Sunday, October 8, 2017

ගැර්ම්පියන් ජාතික වන උයන බලා 1

ආයුබෝවන්!

මේ සැරේ ටිකක් වෙනස් විදියේ වැඩක් කරන්න හිතුනා. මේක කාලයක් තිස්සේ මගෙ හිත්තේ තිබ්බ දෙයක්. මම නවකතා වලට වැඩි කැමැත්තක් නැති උනත් මම ආසයි කතන්දර ලියන්න. මෙතුවක් කල් මගේ ජීවිතේ සිද්ද වෙච්ච සිදුවීම්, මගේ අමතක නොවෙන අත්දැකීම් වගේ දේවල් ගැන ලියන්න, හරියට 'අපි තොපි' ලියන අපේ  සලිත වගේ ලියන්න. මුලින් නම් මට මේම ලියන්න පුළුවන් වෙයි කියලා ලොකු විශ්වාසයක් තිබ්බේ නෑ. ඒත් මගේ චිත්‍ර ගැන ලියද්දි මට හිතුනා මට මේක කරගන්න බැරි දෙයක්න් නෙවෙයි, මට පුළුවන් වගේ කියලා. කොහොම නමුත් මට තියෙන දාහක් වැඩ අස්සේ මේකත් කොහොමහරි කරනවාමයි කියලා ලොකු ගැම්මක් ආවේ, මගේ ලිපි වලට හම්බ වෙච්ච ප්‍රතිචාරත් එක්ක. විශේෂයෙන්ම, අමිලගෙන් නිරන්තරයෙන්ම හම්බ වෙච්ච ප්‍රතිචාර. අමිල කියන්නේ මගේ යාළුවෙක්, එයා නිතරම කියනේ මගේ චිත්‍ර පිටුපස ලියවුනු කථා කියන්වේන ආසයි කියලා. මම ලියන දේවල් ආසාවෙන් කියනවලා සතුටු වෙන මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවනේ කියලා මට ගොඩක් සතුටු හිතුනා. අමිල, ඔයාට පිං, ඔයා නිසයි මම මේ වැඩේ පටන් ගත්තේ. එක්සත් ජනපදයෙදි, ඕස්ට්ට්‍රේලියාවෙදි, වගේම් ලංකාවෙදිත් මගේ ජීවිතයට එක් වුනු සුන්දර, අසුන්දර, භයංකාර, එකී, නොකී, නෙකී අත්දැකීම් බෙදා ගන්න කවුරුත් කැමති වෙයි කියා මම විශ්වාස කරනවා. එහෙනම් ඕං පටන් ගන්නවා ඈ.

හැමදාම උදේට කැම්පස් යනවා, හවස් වෙනකං වැඩ කරලා, ගෙදර එනවා, ඒකල්ලා මොනා හරි ටිකක් රත් කරගෙන  කාලා, කථාවක් එහෙම බලලා, නිදා ගන්නවා. ඊ ලඟ දවසෙත් ආයෙ ඒකමයි. මේ ඒකාකාරී ජීවිතෙන් මිදෙන්න, පරිගණක තිරයත් එක්ක තුන්තිස් පැයේ ගෙවෙන ජීවිතයෙන් මිදෙන්න, කොහේ හරි මලදානක ගිහින් එන්න ඕනිමයි කියලා හිතුනේ මීට මාස ගානකට කලින් ඉඳලා.  සමාසිකයේ මැද ශිෂයින්ට සතියක නිවාඩුවක් හම්බ උනත්, අපිත් එක්තරා ආකාරයක ශිෂයෝ උනත්, අවාසනාවක මහත කියනේ, අපි ඒ නිවාඩු හම්බ වෙන්නේ නෑ. ඒ කොහොම උනත් ගිය සති අන්නේ සිකුරාදාව නිවාඩුවක්. ලංකාවෙ වගේ මේ රටේ වැඩ කරන ජනතාවට වැඩිය නිවාඩු නෑ, පෝය නිවාඩු එහෙම මෙහෙ නෑ. බොහෝම පුංචි නිවාඩු ටිකක් තියෙනවා, අපේ කැම්පස් එකේ, ඒ ඔක්කොම එකට අල්ලා, නත්තල් නිවාඩුවත් එක්ක අවුරුද්දේ අග, සති දෙකක නිවාඩුවක් හම්බ වෙනවා, එච්චරයි. මොකක් හරි හේතුවක් හින්දා පහුගිය සිකුරාදා නිවාඩුවනම් අපිට හම්බ උනා.

ගොඩ දවසක ඉඳන් හිතේ ලොකු ආශාවක් තිබ්බා ගැම්පියන් ජාතික උද්‍යානය නරඹන්න යන්න. කීපදෙනෙක්ට යංද කියලා කතාකරත්, කවුරුත් ආවෙ නැති නිසා, දර්සයි මායි තනියම හරි යනවා කියලා තීරණය කරා. සිකුරාද දවසම කරේ ගමනට ලක ලෑස්ති වෙන එක. ඒ ජර මර අස්සෙනේ දර්සගේ චිත්‍රෙ ගැනත් ලියන්න ගත්තා. අපි මෙහෙට ආවට පස්සේ දවසක් නැවතිලා ඉඳලා එන්න යන පළවෙනි ගමන. කෑම ටිකක් එහෙම හදාගෙන (ලංකාවෙදි නම් අපි කිරිටොපි, අළුවා වගේ පැණිරහ දේවල්නේ හදන්නේ, ට්‍රිප් යනකොට, ඒත් මේ මෙහෙදි නම් අපි හරි ගස්සගත්තේ එළවළු පිනි ටිකක් තමයි. ඒක ලේසියි, ලාබයි, කටට රහට කන්න පුළුවන්), වාහනේ එහෙම සොදගෙන, දර්ශනට උපන්දිනේට හම්බ වෙච්ච අළුත් කැමරාවත් ලෑස්ති කරගත්තා. රෙදි දෙකතුනක් බෑග් එකක්ට රෑම දැම්මේ, උදේම නැගිටලා 6:30 -7ට තවත් ගෙදරින් යන්න හිතාගෙන. ඒත් ඉතින්, සුපුරුදු පරිදි සෙනසුරාදා නැගිට්ටේ පරක්කු වෙලා. අපි ගෙදරින් පිටත් උනේ 8:30 ට විතර. 

