේ සිතේ තිබූ ආදරයට මේ සිදුවීම කැලලක් විය. නැවත ඔහු හා කතා කිරීමට ද මා සිත් නොවීය. බොහෝ විට මම ඔහු මග හරින්නට උත්සාහ කළෙමි. නැවත ඒ ගුරුතුමාගෙන් ඉගෙනීමට මට අවස්ථාවක් උදා නොවිනි. කෙසේ හෝ කාලයක් යනතුරු මේ අඳුරු සිදුවීම මගේ සිතේ තිබුණි. කාලයක් යන විට ඒ සියල්ල අමතක වී මගේ සිත යතා තත්ත්වයට පත්විය. මේ අවාසනාවන්ත පහරදීම පිළිබඳව ගුරුවරයා පසුතැවුණු බවක් මට මතකය. ඔහු ඒ ගැන මගෙන් සමාව ගත්තා කියලත් විටෙක සිතෙයි.

මේ අනවශ්‍යය පහරකෑමට මා ලක් වූයේ කාගේ වරදින්ද දැයි මට අදටත් නොවිසඳුණු ප්‍රේහෙළිකාවකි. එය, අප නිශ්ශබ්ද කිරීමේ අසාර්ථක ව්‍යාර්ථයක යෙදී අවසන, තම තරහ පාලනය කරගත නොහැකි වූ ගුරුතුමාගේද? කාගේත් බසට නතු නොවන වයසක උන්, ෆෝමියුලා තරග පිටියක මෙන් ඝෝෂාවක් කළ ළමුන්ගේ ද? මා අසුන වෙත යෑමට ඉඩ නොදී දැඩි සේ උන් ළමයාගේ ද? කිසි ශබ්දයක් නොකල නමුත් මාගේ අසුනේම රැඳී සිටීමට අපොහොසත් වූ මාගේ ද? එසේත් නැත්නම් අපිට ගුරුවරයෙකු එවීමට අපොහොසත් වූ කාර්යාලයේ ද?

මේ සිදුවීමෙන් බොහෝ කලක් ගත වී ඇත. ඒ පිළිබඳ මතකයේ අන්  කවරෙකුගේ සිත් සන්තානයේ තිබේද? මේ ගුරුතුමාට කරන්නට තිබූ හොඳම දේ, අපේ පන්තියේ ළමයින්ට පුටුත් අරං එහා පන්තියට එන්න කියා පන්ති දෙකටම ඒ පාඩම කියා දීමය.

කෙසේ හෝ වේවා,

 "දරුවෙකුට පහරක් ගැසීමට පෙර දහ වතාවක් සිතිය යුතුය. දහ වතාවක් බැරිනං තුන් වතාවක් සිතිය යුතුය."

ඒ සිතිය යුත්තේ මෙසේය 

1. මං ඒ ගහන එකෙන් මේ දරුවාට වෙන සෙත මොකක්ද?

2. ඉන් මට වෙන සෙත මොකක්ද?

3. ඒ අවස්ථාවේ වටපිටාවේ ඉන්න අයට වෙන සෙත මොකක්ද?

4. මෙයින් මේ දරුවාට දිගු කාලීනව සිදුවන යහපත හෝ අයහපත හෝ කුමක්ද?

5. මෙයින් මට සිදුවෙන දිගුකාලීන යහපත හෝ අයහපත හෝ කුමක්ද?

6. මෙයින් දරුවාගේ ආත්ම ගරුත්වය යම් හානියක් වෙයි ද?

7. මෙයින් මගේ ආත්ම ගරුත්වයට මොන හානියක් වෙයි ද?

8. මට තියන එකම හා හොඳම විසඳුම ද මේ?

9. මේවාගේ දරුණු දඬුවමක් දීමට තරම් දරුණු වරදක් මේ දරුවා කළා ද?

10. මෙවන් පහත් වැඩක් කිරීම මා වැන්නෙකුට සුදුසුද? 







 

8 comments:

  1. "දරුවෙකුට පහරක් ගැසීමට පෙර දහ වතාවක් සිතිය යුතුය. දහ වතාවක් බැරිනං තුන් වතාවක් සිතිය යුතුය."//

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ, ඔය ප්‍රශ්න දහය අසමින් සහ ගමනක් හිතනකොට එක්කෝ තරහ නිවිලා, නැත්තං හිත සන්සුන් වෙලා. ඒ නිසා, දරුවාට ගුටි කන්න වෙන්නේ නෑ.
      ඒත් නැත්තං, එක ප්‍රශ්න යකට හරි ඍණාත්මක පිළිතුරක් ආවොත් ගහන එක නතර කරන්න ඕන.
      ඔක්කොම ධනාත්මක පිළිතුරු ආවොත්, ආයෙත් මුල ඉඳලා ප්‍රශ්න අහගෙන එන්න ඕන එකක් ඍණ පිළිතුරක් එනකන්.

