Saturday, November 20, 2021

සුභ පැතුම් කවියෙන්

අපේ අම්මා මේ ලඟකදී ඉඳන් පටන් අරන් තියෙනවා උපන්දිනේට සුබ පතන්න කවියෙන්. මම තමයි එයාගෙ අදහස දැම්මේ. එයාගෙ මිණිබිරීගේ උපන්දිනේට  "අනේ ඉතින් මට දෙන්න දෙයක් නෑනේ" කියද්දි මම කිව්වා, 

"ඉතින් ඔයා ඉතින් ලස්සනට කවි ලියනවා නේ, කවියක් ලියලා දෙන්නකෝ" කියලා.

ඒ ලියපු කවිය අපි පස්සේ බලන්න තියාගෙන, අද බලමු එයා මට දුන්න කවිය මොනවගේද කියලා. 


තිළිණයක්  දෙන්න හිතුනත් උපන් දි⁣⁣          න දෙන්නට දෙයක් නැත ඔබ හට ඉතින් වෙන පැතුමන් සමගින්ම ඔවදන් හරි වටි ම      න 
කවි මල් මිට මගේ සතුටින් පිළිගන්          න 

ජීවන ගමන කරගෙන රෝදයක් ව       ගේ 
සැප දුක දෙකම ඇත අප යන අතර ම ගේ 
පියකරු  සුවඳ ඇති ලස්සන මලක් ව  ගේ
ජීවත් වෙන්න සැමදා එය තමයි අ         ගේ

ඉහළ බලාගෙන වැඩුනත් දිනෙන් දි      න 
පලබර වෙන විට දී ඇත බිම බලා ගෙ න
නිරහංකාර බව ලෝකෙට කියා දෙ       න 
පාඩම එයයි ලොව ගරු බුහුමන් ලබ   න 

පලබර ගසටමයි ගල් මුල් වදින්         නේ
ගස නම් අනේ නැත කලබල කරන්   නේ
අතු ඉති දමා යළි යළි පල දරන්           නේ 
යහපත තමයි ලෝකයටම  බෙදන්    නේ 

අපගේ සියලු කුණු කන්දල් දරාගෙ      න
රස මුසු බොජුන් ඒ වෙනුවට ලබා දෙ  න
සාමය සතුට නිතරම තුරුලට රැගෙ    න
මිහිකත වගේ ඉවසීමෙන් කල් ගෙව   න

උදේට පිපෙන මල් ලස්සන හැඩයි ව   ගේ
හවසට පිපෙන මල් සුවඳයි සුදුයි ව     ගේ
මේකෙන් අහගන්න දුව රත්තරන් ම   ගේ 
ජීවත් වෙන්න සුවඳැති හැඩ මලක් ව  ගේ 

සිතන පතන දේ එලෙසම ඉටු වෙන්න      යි
තෙරුවන් සරණ නිති සැමදා ලැබ ගන්න  යි
තිස්තුන් කෝටියක් දෙවියෝ රැක ගන්න  යි 
මගේ  පැතුම ඒ ලෙසටම ඉටුවෙන්න        යි 

මම නොදුටුව නව ලෝකයෙ කිරුලු පලන් රැජින වෙලා
ඔබ අද මට වෙන්නට හැකි ඉහළම තිළිණයක් වෙලා 
මගෙන් වුනා නම් වරදක් අසරණ මට සමාවෙලා
ඉපදේවා සසර වසන තුරුම මගේ දුවම වෙලා

කරුණාවතී


ඉතින් මට ගොඩක්ම වටින්නේ එයා මට දුන්න ඔවදන් ටික. තනතුරින් ඉහළට යන්න යන්න නිරහංකාර වෙන්න කියන එකත්, නින්දා අපහාස වලට සැලෙන්න එපා කියන එකත්, මිහිකත වගේ ඉවසන්නත් එයා මට කියනවා. ඉතින් ඒ දේවල් හැමදාම මගේ හිතේ තියෙයි. 

මම ඔයාලවත් ධෛර්යමත් කරනවා ඔයාගේ ආදරණීය වෙනුවෙන් පැතුම් යවන විට කවියෙන් සුබ පතන්න කියලා.




2 comments:


  1. මම නොදුටුව නව ලෝකයෙ කිරුලු පලන් රැජින වෙලා
    ඔබ අද මට වෙන්නට හැකි ඉහළම තිළිණයක් වෙලා
    මගෙන් වුනා නම් වරදක් අසරණ මට සමාවෙලා
    ඉපදේවා සසර වසන තුරුම මගේ දුවම වෙලා

    හැම හැඟීමක්ම මේ පද හතරෙ

    ReplyDelete
  2. මසුරං කවිපද ටිකක් නෙව..

    ReplyDelete