මේ දවස් වල ලෝකෙ බොහොමයක් රටවල් වලට ගස් වල කොළ කහ, තැඹිලි, රතු වෙලා බිම හැලෙන ෆෝල්, එහෙමත් නැත්මන් ඕටම් නැත්තන් සිංහලෙන් කියනවා නම් සරත් ශිතුව උනත් ලොකේ පහළ අර්ධ ගෝලේ ඉන්න අපිට නම් කොළ හැලිච්ච ගස්වල ලස්සනට මල් හැදීගෙන එන, දළුදාගෙන එන සුන්දර වසන්ත සමයයි මේ. මොකාක් හරි හේතුවක් නිසා අපේ ගෙවල් ලඟත්, කැම්පස් එකෙත්, සරත් සමයෙදි ගස් වල කොළ වැඩිය හැලෙන්නෙත් නෑ, වසන්තයේදි වැඩිය අළුතින් දළුදානව කියලත් නෑ එහෙමට. ඒත් මෙල්බන් නගරය පැත්තට යන්න යන්න මේ ශිතු වෙනස ටිකක් ලස්සනට පේනවා. මම නං වාහනේට නැංගේ පොතකුයි පැන්සලකු අරගෙන. ඒ අපේ අම්මි වගේ ගමනේ විස්තර ලියන්න නම් නෙවෙයි. ගමනේ මුල් හරියෙදි මම කරේ දර්ශනට සිංහලින් ලියපු කවිය ඉංගීසියට පෙරළපු එක. ඒක ලියලා ඉවර කර ගන්න බැරි උනත්, සෑහෙන් හොඳ අදහස් ටිකක් ආවා. කොහොම හරි මෙල්බන් නගරය හරියෙදි නම් මට පින්තූර කීපයක් ගන්න ඕනි උනා. ඒත් ඉතින් වාහනේ යන ගමන් ගන්න පින්තූර එච්චර ලස්සනට ආවෙ නෑ. 





මෙල්බන් කියන්නේ ලස්සන ගොඩනැගිලි තියෙන, ලස්සන නගරයක්. මේ පිතූරවලින් නම් එහෙම බවක් පේන්නෑ නේද? ඒ දෙපැත්තේ ආරක්ෂා වට ගහල තියෙන වැට නිසාත්, වාහනයේ වේගය නිසාත්, කැමරාව නුහුරු නිසාත්, ඊටත් වඩා මගේ නොහැකියාව නිසාත් මිසක් වෙන හේතුවකට නම් නෙවයි හොඳේ. මේ පින්තූර දෙක ගත්තේ M1 ෆීවේ එකේ යන ගමන්. ඊ ලඟට අපි එතනින් M80 එකටත්, එතනින් පොඩ්ක්ඩක් දුර ගිහින්  M8 එකටත් දාගත්තා. දැන් ඉතින් කෙලින්ම බැකස් මාෂ්, බැලරට් හරහා ගැර්ම්පියන් යන්න තියෙන්නේ, ජීපීඑස් ඕන්නෑ. දැන් තමයි පරිසරයේ ලස්සන පේන්නේ. හරීම ලස්සනට කැලෑ මල් පිපීගෙනෙ එනවා පාර අයිනේ. අවට තැනිතලාව, බණ්ඩාරවෙල පැත්තේ වගේ කඳු මොකුත් නෑ, පුංචි පුංචි හෙල් වගේ තිබුනට, පුරාම තැන්න, අහස බිම ගෑවෙනවා. ශීත කාලෙ වියළිලා, දුඹුරු පාට වෙලා ගිය බිම් ලස්සනට ලා කොළ පාට වේ ගෙන එනවා. ලංකාවෙ වගේ  පාරෙ දෙපැතේ ගෙවල් නෑ, ගස් කොළන් නෑ, තියෙන්නේ පුංචි පුංචි පඳුරු, ඒවගේම ගොවි බිම්, ගොවි පොළවල්, තැනින් තැනින් ගහක් දෙකක් තියෙනවා. අහස ලස්සනට නිල් පාටට තිබ්බා, ඈතින් පුංචි කන්දක් වගෙත් පෙනෙන්න ගත්තා. හරිම ලස්සනයි.   




ඔහොම ටික දුර යන්න යන්න හරී ලස්සනට තැනිත් තැන කහා පාටට යායට පේන්න ගත්තා. අපි යන්න යන්න කහා පාට තැන් පහු වෙන්න ගත්තා. පින්තූර කීපයක් ගන්න උත්සහා කරත්, අර කලින් කීව හේතු නිසා අසාර්ථක වෙච්ච නිසා, ඒ කහපාට මල් තියෙන යායක් ලඟින් වාහනේ නවත්ත ගත්තා. 



ඒතන නවතින්න කියාපු තැන නිසා මම දැන් නවතිනවා. වැඩි විස්තර සමඟින් ඊලඟ කොටසින් ආයි පටන් ගමු. 


7 comments:

  1. මේ වැඩේ නියමයි. දිගටම ලියන්න

    ReplyDelete
  2. කහ පාට පින්තුරේ හරියට කැනෝලා වගාවක් වගේ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක කැනෝලා වගාවක් තමයි.

      Delete