      Delete
  2. හොඳ සටහනක්..

    ReplyDelete
    Replies
    1. ඔබගේ අගය කිරීමට මාගේ ප්‍රණාමය.

      Delete
  3. 3. ඒ අවස්ථාවේ වටපිටාවේ ඉන්න අයට වෙන සෙත මොකක්ද?

    ළමයින්ට පහරදීම අනුමත නොකරමි. ඔබම කියා ඇති පරිදි පහරදීමට පෙර ඔබ මෙවන් දේවල් නොකරන අයකු බව ඔහු පැවසුවා නේද? එයින් හැඟෙන්නේ ඔහුගේ එහා පන්තියේ පාඩම කරගෙන යාමට හැකිවීමට ඔබගේ පන්තිය නිෂ්ශබ්ද කර ගැනීමට පමණක් කල දෙයක් බවයි. පහර කෑවේ ඔබ බැවින් එය ඔබ පෞද්ගලිකව ගැනීම ගැන වරදක් කිව නොහැකියි. එහෙත් දෙවරක් අවවාද කල පසුවත් ඔබ ඔබගේ පුටුවෙන් ඉවත්වී සිටීම ගැන ඔබත් වගකිව යුතුයි.

    මේවගේම දෙයක් මටත් වෙලා තියෙනවා. මගේ අත්දැකීම ටිකක් හාස්‍යජනක එකක්. අල්ලපු පන්තියක ගුරුවරයෙන් මෙලෙසම එනවිට හිටගෙන සිටියේ මම පමණයි. ඔහුත් ඔයවගේම කම්මුල් පාරක් එල්ල කලා. බලාපොරොත්තු නැති ලෙස එල්ලකල එම පහරෙන් බේරීමට මම නැමුණා. තරමක් තරබාරු එම ගුරුවරයාට බැලන්ස් නැතිවී ගොස් ඔහුගේ පහර වැදුනේ වෙන ළමයෙකුට. එම සිද්ධියෙන් අන් අයට සිනාව යටපත් කරගෙන ඉන්න බැරිවුණා. ඒ නිසාම ගුරුවරයාටත් හිනා ගොස් ඔහු වහාම පන්තියෙන් පිටවුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉයන් මම ඒ වැරැද්ද (පුටුවෙන් නැගිට වෙන තැනකට යෑම) නොකර හිටියා නම් මට ඒ දඬුවම විඳින්න සිදු වෙන්නේ නැහැ.
      ඔව් ගොඩක් වෙලාවට ළමන් ගහන එද්දී බේරෙන්න නැවෙනවා. ගුරුවරයා ගේ තරහ එතනින් නිවි කවුරුත් සිනහා සෙනවා. නමුත් ඒ අවස්ථාවේ මට එහෙම කරන්න බැරි වුණා මොකද ඒක මගේ පළවෙනි අත්දැකීම.
      මට හිතෙන හැටියට මේ ගුරුතුමාට ඒ වෙලාවේ කරන්න තිබුණේ අපේ පන්තියේ ළමයින්ට "උඹලා වරෙල්ලා පොතුත් අරගෙන" කියලා පන්ති දෙකේම ළමයිට එක සැරේ උගන්නන්න.

      Delete
  4. හරිම ලස්සනට වචන ගලපා තියෙනවා. අර්ථාන්විත යෝජනාවක් රසවත් ලිපියකින් ඉදිරිපත් කිරීමක්!
    ඒ වගේම පහුගිය දිනක මාතර පුහුල්වැල්ල පාසලකින් සිසුවෙකුට අමානුෂික ලෙස ගුරුවරුයකු පහර දුන් සිදුවීම පිළිබඳව දැනගෙන ලිව්වාක් මෙනි.. ගුරුවරුන් සිසුන්ට දඬුවම් දීම පිළිබඳව පමනක් නොව, රටේ අධ්‍යාපන ක්‍රමයේ ඇති තවත් ගැටළු කිහිපයක් ගැන දාර්ශනිකව ඉදිරිපත් කර තිබේ කියා හැඟෙනවා. අනර්ඝයි!

    ReplyDelete
    Replies
    1. දිරිගැන්වීමට සහ අගය කිරීම සම්බන්ධයෙන් මගේ ප්‍රණාමය ඇනෝ.

      ප්‍රශ්නය තියෙන්නෙ ළමයින්ට/ගුරුවරුන්ට මුහුණ දෙන්න සිදුවෙන්න මෙවන් අකටයුතුකම් වලක්වා ගැනීමේ ක්‍රමවේදයක් අධ්‍යාපනය ක්ෂේත්‍රයේ නොතිබීමයි. ඒ ගුරුවරුන්ගේ හෝ දෙමවුපියන්ගේ මට්ටමේ නොව අධ්‍යාපනය අමාත්‍යාංශය විසින් සිදුකළ යුත්තක්.

      Delete